මෙම ලිපි පෙළෙහි දී අප පෘථිවියේ සිට සෞරග‍්‍රහ මණ්ඩලය හරහා ක්ෂීර පථය ඔස්සේ ඉන් ඔබ්බට ඇති බොහෝ ඈත මන්දාකිණිවලට මෙන්ම ක්වොසෝර හා ගැමා කිරණ පිපිරුම් කරා ගමන් කරද්දී විශ්වය වටහා ගැනීමෙහි ලා අභ්‍යවකාශ ගවේශණ සහ අභ්‍යවකාශ නිරීක්ෂණාගාර කොපමණ නම් වැදගත් දැයි අපි දුටුවෙමු. මෙම ලිපි පෙළ මගින් ඔබට හමු වූ පෙරබිම ධූලි, තාරකා සහ මන්දාකිණි සියල්ල අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිම තුලින් රාමුගත වේ. අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිම, මහා පිපිරුමෙහි(Big Bang) පසු දිලියුමක් හෙවත් අස්තාලෝකයක් (after glow) ලෙස කාලය තුළ පසුබිමක් සපයයි. අද පළවන්නේ එහි දෙවන කොටසයි.
1965 දී නිව් ජර්සි හි බෙල් පරීක්ෂණාගාරයට වී ආනෝ පෙන්සියාස් සහ රොබට් විල්සන් චන්ද්‍රිකා සන්නිවේදනයට අවශ්‍ය වන සංවේදී සූක්ෂම තරංග ආදායක පද්ධති අත්හදා බලමින් සිටියහ. ඔවුන් මෙය සිදු කළේ අඩි 20 ක හෝන් ඇන්ටෙනාවක් උපයෝගී කර ගනිමිනි. ඒ සෙන්ටිමීටර 7 ක පමණ රේඩියෝ තරංග ආයාමයක් ඔස්සේ ය. මේ අත්හදා බැලීම් සිදුවීමේ දී ඒ දෙදෙනාට පෙනී ගියේ ඔවුන්ගේ මිනුම්වල නිරන්තරයෙන් ම ඝෝෂා ප‍්‍රභවයක්(source of noise) පවතින බවයි. මෙම ඝෝෂාව කෙල්වින් අංශක 3.5 ක පමණ විකිරණ උෂ්ණත්වයකට සමාන ස්වභාවයක් විය. එය අහස හරහා සම්පූර්ණයෙන් ම සමසාර්වදිශ(isotropic) විය. එමෙන් ම කාලය හා බැඳි විචල්‍යයනයක් ද නොවීය. ඔව්හු, ඇන්ටෙනාවේ යම්කිසි ප‍්‍රශ්නයක් ඇත්දැයි සොයා බැලූ අතර වටපිටාවේ යම්කිසි ඝෝෂා ප‍්‍රභවයක් ඇත්දැයි ද සොයා බැලූහ. භෞමික වශයෙන් සොයා ගත හැකි දෝෂයක් නම් ඔවුනට සොයාගත හැකි වූයේ නැත. තවද එයට වසර 16 කට පෙර ඇල්පර් හා හර්මන් සිදු කළ පුරෝකතනය ගැන ඔවුන් කොහොමටවත් දැන සිටියේ ද නැත. (2016 ජූලි 13 දා තතු ලිපිය බලන්න)
අවසානයේ දී ඔව්හු පි‍්‍රන්ස්ටන් තාරකා විද්‍යා භෞතිකඥයන් කණ්ඩායමක් සමග සම්බන්ධතාවක් ඇති කර ගත්හ. එම කණ්ඩායම, ඇල්පර් සහ හර්මන්ගේ මුල් ගණන් හිලව් වලින් පරිබාහිරව ස්වාධීන වශයෙන් එම පුරෝකතනය ම නැවත සිදු කර තිබුණි. දෙපිරිසම තේරුම් ගත්තේ පෙන්සියාස් සහ විල්සන් එක්ව මහා පිපුරුමෙහිම පසු දිලියුම් අනන්‍යතා ලක්ෂණ සොයා ගෙන ඇති බවයි – එනම් මෙම අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිමයි. මෙකී අනපේක්ෂිත, තෘප්තජනක සොයා ගැනීම සම්බන්ධයෙන් පෙන්සියාස්ට හා විල්සන්ට නොබෙල් ත්‍යාගය හිමිවිය.
මෙම කතාවේ වඩාත් ම පුදුම එළවන සුලූ නැම්ම බවට බාගදා පත්විය හැක්කේ අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිම පිළිබඳ ප‍්‍රථමයෙන් සාක්ෂි පැන නැගුනේ 1941 දී වීමයි. මේ සාක්ෂිවලට පළා ගිය අසල්වැසි තාරකාව වන සේටා ඔපිහියුචි(Zeta Ophiuchi) තරුව සම්බන්ධයි. සේටා ඔපිහියුචි තාරකාවෙහි ස්පිට්සර්(Spitzer) අනුරූප අතර අලංකාර දුනු ප‍්‍රහාරයක(සූර්ය සුළඟ වෙනත් වලාවකට හරවන අන්තර් ග‍්‍රහලෝක අවකාශයේ සීම ප‍්‍රදේශය) අනුරූපයක් විය. මෙම දුනු ප‍්‍රහාරය හා සම්බන්ධ කළ හැකි ඕනෑම ප‍්‍රකාශ ආලෝකයක් සේටා ඔපිහියුචි ඉදිරියේ ඇති ධූලිවලාව මගින් සැඟව යාමට ඉඩ ඇත. මෙහි ප‍්‍රතිඵලය වන්නේ, ධූලි වලාව එහි ඉදිරියෙන් නොතිබුණාට වඩා සේටා ඔපිහියුචි බොහෝ අඳුරු වීමට සැලසීමයි. මෙම වළාවේ ඇති දූවිලිවලට අමතරව එහි (අවර්ණ, අධි විෂ වායුවක් වන) සයොනජන් (cyanogen) අණු ද ඇතුළුව සරල අණුවලින් ද සමන්විතයි. මෙම අණුව සේටා ඔපිහියුචි හී ප‍්‍රකාශ වර්ණාවලියක දැක ගත හැකිය.
1941 දී කැනේඩියානු තාරකා විද්‍යාඥ ඇන්ඩෲ මැක්කෙලර් මෙම දුර්වල සයොනජන් අවශෝෂණය විශ්ලේෂණය කිරීමට පටන් ගත්තේය. එවිට ඔහුට පෙනී ගියේ සයොනජන් අණු යම්කිසි දෙයක් මගින් රත්වන බවයි. මෙයින් දැක්වෙන්නේ අභ්‍යවකාශයෙහි කෙල්වින් 2 ක පමණ උෂ්ණත්වයක් ඇති බවකැයි පෙනී යයි. හෙතෙම මෙම සොයා ගැනීම ගැන වාර්තාවක් ප‍්‍රකාශ තාරකා විද්‍යා සඟරාවක පළ කළේය. 1949 දී ගැමොව්, ඇල්පර් සහ හර්මන් යන තිදෙනාට මැක්කෙලර්ගේ වාර්තාව කියවීමට හැකි වුණේ නම් ඔවුන් පුරෝකතනය කළ සූක්ෂම තරංග පසුබිම (ඒ වනවිටත්) සොයාගෙන ඇති බව පෙනී යනු ඇත.
පෙන්සියාස් සහ විල්සන්ගේ වෑයමට පසුව පෙනී ගියේ සයොනජන් මෙම අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිම් විකිරණය අවශෝෂණය කරන්නේ විකිරණයේ උච්චතම තරංග ආයාමයට ආසන්න තරංග ආයාමයකින් බවයි. මෙම තරංග ආයාමය, අපේ වායුගෝලයේ වසන් කිරීම හේතුවෙන් අපට සෘජුවම දැකිය නොහැකි තරංග ආයාමයකි.
මතක් කිරීමක් : Visual Guide to the Universe (by Professor David M. Meyer ග‍්‍රන්ථය ඇසුරෙන් සකස් කරන ලිපි පෙළ දැන් අවසානය කරා ළඟා වෙමින් පවතී. ඒ ලිපි ඔස්සේ අප ඔබව විශ්වය පුරා මහා චාරිකාවක රැගෙන ගියෙමු. එම අත්දැකීම අපගේ මනැස ඥානාලෝකයෙන් නහවන්නක් බව නිසැකය. තතු රක්ෂණාගාරය හාරා අවුස්සා මුල සිට එම ලිපි එකතු කර ගැනීමෙන් ප‍්‍රයෝජනවත් පොත් පිංචක් සකස් කළ ගත හැකිය.