විදු නැන නුවණ – Science Literacy for All

ක්ෂීර පථය මන්දාකිණියේ අභිරහස් හෙළි කරන තරු බිලියනයක නව සිතියම

යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ  ගයියා මෙහෙයුමේ (Gaia mission) මුල්ම ප‍්‍රතිඵල තාරකා විද්‍යාවේ පෙළපොත් අලූත් කිරීමට තුඩු දෙන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් නොදැන සිටි තාරකා මිලියන 400ක් ඊටඇතුළත්.

 

තාරකා බිලියන 1.1 ක ති‍්‍රමාණ ස්ථානගතවීම් විශදව දක්වන, ක්ෂීරපථයේ වඩාත් විශාලතම හා වඩාත් විස්තරාත්මක සිතියමක් යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය(European Space Agency–ESA) මගින් නිකුත් කරනු ලැබ ඇත. විද්‍යාව මෙතෙක් නොදැන සිටි තාරකා මිලියන 400ක්ද ඊට ඇතුළත්ය. මෙම ඒජන්සියේ ගයියා අභ්‍යාවකාශ නිරීක්ෂණාගාරය (Gaia space observatory) මගින් සිතියම් ගත කෙරනු මේ කැටලොගය අපේ මන්දාකිණිය පිළිබඳව මෙතෙක් තාරකා විද්‍යාඥයන් දැන සිටි කරුණු කාරණා වෙනසකට ලක්කිරීමට තුඩුදෙතැයි විශ්වාස කෙරේ. අලූත් බහිර් ග‍්‍රහයන් (exoplanets) සොයා ගැනීමට, අඥාත ද්‍රව්‍ය (dark matter) විසිරී ඇති ආකාරය අලූතෙන් විමසා බැලීමට තාරකා පරිණාමය වන්නේ කෙසේද යන්න දැක්වෙන ආකෘති සියුම්ව සකස් කිරීමට ද නව දත්ත මග පාදනු ඇත.

ගයියා ව්‍යාපෘතියේ දත්ත සමුදායට  ප‍්‍රසිද්ධියේ පිවිසීමට අවස්ථාව සලසා දෙනු ලැබුවේ පසුගිය 14 දායි (එනම් 2016 සැප්තැම්බර් 14 දා).  “ඒ සහ සමගම තාරකා විද්‍යාඥයන් සිය ගණනින් එම දත්ත වෙත ප‍්‍රවේශවන්නට පටන් ගෙන ඇතැ” යි නෙදර්ලන්තයේ අභ්‍යාවකාශ පර්යේෂණ හා තාක්ෂණ ආතනයේ සේවය කරන, ව්‍යාපෘතියේ විද්‍යාඥ තිමෝ පෲස්ති කියයි. “තාරකා විද්‍යාඥූයන් ප‍්‍රජාවට මා කියා සිටින්නේ, එන්න අප හා එක්ව විනෝද වන්න කියායි”.

gaia-main

පර්යේෂකයන් බලපොරොත්තු වූවාට වඩා ප‍්‍රමාණයක තාරකා ගයියා ව්‍යාපෘතිය මගින් දැනටමත් සොයා ගනු ලැබ ඇත. ඉන් හැඟවෙන්නේ, ක්ෂීරපථය කලින් ඇස්තමේන්තු කර තිබුණාට වඩා මද වශයෙන් විශාල විය හැකි බව යයි ඉතාලියේ බොලොඤ්ඤ තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ සේවයේ නියුතු, ගයියා පර්යේෂකයෙකු වන ගිසෙල්ලා ක්ලෙමන්ටිනී ය. කෙසේ වෙතත්, කැටලොගය එළි දැක්වීමේ අවස්ථාවේදී නව ප‍්‍රතිඵල එළිදැක්වූයේ කිහිපයක් පමණකි. මන්ද, ගයියා විද්‍යාඥයන්ට දත්ත මුදාහැරීමට කලින් ඒවා විශ්ලේෂණය කිරීම සඳහා ලැබී තිබුණේ සීමිත කාලයක් වීමයි. මෙය සාමාන්‍ය පිළිවෙතට පටහැනිය. සාමාන්‍යයෙන්  අභාවකාශ නිරීක්ෂණාගාර දත්ත නිකුත් කිරීමට කලින් මෙහෙයුම් විද්‍යාඥයන්ට සෙසු ලෝකයා හා දත්ත බෙදා හදා ගැනීමට ප‍්‍රථම ඒවා භාවිතා කිරීමේ සුවිශේෂී අයිතිය පැවරේ.

නිකුත් කරනු ප‍්‍රතිඵල අතර වඩාත් කැපී පෙනෙන ප‍්‍රතිඵලයක් වූයේ (පියවි ඇසට පහසුවෙන් පෙනෙන) ටෝරස් තරු පංතියේ ඇති විවෘත තරු පොකුරක් වන ප්ලෙයාඬේස් (හත්දින්න, සප්කර් ෂී) වෙත ඇති දුරෙහි නව මිම්මයි. මෙය කාලාන්තරයක් තිස්සේ මතභේදයට තුඩු දී ඇත්තකි. බොහෝ ගණන් හිලව් මගින් පැවසෙන්නේ ප්ලෙයාඞ්ස් තරු පොකුර, අපේ සූර්යයා (තාරකාවේ) සිට පාසික(parsec) 135 පමණ (ආලෝක වර්ෂ 440 ක්. පාසිකයක් යනු ආලෝක වර්ෂ3.26ට සමානනක්ෂත්‍ර ඒකකයකි) දුරින් පිහිටි බවයි. එහෙත් ගයියා පූර්වගාමී මෙහෙයුම වන හිපාකස් මෙහෙයුමට අනුව එය ඊට වඩා පාසික 15 ක් පමණ සමීපයෙන් පිහිටා ඇත. නව (ගයියා) මෙහෙයුම එම දුර පාසික 134ක් (පාසික 6 ක් එහා මෙහා වුවත්) දුරින් පිහිටා ඇති බවයි. හිපාකස් මිම්ම සාවද්‍ය බවයි මින් හැඟවෙන්නේ.

නෙදර්ලන්තයේ ලෙයිඩන් නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥ අන්තනි බ‍්‍රවුන් කියා සිටින්නේ. ගයියා ප‍්‍රතිඵල තවම මූලික මට්ටමක පවතින හෙයින් ගයියා නව දත්ත එක්රැස් කළ විට ප‍්‍රතිඵල වෙනස්විය හැකි බවයි. එහෙත් මේරිලන්ඞ්, බල්ටිමෝර්හි අභ්‍යාවකාශ ටෙලස්කෝප විද්‍යා ආයතනයේ තාරකා විද්‍යාඥ ඬේවිඞ් සොඩබ්ලොම් අදහස් කරන්නේ, හිපාකස් ප‍්‍රතිඵල හා සැසදෙන මට්ටමටම ගයියා ප‍්‍රතිඵල ඉදිරියේදී වෙනස් නොවන ඇති බවයි. හිපාකස් ප‍්‍රතිඵල වෙනස්වීම හේතුවන්න ඇත්තේ තරු පොකුරෙහි තාරකාවල අසාමාන්‍ය ප්‍රභාව නිසා විය හැකි යයි ඔහු කියයි.

131217194500-gaia-space-telescope-story-top

2013 වසරේ අග අභ්‍යාවකාශ ගත කළ ගයියා,  එහි විද්‍යාත්මක මෙහෙයුම ආරම්භකළේ 2014 ජූලි මාසයේදී ය. 2016 සැප්තැම්බර් 14 දා නිකුත් කළ මූලික කැටලොගයට පදනම් වී ඇත්තේ මුල් මාස 14 තුළ එක් රැස් කෙරුණු දත්තය.  සාමාන්‍ය ටෙලස්කෝප් කැමරාවෙන් නිශ්චලව නොව ගයියා ටෙලස්කෝපයේ කැමරා අනුරුප ලබාගන්නේ සෑම පැය හයකටම වරක් තම අක්ෂය වටා කරකැවෙමෙනි.  හය මසක පරතරයක් ඇතිව ගත් අහසෙහි පරිලෝකන රුප සංසන්දනය කිරීමෙන්  තාරකාවන්ගේ දුර ති‍්‍රකෝණනය (triangulate) කර  මැනීමට විද්‍යාඥයෝ සමත්වෙති.  පුරාණ ගී‍්‍රසිය කාලයේ පවා පැවති බව කියන මේ ක‍්‍රමය හඳුන්වන්නේ අසම්පාතය (parallax) යනුවෙනි.

තාරකා මිලියන දෙකක් සම්බන්ධයෙන් ගතහොත්, අපේ සූර්යයාගේ සිට තාරකාවන් වෙත නිවැරදි දුර සහ ඒවායේ චලනයන් පිළිබඳ මිනුම් ද කැටලොගයට අයත්ය. එම තොරතුරු ලබාගෙන ඇත්තේ ගයියා දත්ත හා හිපාකන් දත්ත සංසන්දනයෙහනි. අනාගත නිකුතුවලදී තාරකා මිලියන ගණනකට වැඩි ප‍්‍රමාණයක දුරවල් සහ ප‍්‍රවේගයන් ද ඇතුළත් කර ගැනීමට හැකි වන පරිදි කැටලොගය ක‍්‍රමයෙන් වැඩෙනු ඇත. තවත් වසර ගණනාවක නිරීක්ෂණ සමග ගයියා මිනුම් කෙතරම් දුරට නිවැරදි වේ ද යත් මන්දාකිණියෙහි තාරකා බොහොමයක දුර 99% තරම් ඉතා නිවැරදි තාවයකින් මැනිය හැකිවේ. ඉදිරි දශකවල දී තාරතා විද්‍යාඥයන් (දත්ත සොයා යන) මූලික ස්ථානය බවට ගයියා පත්වෙනු ඇත’ යයි ඉලිනොයිස් හි චිකාගෝ සරසවියේ තාරකා විද්‍යාඥ වෙන්ඩි පී‍්‍රඞ්මාන් ප‍්‍රකාශ කරයි.

 

Scientific American හී පළවූ  New Billion-Star Map Reveals Secrets of the Milky Way යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: