විදු නැන නුවණ – Science Literacy for All

ගෙදර දොරේ දූවිලිවල සිරුරට හානිකර රසායන කොටස් අඩංගුයි

අපේ නිවෙස්වල සහ අප ආශ්වාස කරන වාතයෙහි ඇති දුවිලිවල සංකීර්ණ රසායන අඩංගුය. එහි ඇති ඔක්සිජන් වැනි දෑ ජීවය පවත්වාගෙන යාමට උපකාරී වෙයි. තවත් දෑ දුෂකය. ඒවා වාහන දුමින් හටගන්නා ඒවා මෙන්ම අප නොසිතන ප‍්‍රභවයන් වන රෙදි නූල් ආදිය මෙන්ම ගෙදර දොරේ ඇති  බඩු භාණ්ඩවලින් ගැලවෙන  ක්ෂුද්‍රකොටස්ය. එවැනි ධුලකවලට (toxins) අප කෙතරම් නිරාවරණය වන්නේද යන්න ගැන අවශ්‍යයෙන්ම  අප දැන ගත යුතු  විස්තර සපයන නව අධ්‍යයන යුගලයක් මේ පිළිබඳ අපේ දැනුම ඉහළ දැමීමට සමත් වෙයි.

පැලේට්ස්(), ෆීනෝල්, ගිනි මන්දකයන්() ඇතුළුව පාරිභෝගික නිශ්පාදනවල රසායන ගෙදරදොර දුවිලිවල සාර්වත‍්‍රවර්තී(සැමතැන ඇති, නිරන්තරව හමුවන) අංගයන් බව මෑතක(සැප්තැම්බර් මැද) Environmental Science & Technology සඟරාවේ පළවූ නව විශ්ලේෂණයකින් කියැවේ. මේ ද්‍රව්‍ය කෙතරම් ඉහළ මට්ටමක පවතින්නේ ද යත් පර්යේෂකයන් කියා සිටියේ අප මේ රසායන ආශ්වාස කිරීමට සහ කුඩා ප‍්‍රමාණවලින් අහම්බෙන් කෑමට ගැනීමටද ඉඩ ඇති බවයි. එහෙත් මේවයේ කුමන මට්ටමක නිරාවරණයක් අපට හානිකර මට්ටමක පවතින්නේද යන්න අපි තවම නොදනිමු.

Image result

ඒ ආකාර නිරාවරණයක් සිදුවන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය, විදුලිබල වයර් හා සුවඳ විලවුන් ඇතුළුව ගෙදරදොර ඇති නිෂ්පාදනවලින් පතුරු වශයෙන් රසායනික ගැලවීයාමෙන් පසුවයි. අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කර්තෘ ඇම්. ශෝටා සඳහන් කරයි. ශෝවා,  ජොර්ජ් වොෂිංටන් සරසවියේ පාරිසරික හා රැකියා බද්ධ සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරියකි. එවැනි නිරාවරණයවීම්වල පරිමාණය හොඳින් අවබෝධ කරගනු වස් ඇය සහ සහචරයෝ සමානයන් සමාලෝචනයට ලක් කළ අධ්‍යයන (peer-reviewed studies) 26 ක සහ ජනපද 14 ක ගෘහ අභ්‍යන්තර දුවිලි සාම්පල ගැන පළ නොකළ දත්ත කට්ටලයක් එකතු කළහ. මේ සාම්පලවලට නාගරික, අර්ධ නාගරික සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවල මෙන්ම නිවාස හා පාසල්, රැකියා කරණතැන් වැනි ස්ථානවලින් ලබාගත් සාම්පලද අයිතිය. අධ්‍යයනයේ සාම්පලවලින් 90%කින් වඩාත් සුලබ රසායන 10ක්  සොයා ගැනීමට හැකිවිණ. ඉන් හැඟවෙන්නේ ඒවා ජනතා සහ ප‍්‍රජාවන් බොහොමයකගේ ගේ දොරවල ඇති අයිතමවලින් හට ගන්නා බවයි.

විශ්ලේෂණයේදී සොයා ගනු ලැබූ වඩාත්ම බහුල රසායනිකය (පැලේට් අම්ලයේ ලවණයක් වන) di(2-ethylhexyl) phthalate (DEHP) ය. මෙය නම්‍ය ප්ලාස්ටික්වල මෙන්ම ආලේපන හා විලවුන්වල භාවිත කරන්නකි. DEHP ඉහළ මාත‍්‍රාවක් අධිග‍්‍රහණය කරන මීයන්ගේ හා කොස් ඇට මීයන්ගේ පිරිමි සතුන්ගේ ප‍්‍රජනන පද්ධතියේ වර්ධනයට බලපෑම් ඇති කරන අතර අක්මාවේ පිලිකාවට ද ඒවා සම්බන්ධ වේ. පෙර පාසල්වියේ ළමුන් අධිග‍්‍රහනය කිරීමට ඉඩ ඇති හැකියාව අනුව රසායන පෙළ ගැස්වූ විට ඉදිරියට පැමිණි  රසායනය tris(2-chloroethyl) phosphate (TCEP) වේ. TCEP රසායනය කොස් ඇට මීයන් තුළ පිළිකාව හා මොළයේ හානියට සම්බන්ධ කරනු ලැබ ඇත. එහෙත් මෙවැනි ගේ දොර රසායනික බොහොමයක් මෙන් TCEP ද මිනිසුන්ට හානිකර දැයි අපි නොදනිමු.

Image result for phthalates items

මේ අධ්‍යයනයේදී දුවිලිවල අඩංගු රසායනික ප‍්‍රමාණය සහ වර්ගය ගැන සැලකිලිමත් වූවා මිස දුවිලි එකතුවන තැන්වල කාලයක් ගත කරන ජනයාගේ සෞඛ්‍ය ගැන නොසෙවීම එහි ප‍්‍රධාන සීමාවක් විය. බොහෝ රසායන ගතහොත් දිගුකාලීනව නිරාවරණයවීම හේතුවෙන් හානිකර තත්ත්වයට පත්වේ යයි සැලකෙන ප‍්‍රමාණයන් අපි නොදන්නෙමු’ යයි ශෝටා කියයි.

දෙවැනි අධ්‍යයනයේදී අලූතෙන් සොයා බැලුනේ අපේ නිවෙස්වලින් බැහැරව අප නිරාවරණය වන වාතය සම්බන්ධයෙනි. මේ පිළිව වාර්තාවක් සැප්තැම්බර් මුල Proceedings of the National Academy of Sciences සඟරාවේ පළ කර තිබුණි. එයින් පෙන්වා දී තිබුණේ වාතයේ සාමාන්‍යයන් දැකිය හැකි චුම්භක නැනෝ අංශු මිනිස් සිරුර පුරාවට කලින් අදහස් කරන තිබුණාට වඩා දුරක් ගමන් කර අවසානයේ මිනිස් මොළ පටකයේ තැන්පත්වන බවකි. එවැනි අංශු ශ්වසන රෝගවලට සම්බන්ධ බව දැන් කලක සිටම අදහස් කෙරෙන නමුත් මොළයේ සෞඛ්‍යයට වන බලපෑම අලූතෙන් එකතු කළ යුත්තකි.

පර්යේෂණකයෝ, එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර සහ නව මැක්සිකෝවේ වාසය කළ පුද්ගලයන් ගේ මොළ පටක සාම්පල 37 පරීක්ෂා කර බැලූහ. මොළයේ චුම්භක අංශු ඇත්දැයි සනාථ කර ගැනීම පිණිස ඔවුහු සංවේදී කාන්දමක් භාවිතාකොට අනතුරුව සම්පේ‍්‍රෂණ විද්‍යුත් අන්වීක්ෂයක් යොදා අංශු සෙවීමට උත්සුක වූහ. අපේ සිරුර මගින් කුඩා ප‍්‍රමාණයක මැග්නටයිට් (magnetite) නිපදවනු ලැබූවද පර්යේෂකයන් තෝරා ගත් මොළ සාම්පලවල තිබූ මැග්නටයිට් අංශු සිරුරෙන් නිපදවූ ඒවා නොවන බවක් පෙනී ගියේය. සාමාන්‍යයෙන් සිරුරේ නිපදවන මැග්නටයිට් අංශූ ස්ඵටික හැඩ ගන්නා නමුත් මෙලෙස සොයා ගත් අංශු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයකින් බලද්දී රවුම්, සුමට ඒවා බව පෙනී ගියේය.

මෙම අංශු නාසය හරහා අඝ‍්‍රානය ස්නායුව ඔස්සේ (olfactory nerve) මොළයට පිවිසෙයි. මැග්නටයට් ඇල්සයිමර්ගේ රෝගය (Alzheimer’s disease) හෝ වෙනත් රෝගාබාධයකට දායක වන බවක් මෙතෙක් කිසිවකු ඔප්පු කර නැතත් මේ ඛනිජ, මුක්ත ඛණ්ඩක(free radicals) නිර්මාණය කරන බව සොයා ගෙන තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස එම අංශු මොළයට  හානිකර නොවේ යයි කිව නොහැකි බව ලැන්කැස්ටර් සරසවයේ බාබරා මේහාර් කියා සිටියි. ඇය පරිසරයේ හට ගන්නා චුම්භක ඛනිජ ගැන අධ්‍යයනයේ යෙදෙන්නියකි.

Image result

නැනෝ අංශු හා පාරිභෝගික නිෂ්පාදවල රසායන අපේ පරිසරයෙන් ඉවත් කිරීම ඉමහත් භාරදුර කාර්යයකි. නිෂ්පාදනවලින් ධුලක රසායන තහනම් කිරීම වැනි ප‍්‍රතිපත්තිමය වෙනස්කම් ඒ සඳහා අවශ්‍ය වනු ඇත. ඒ අතරතුර වාරයේ කෑමට පෙර අත් හොඳින් පිරිසිදු කිරීම මගින් අහම්බෙන් ධූලිවල අඩංගු රසායන සිරුර ගතවීම සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩුකර ගත හැකිය. වාහන ගමනා ගමනය අධික ප‍්‍රදේශවලින් ඈත්වීමට වගබලා ගැනීම ද තවත් උපක‍්‍රමයකි.

 

Scientific American (a Division of Nature America) Science හී පළවූ Chemicals Linked to Health Hazards Are Common in Household Dust ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: