විදු නැන නුවණ – Science Literacy for All

ජල සම්පාදිත භෝග වගාව හා ඉඩම් පරිහරණය

වර්ෂයකට ඉවත්කර ගන්නා මිරිදිය ප‍්‍රමාණයෙන් දළ වශයෙන් 70%ක් පරිභෝජනය කෙරෙන්නේ ලෝකයේ කෘෂිකර්මාන්තය වෙනුවෙනි. ලෝකයේ වගා බිම්වලින් වාරිමාර්ග ජල පහසුව ලැබෙන්නේ 17%කට පමණයි. එහෙත් ජල සම්පාදිත වගා බිම්වලින් ලෝකයේ ආහාරවලින් 40%කට නිෂ්පාදනය කෙරේ. ලවණීකරණය(salinization), ජල ගිල්ම හෙවත් වගුරු ඇතිවීම (waterlogging,) සහ රොන්මඩ තැන්පත්වීම(siltation) හේතුවෙන් එම ඉඩම්වලට ඵලදායිතාව අඛණ්ඩව අඩුවෙමින් පැවතියත්,  අද වන විට ලෝකය පුරා වාරිමාර්ග ජලය සැපයෙන ඉඩම් ප‍්‍රමාණය  සෙමින් ප‍්‍රසාරණය වෙමින් පවතී. ජල සම්පාදිත භූමි මුළු ප‍්‍රමාණය වාර්ෂිකව  සුළු වශයෙන් වැඩි වීමක් දක්නට ඇත.  එසේ වුව ද, ඒක පුද්ගල වශයෙන් සලකතොත් ජල සම්පාදිත භූමි ප‍්‍රමාණය 1990 සිට පහළ වැටමින් පවතින්නේ ජනගහණය සීඝ‍්‍ර වශයෙන් වර්ධනය වීමේ හේතුවෙනි. විශේෂයෙන්ම ගෝලීය වශයෙන් ගත් කල්හි ඒක පුද්ගල ජල සම්පාදනය 90 දශකයේදී 10%කින් පහළ වැටී ඇත. එහෙත් ඇමරිකා එක්සත් ජනපදය(ඇ.එ.ජ.)  ගතහොත් ඒක පුද්ගල ජල සම්පාදිත භූමිය හෙක්ටයාර 0.08ක් වශයෙන් නොවෙනස්ව පවතී.  pumpkin-plants-596x396

එක්සත් ජනපදයේ මිරිදිය ඉවත් කර ගන්නා ප‍්‍රමාණයෙන් 40%ක් පමණ ජල සම්පාදිත කෘෂිකර්මාන්ත නිෂ්පාදනය වෙනුවෙන් වැයවේ. එමෙන්ම, එය පරිභෝජනය කෙරෙන ජල ප‍්‍රමාණයෙන් 80 කට වඩා වැඩිය. ජල සම්පාදනයේ දී,  ජලය පොම්ප කිරීමට මෙන්ම එම ජලය බෙදා හැරීමට වශයෙන් බලශක්ති උපයෝජනය වෙනුවෙන් ෆොසිල ඉන්ධන කැපී පෙනෙන ප‍්‍රමාණයක් වැය කිරීමට සිදුවේ. එක්සත් ජනපදයෙහි සමස්ත භෝග නිෂ්පාදනය සඳහා වැය වන සම්පූර්ණ බලශක්තියෙන් 15%ක්ම යෙදවෙන්නේ ජල සම්පාදනය සඳහා ජලය පොම්පකිරීම වෙනුවෙනැයි ගණන් බලා ඇත. සමස්තයක් වශයෙන් ගත් කළ, ජලසම්පාදිත භෝග නිෂ්පාදනය සඳහා වැය කරන බලශක්ති ප‍්‍රමාණය අහස් දියෙන් වගා කෙරෙන භෝග වෙනුවෙන් යෙදවෙන ප‍්‍රමාණයට වඩා විශාල වශයෙන් වැඩිය. නිදසුනක් දක්වතොත්, අහස් දියෙන් තිරිඟු වගාකිරීම වෙනුවෙන් වැය කරන ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක බලශක්තිය ජල සම්පාදිත තිරිඟු වගාවට අවශ්‍ය වේ. වසරකට අහස් දියෙන් වගා කෙරෙන තිරිඟු බිම් හෙක්ටයාරයකට, කිලෝ කැලරි මිලියන 4.2ක පමණ බලශක්ති යෙදවුමක් අවශ්‍ය වෙන්නේය. එහෙත්, ජල සම්පාදිත තිරිඟු වගාවට හෙක්ටයාරයකට වසරකට කිලෝ කැලරි මිලියන 14.3ක් පමණ අවශ්‍ය වේ. ඒ සාමාන්‍ය වශයෙන් වාරිමාර්ග ජලය ලීටර් මිලියන 5.5ක් සැපයීමටය. (නිදසුනක් ගෙන හැර පාන්නේ නම්, හෙක්ටයාරයකට පොළව මතුපිට ප‍්‍රභවයකින් ජලය ලීටර් මිලියන 10 ක් සැපයීම සඳහා හෙක්ටයාරයකට ෆොසිල ඉන්ධන  වශයෙන් කිලෝවොට් පැය 880ක පමණ බලශක්ති වියදමක් දැරීමට සිදුවේ. මීට ප‍්‍රතිවිරෝධීව, මීටර 100ක පමණ ගැඹුරකින් සම්පාදිත ජලය පොම්ප කිරීමට සිදුවන විට බලශක්ති  පිරිවැය හෙක්ටයාරයකට කිලෝවොට් පැය 28,500කට නැතහොත් මතුපිට ජලය උපයෝගී කර ගැනීමේ පිරිවැයට වඩා 32 ගුණයක් වැඩියෙන් වැයවේ.

Solar-Pumps-For-Drip-Irrigation

බලශක්ති හා ප‍්‍රාග්ධනය ලෙස වාරිමාර්ග පිරිවැය කැපී පෙනෙයි. ජල සම්පාදිත වගා බිම් සංවර්ධනය පිණිස වැය වන සාමාන්‍යය හෙක්ටරයාරයකට ඩොලර් 3,800 සිට 7,700 දක්වා පරාසයක් ගනී. මේ අනුව ගොවීහු ජල සම්පාදිත ඉඩම් වැඩි දියුණු කිරීමට වැයවන මුදල මෙන්ම ජල සම්පාදනය පිණිස ජලය පොම්ප කිරීමේ වාර්සික වියදමද ගණනය කළ යුත්තාහ. නිදසුනකට, හෙක්ටයාරයකට ලීටර් මිලියන 7 සිට 10 දක්වා ප‍්‍රමාණයකින් ජලය සැපයීම පිණිස ඩොලර් 750 සිට ඩොලර් 1000 දක්වා ප‍්‍රමාණයක් වැයවේ.  ජලය පොම්ප කිරීමේ අධික වියදම හේතුවෙන් ඇ.එ. ජනපදයේ කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර 150,000ක් අත්හැර දැමීමට සිදු වී තිබේ.

වාර්මාර්ග කටයුතු සඳහා ජලය පොම්ප කිරීමේ පිණිස අවශ්‍ය වන බලශක්ති සුවිශාල ප‍්‍රමාණය, බලශක්තිය පැත්තෙන් පමණක් නොව ජලසම්පත් කළමනාකරණය පැත්තෙන්ද සැලකිල්ලට ගත යුතු වැදගත් සාධකයකි. උදාහරණයකට, ඇමරිකා එක්සත් ජනපදය  අහස් දියෙන් හෙක්ටයාරයක ඉරිඟු වගාවට ෆොසිල ඉන්ධන කිලෝකැලරි දළ වශයෙන් මිලියන අටක් වැයවන අතර සම්පූර්ණ ජල සම්පාදිත හෙක්ටයාරයක ඉරිඟු වගාවට මෙය කිලෝකැලරි මිලියන 25ක් දක්වා ඉහළ යා හැකිය. පර්යේෂකයන් විශ්වාස කරන්නේ, බලශක්තිය මත මෙම රැඳියාව අනාගතයේදී ජලසම්පාදිත භෝග වගාවේ සම්පූර්ණ ආර්ථික කි‍්‍රයාවලිය පමණක් නොව ජල සම්පාදනයට වැයවන පිරිවැයට සරිලන විශේෂිත භෝග තෝරා ගැනීම කෙරෙහිද බලපාන බවයි.

images (18)භෝග සඳහා ජල සම්පාදනයෙහි කාර්යක්ෂමතාව, වාරිමාර්ග තාක්ෂණය අනුව විචල්‍ය වේ. වඩාත්ම ප‍්‍රචලිත වාර්මාර්ග ක‍්‍රම වන්නේ පිටාර වාරිමාර්ග ජලසම්පාදනය (flood irrigation) සහ ඉසින ජල සම්පාදනයයි(sprinkler irrigation). මීට ප‍්‍රතිවිරුද්ධව  බින්දු ජලසම්පාදනය(drip irrigation) හා ක්ෂුද්‍ර ජලසම්පාදනය (micro-irrigation)  වැනි වඩා අවධාරිත ක‍්‍රම ජනපි‍්‍රයව ඇත්තේ ජල කාර්යක්ෂමතාව ඉහළ පැවතීමේ හේතුවෙනි. නිදසුනක් ලෙස බින්දු ජල සම්පාදනය, මතුපිට ජල සැපයීමට වඩා 30%-50% අතර ප‍්‍රමාණයක් ජලය ඉතිරි කරයි. මෙලෙස ජලය සංරක්ෂණය කිරීමට අමතරව බින්දු ජලසම්පාදනය ලවණකරණයේ සහ වගුරුබිම් බවට පත්වීම් ගැටලූවද අඩු කරයි. කෙසේ වෙතත්, බින්දු ජල සැපයුම් පද්ධති වලින්  95%ක් පමණ දක්වා වූ ජල කාර්යක්ෂමතාවතාවක් ළගා කර ගත හැකිවුවත් ඒවා වියදම් අධිකය. බලශක්තිය වැඩියෙන් යෙදවීමට වුවමනා විය හැකිවා මෙන්ම බින්දු ජලය සපයන සියුම් නල ඇහැරීම වැළැක්වීම පිණිස පිරිසිදු ජලයම සැපයීමටද අවශ්‍යවේ.

මීළඟට අපි පාංශුලවණීකරණය සහ වගුරුබවට පත්වීම ගැන මෙන්ම ජල අධිධාවිතය (දිය දොර) හා පාංශු ඛාදනය ගැන කතා කරමු.

ජල සම්පත් කෘෂිකාර්මික හා පාරිසරික ගැටලූ  මැයෙන් තතු සම්පාදනය කරන ලිපි මාලාවේම කොටසකි මෙය. ලිපි පෙළ සකසා ඇත්තේ ලෝකයේ ජල සම්පත, ජල සම්පත් භාවිතය සහ එහිදී මතුවන ගැටලූ  හා වාද විෂයයන් අළලා බයෝ සයන්ස් සඟරාවේ (Bio Science) පළ කෙරුණු පර්යේෂණ වාර්තාව ඇසුරෙනි. තවත් ලිපි ඉදිරි තතු කලාපවල පළ කෙරේ. මෙම ලිපිපෙළේ දී විශේෂයෙන්ම කෘෂිකාර්මික පද්ධති මගින් ජලය භාවිත කිරීම විශ්ලේෂණය කිරීමට, ජනගහන වර්ධනය, ජල භාවිතය සහ බෙදා හැරීම, ජෛවී විවිධත්වයේ තත්ත්වය, ස්වාභාවික පරිසරය සහ මිනිසුන්ට වැළඳෙන ජලවාහක රෝග සහ පුද්ගලයන් අතර ඇති අන්තර් සම්බන්ධතාව වාර්තා කිරීමටද උත්සාහ දැරේ. මේ බයෝ සයන්ස් සඟරාව පළ කරනු ලබන්නේ ජෛව විද්‍යාවන් පිළිබඳ ඇමරිකානු ආයතනය මගිනි. නිව්යෝක් නුවර, කෝනෙල් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ ජීවන විද්‍යා විද්‍යාලයේ සේවය කරන පර්යේෂකයන් වන  David Pimentel, Bonnie Berger, David Filiberto, Michelle Newton, Benjamin Wolfe, Elizabethkarabinakis, Steven Clark, Elaine Poon, Elizabeth Abbett, And Sudha Nandagopal විසින් සඟරාවේ 54 වෙළුම 10 කලාපයට Water Resources( Agricultural and Environmental Issues යන හිසින් මේ පර්යේෂණ වාර්තාව සපයා තිබුණි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: