විදු නැන නුවණ – Science Literacy for All

භූගත ජල සම්පත්

මිහිතලය මත මිරිදිය සියල්ලෙන් දළ වශයෙන් සියයට 30ක් (11X1015m3) ගබඩා වී ඇත්තේ භූගත ජලය හැටියටයි. එලෙස භූගත ජලය ආකාරයට රැස්වී ඇති ජල ප‍්‍රමාණය, ගංගා සහ විල්වල එකතු වී ඇති ප‍්‍රමාණය මෙන් 100 ගුණයකි. භූගත ජලයෙන් වැඩි ප‍්‍රමාණයක් වසර මිලියන ගණනාවක් මුළුල්ලේ පෘථිවි පෘෂ්ඨයෙන් පහළ පිහිටි ජලධර(aquifiers)වල එකතු වී ඇත. ජලධර වර්ෂාපතනය හේතු කොට ගෙන සෙමින් සෙමින් නැවත පිරේ. එසේ නැවත පිරෙන්නේ සාමාන්‍ය වශයෙන් වසරකට 0.1% සිට 3% දක්වා වූ ප‍්‍රතිආරෝපණ අනුපාතයකිනි. 1% අනුපාතයකින් ප‍්‍රතිආරෝපණය වෙතැයි අප උපකල්පනය කළොත් ලොව පුරා ධරණීය භාවිතය සඳහා වසරකට ලබාගත හැකි ජලප‍්‍රමාණය වන්නේ (11X1015m3) පමණක්ය. ලොව පුරා භාවිත කරන ජලයෙන් දළ වශයෙන් 23%ක් වර්තමානයේ සපයනු ලබන්නේ ජගත් භූගත ජලධර මගිනි. ඇ.එ. ජනපදයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයීම විශාල වශයෙන් රැඳී පවතින්නේ භූගත ජලය මතයි. එ රට වාර්මාර්ග ජලයෙන් 65%ක්ම පොම්ප කරනු ලබන්නේ ජලධරවල ජලයෙනි.

rocksprings

ජනගහනය ඉහළයාම, කෘෂිකාර්මික කටයුතු සඳහා වාරිමාර්ග ජල භාවිතය ඉහළයාම සහ අනෙකුත් ජල  භාවිතාවන් මගින් ද භූගත ජල සම්පත් ප‍්‍රයෝජනයට ගනු ලබයි. සුවිශේෂීව දක්වතොත් ජලධරවල ජලය ප‍්‍රතිආරෝපණය වන ස්වභාවික අනුපාතයට වඩා කැපීපෙනෙන ආකාරයකට වැඩි සීඝ‍්‍රතාවයකින් පාලනයකින් තොරව ජලධරවලින් ජලය ඉවත් කිරීම සිදු කෙරේ. 1950 සිට 1990 දක්වා මේ ආකාරයට ජලධරවලින් ජලය ඉවත් කිරීම, ඇ.එ. ජනපදයේ ඇතැම් ප‍්‍රදේශවල භූගත ජල මට්ටම (water tables) මීටර් 30 ට වැඩි ප‍්‍රමාණයකින් පහත වැටීමට හේතුවිය. ගෝලීය භූගත ජල අයිරාව 2X1011m3) ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. වෙනත් අන්දමකට පවසන්නේ නම් ජලධරවලින් ජලය ඉවත් කිරීමේ අනුපාතය ප‍්‍රතිආරෝපණය සාමාන්‍යයට වඩා බෙහෙවින් ඉහළය. නිදසුනක් ලෙස දක්වතොත්, නෙබ්රස්කා, දකුණු ඩැකෝටාව, කොලරාඩෝ, කැන්සාස්, ඔක්ලහෝමා, නිව්මැක්සිකෝ සහ ටෙක්සාස්වල ඇතැම් ප‍්‍රදේශ යට පිහිටි ඔගොල්ලල (Ogallala) ජලධරය 1950 සිට 33% කින් අඩු වී ඇත. ඇරිසෝනාවේ ඇතැම් ප‍්‍රදේශවලදී ජලධාරවල ජලය ප‍්‍රතිආරෝපණය වන වේගයට වඩා දශ ගුණයකින් ජලය ඉවත් කෙරේ.

 

මේ හා සමාන ප‍්‍රශ්න මුළු ලෝකය පුරාම පවතී. නිදසුනක් ලෙස ඊසාන දිග ඉරානයේ චෙනරාන් තැන්නේ කෘෂිකාර්මික වශයෙන් ඵලදායී භූගත ජල මට්ටම 1990 ගණන්වල අග සිට වසරකට මීටර 2.8 බැගින් පහළ යමින් පවතී. ජලධාරවලින් ජලය ඉවත් කිරීමේ හේතුවෙන් මැක්සිකෝවේ ගුවානාජුආටෝහි භූ ගත ජල මට්ටම වසරකට මීටර 3.3 බැගින් පහළට වැටෙයි. භූගත ජලය සීඝ‍්‍රයෙන් පහළ වැටීම ලෝකයේ කෘෂිකාර්මික කලාපවල ජල සැපයුමට තදබල  තර්ජන මතු කර ඇත. වාර්මාර්ග කටයුතුවලදී මෙය සුවිශේෂීව බලපායි. එපමණක්ද නොව සමහර ජලධර උපයෝජනය කරන විට මතු පිට පස් කලාපය කිඳා බැසීමට නැඹුරුවන අතර එය යළි පිරවීමට නොහැකි වේ.

 ගබඩා කළ ජල සම්පත්

teluk-bahang-dam

ලබාගැනීමට හැකියාව තිබෙන ජල ප‍්‍රමාණය වැඩි කිරීමේ අරමුණින් විසිවැනි සියවසේ මුල් කාලයේ ඇ.එ. ජනපදයේ ශුෂ්ක ප‍්‍රදේශවල වේලි ගණනාවක්ම ඉදිකරනු  ලැබිණ. විශාල පරිමාණයෙන් වේලි ඉදිකිරීම සහ ඊට අදාළ ඇල වේලි මාර්ග තැනීම ඇ.එ. ජනපදයේ දැන් මන්දගාමී වී ඇත. එසේ වුවද වේල්ලක ආයු කාල අපේක්ෂාව වසර 50 ක් වන නිස ඇ.එ.ජ. වේළිවලින් 85%ක්ම 2020 වන විට වසර 50කට වඩා වයසැතිය. ලොව පුරා දියුණු වෙන රටවල් බොහොමයක තවදුරටත් වේලි ඉදිකෙරෙමින් පවතී. කාලය ගෙවී යත්ම, රොන් මඩ පිරෙද්දී සියලූ වේලිවල ධාරිතාව අඩුවේ. රොන්මඩ පිරීම නිසා ලෝකයේ වේලිවල ජල ගබඩා කිරීමේ ධාරිතාව 1%කින් සෑම වසරකදීම අඩුවන බව ගණන් බලා ඇත.

මීළඟ කොටසින් ජලභාවිතය හා පරිභෝජනය, කෘෂිකර්මාන්තය සහ ජලය යන උපමාර්තෘකා ගැන විස්තරයක් බලපාපොරොත්තුවන්න.

. ජල සම්පත් කෘෂිකාර්මික හා පාරිසරික ගැටලූ  මැයෙන් තතු සම්පාදනය කරන ලිපි මාලාවේම කොටසකි මෙය. ලිපි පෙළ සකසා ඇත්තේ ලෝකයේ ජල සම්පත, ජල සම්පත් භාවිතය සහ එහිදී මතුවන ගැටලූ  හා වාද විෂයයන් අළලා බයෝ සයන්ස් සඟරාවේ (Bio Science) පළ කෙරුණු පර්යේෂණ වාර්තාව ඇසුරෙනි. තවත් ලිපි ඉදිරි තතු කලාපවල පළ කෙරේ. මෙම ලිපිපෙළේ දී විශේෂයෙන්ම කෘෂිකාර්මික පද්ධති මගින් ජලය භාවිත කිරීම විශ්ලේෂණය කිරීමට, ජනගහන වර්ධනය, ජල භාවිතය සහ බෙදා හැරීම, ජෛවී විවිධත්වයේ තත්ත්වය, ස්වාභාවික පරිසරය සහ මිනිසුන්ට වැළඳෙන ජලවාහක රෝග සහ පුද්ගලයන් අතර ඇති අන්තර් සම්බන්ධතාව වාර්තා කිරීමටද උත්සාහ දැරේ. මේ බයෝ සයන්ස් සඟරාව පළ කරනු ලබන්නේ ජෛව විද්‍යාවන් පිළිබඳ ඇමරිකානු ආයතනය මගිනි. නිව්යෝක් නුවර, කෝනෙල් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ ජීවන විද්‍යා විද්‍යාලයේ සේවය කරන පර්යේෂකයන් වන  David Pimentel, Bonnie Berger, David Filiberto, Michelle Newton, Benjamin Wolfe, Elizabethkarabinakis, Steven Clark, Elaine Poon, Elizabeth Abbett, And Sudha Nandagopal විසින් සඟරාවේ 54 වෙළුම 10 කලාපයට Water Resources: Agricultural and Environmental Issues යන හිසින් මේ පර්යේෂණ වාර්තාව සපයා තිබුණි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: