සැමට විදු නැන නුවණ – Science Literacy for All

ග‍්‍රහලෝකයක් කියන්නේ හැබෑවටම මොකක්ද? 

උපදින කොටම ග‍්‍රහයන් සම්බන්ධ කරගෙන කේන්දරය හැදෙන රටක ග‍්‍රහයින් ගැන අමුතුවෙන් මොනවා දැන කියා ගන්නද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවනි. හැබැයි ඉතින් අනෙකුත් බොහෝ කරුණු කාරණාවලදී වගේම ග‍්‍රහයන් ගැනත් අපට යම් අවබෝධයක් තිබුණත් තව උගෙන ගනු යුතු කාරණා නම් බොහොමයක් තිබෙන්න පුළුවනි. ඇරැත් විදු ලොව සොබාව තමයි අලූතෙන් සාක්ෂි ලැබෙන විට දැනුම යාවත්කාලීන වීම. අනික ඉගෙන ගන්න ඉගෙන ගන්න යමක් ගැන තියෙන අපේ දැනුම තවත් අලූත්වෙනවා, වැඩිවෙනවා මිසක් අඩුවක් අවැඩක් වෙන්නේ නැහැනේ.

ග‍්‍රහ ලෝකයක් කියන්නේ කුමක්ද?

අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ අනෙකුත් වස්තූන් වගේම ග‍්‍රහලෝකය ඉබේම පහළ වූ දේවල් නොවෙයි. ඉර, සඳ ග‍්‍රහයෝ නොවුණත් ඒවත් ඉබේම පහළ වූ දේවල් නොවෙයි. ඇත්තටම මේ සියල්ල වායු සහ දුවිලිවලින් පිරි මහා වලාවක කොටස්. තැටියක් බඳු මේ වලාවේ මැද ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් එක්වී සූර්යයා ලෙස අද අප දන්නා තාරකාව (ඔව්, සූර්යා ග‍්‍රහ ලොවක් නොවෙයි. තාරකාවක් තමයි) සැකසී ඇත්තේ ගුරුත්වයේ බලපෑමෙන්. වායු හා දුවිලි වලාව නැතිනම් තැටිය කැරකෙද්දී ඉතිරි ද්‍රව්‍ය සූර්යයා වටා කැරකෙන්න පටන් ගත්තා. ඒවා එකිනෙක හා ගැටෙන්ටත්, එකිනෙක හා එක්වන්නත් පටන් ගත්තාම ස්කන්ධය වැඩිවෙනවා. ඒ ස්කන්ධයේ ගුරුත්වය තව තවත් වායු හා දුවිලි ආකර්ෂණය කර ගන්න සමත්වෙන්න ඇති. ඒවායින් තමා අන්තිමේදී ග‍්‍රහලෝක බිහිවුණේ.

planets-main

ඒත් ඉතින් ග‍්‍රහයො හැදෙනන හැටි කතා කළාට තවම ග‍්‍රහ ලෝකයක් හෙවත් ග‍්‍රහයෙක් කියන්නේ මොකක්ද යන්න කීවේ නැහැනේ. නේද? ඇත්තටම ග‍්‍රහයෙක් යනු කුමක්ද? යන්න ගැන විද්‍යාඥයන් අතර කාලයක් තිස්සේම වාද විවාද පැවතිණ. අවසානයේ 2006 වසරේදී ඔවුන් ග‍්‍රහයා යන්නට අර්ථ නිරූපණයක් ඉදිරිපත් කළේ අන්තර් ජාතික සමුළුවකදීය. ග‍්‍රහයෙකු ලෙස තීරණය කරනු ලැබීමට කාරණා තුනක් සම්පූර්ණ විය යුතු යයි ඔවුහු තීරණය කළහ.

ඉන් පළමුවැන්න පැහැදිලිව පෙනෙන්නක්. එනම් ග‍්‍රහලෝකය සූර්යයා වටා භ‍්‍රමණය විය යුතුයි. (වෙනත් වස්තුවක් වටා භ‍්‍රමණය වෙන්නේ චන්ද්‍රිකා හෙවත් චන්ද්‍රයන්ය.)

දෙවැන්න තමයි ගෝලාකාර හැඩයක් ගැනීමට තරම් ප‍්‍රමාණවත් ගුරුත්වයක් තිබෙන තරමට එය විශාල විය යුතුයි. (ග‍්‍රහකයක එවැනි ගෝලාකාර හැඩයක් නොමැති බව ඔබ දන්නවානේ)

තුන්වැන්න, සූර්යයා වටා සිය කක්ෂයෙන් එහි ගුරුත්වයට වෙනත් අභ්‍යවකාශ වස්තු පන්නා දැමීමට හැකිවන තරමට එය විශාල විය යුතුය.

එහෙත් මේ අර්ථ දැන්වීමේ ප‍්‍රතිඵලයක් හැටියට අපේ මේ සෞරග‍්‍රහ මණ්ඩලයේ සිටි නව ග‍්‍රහයන් අතුරෙන් ප්ලූටෝට සිය ග‍්‍රහ තත්ත්වය අහිමි විය(ග‍්‍රහයෙකු ලෙස සිටි ප්ලේටෝ වෙනත් වස්තු ක් සමග වාමන ග‍්‍රහ ලෝක ලෙසට විග‍්‍රහ කෙරුණි). ග‍්‍රහ ලෝක පිළිබඳ මෙම අර්ථ දැක්වීම මුළුමනින්ම වාගේ යොමු වී ඇත්තේ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය වෙතටයි.

අභ්‍යවකාශයේ වෙනත් ග‍්‍රහ ලෝක නැද්ද?

එහෙත් සෞර ග‍්‍රහ මණ්ඩලයේ පිටත නැතිනම් බාහිරව වෙනත් ග‍්‍රහයන් සිටින බව දනිමු. ඒවා හඳුන්වනු ලබන්නේ බහිර් ග‍්‍රහයන් හැටියටයි(). ඒවා අපේ ග‍්‍රහ මණ්ඩලයේ තාරකාව වන සූර්යයා වටා භ‍්‍රමණය වන්නාක් මෙන් ඒවායේ තාරකා වටා කක්ෂගතව වටේට ගමන් කරයි. ඉන් අදහස් කෙරෙන්නේ සියලූ ග‍්‍රහ ලෝක එකම ආකාරයකට හටගන්නේය යන්නද? සියලූ ග‍්‍රහයන් තැනී ඇත්තේ තාරකාවක් සෑදී ඉතිරි වූ සුන්බුන් වලින්ද?

planets-2

                                     විවිධ ග්‍රහලෝක, අපේ සුර්යයා සහ අනෙකුත් වස්තූන් වල සාපේක්ෂ ප්‍රමාණ

මේවා අප විසින් ඇසිය යුතු, අසා දැන ගත යුතු ප‍්‍රශ්න තමයි. ඒවාට ලැබෙන පිළිතුර සමහර විට පිළිතුරු දෙන අය මත රඳා පවතින්න පුළුවන්. අභ්‍යාවකාශයේ පාවෙන කුඩා වලාවක් එහි ගුරුත්වය නිසා ගෝලාකාර හැඩයක් ගතහොත් එයත් ග‍්‍රහලෝකයක්ද? අපේ බ‍්‍රහස්පති ග‍්‍රහයා ගතහොත් එය යෝධ වායු ගෝලයක්. ප‍්‍රභාවත් තාරකාවක් වීමට තරම් ප‍්‍රමාණවත් ද්‍රව්‍ය (වායු හා දුවිලි) නොමැති වායු වලාවන් නිරතුරුවම ගෝලාකාර වස්තූන් හැටියට ඒකරාශීවෙයි. ඉන් බොහොමයක් දුඹුරු වාමනයන් යනුවෙන් හඳුන්වනු ලබන තාරකා වර්ගයක් බවට පත්වෙයි. බොහෝ ග‍්‍රහ ලෝක හා සසදන විට මේවා සැලකිය යුතු විශාලත්වයකින් යුක්තයි. එහෙත් ශක්තිය විශාල ප‍්‍රමාණයක් නිර්මාණය කරමින් ආලෝකය විහිදුවන තාරකා බවට පත්වීමට තරම් ඒවා විශාල නැහැ.

කෙසේ වෙතත්, මෑතක විද්‍යාඥයෝ ඊටත් වඩා කුඩා වායුමය වස්තුවක් සොයා ගත්හ. එය බොහෝ දුඹුරු වාමනයන්ට වඩා රතු බවක් පෙනී යයි. ඒ වගේම බොහොමයකට වඩා තරුණ බවක්ද දිස් වේ. දුඹුරු වාමනයෙකු මෙන් කුඩා වලාවකින් මෙම වස්තුව බිහිවූවා විය හැකියි. නොඑසේ නම් තාරකාවක් වටා නිර්මාණය වී කිසියම් ආකාරයකින් එය අභ්‍යාවකාශයට විසිවී ගියාද විය හැකියි.

සමහර විද්‍යාඥයෝ මෙය ග‍්‍රහලෝකයක් ලෙස හඳුන්වති. ඇතැම් අය අදහස් කරන්නේ තාරකාවක් වටා භ‍්‍රමණය වන්නේ නම් පමණක් එය ග‍්‍රහයෙකු වන බවයි. එය හුදෙක් වායු වලාවකින් බිහිවූවා නම් එය නියම තාරකාවක් නොවන බවයි පසුවී කී විද්‍යාඥයන්ගේ මතය. (2006 ග‍්‍රහලෝකය අර්ථ කථනය බලන්න.) විද්‍යාව මේ ආකාරයෙන් වාද විවාදවලින් සමන්විතයි. ඒ නිසාම තමයි විද්‍යාවට ආකර්ෂණයක් ඇතිවන්නේ. ඉතින් ග‍්‍රහයන් සියල්ල, ඒ කියන්නේ බහිර් ග‍්‍රහයන් පවා ග්‍රහ තත්ත්වයට පත්වෙන්න  තාරකාවක් වටා බිහිවිය යුතුද? ඔබ හිතන්නේ කුමක්ද?

 

NASA spaceplace.nasa.gov වෙබ් අඩවියේ  What is a planet ලිපිය ඇසුරෙන් සැකසින.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: