විදු නැන නුවණ – Science Literacy for All

පියයුරු බියෝමයක ක්ෂුද්‍රජීවීන් පිළිකා අවදානම අඩු කිරීමට බලපායි ද?

අපේ සිරුරු තුළ යහතින් ජීවත්වන බැක්ටීරියා ගැන පර්යේෂණ බෙහෙවින් සිදු කර ඇති අතර ඒවායේ දී වැඩි අවධානය යොමු වූයේ අතුනුබහන්වල ජීවත්වන බැක්ටීරියා කෙරෙහියි.  එහෙත් කාන්තාවන්ගේ පයෝධර පටකයෙහි ද බැක්ටීරියා ජීවත් වෙති. එමෙන්ම එම ක්ෂුද්‍රජීවීන්ගේ සම්මිශ‍්‍රණයට ද සෞඛ්‍ය කෙරෙහි එක හා සමාන බලපෑමක් ඇති කරන බවට Applied and Environmental Microbiology නම් සඟරාවෙහි පළවූ අලූත්ම අධ්‍යයන වාර්තාවකින් කියැවෙයි. මේ අධ්‍යයනයෙහි ප‍්‍රතිඵල පෙන්නුම් කරන්නේ කුඩා ප‍්‍රමාණයකින් වුවත් පයෝධරවල ක්ෂුද්‍රජීවීන්, පයෝධර පිළිකාව කෙරෙහි බලපෑමක් කළ හැකියි යන්නයි. ‘මෙය සමහර අවස්ථාවල පිළිකා අවදානම වැඩි කිරීමට ද වෙනත් අවස්ථාවල පිළිකා අවදානම අඩු කිරීමට  ද බලපානවා.’ යයි ඔන්ටාරියෝ හි බටහිර විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජෛවවේදය සහ ප‍්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ මහාචාර්ය ග්‍රෙගොර් රීඞ් පවසයි. අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කර්තෘද ඔහුය.

breast

ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන් අටදෙනෙකුගෙන් එක් අයෙකු පයෝධර  පිළිකාව ඇති බවට සිය ජීවීත කාලය තුළ රෝග නිර්ණය කෙරේ. එහෙත් ඉන් බොහෝ දෙනෙකු සම්බන්දයෙන් ගතහොත් එම පිළිකාවට හේතුව අඥාතය(නොදනී) .  වයස, ජානමය පෙර නැඹුරුව සහ පාරිසරමය විපර්යාසයන් බොහෝ විට හේතු සාධක හැටියට සම්බන්ධ කෙරේ. මෙම පාරිසරමය විපර්යාසයන් අතරෙහි බැක්ටිරියා ද එක් පාරිසරික සාධකයක් බව ක‍්‍රමයෙන් වර්ධනය වෙන්නට පටන් ගෙන ඇති පර්යේෂණ ගණනාවකින්ම කියැවේ. නිදසුනක් දක්වතොත්, 1960 ගණන් තරම් අතීත කාලයක දී සිට සිදු කෙරුණු අධ්‍යයන ගණනාවකින්ම පෙන්වා දෙනු ලැබුවේ මව් කිරි දීම සහ පියයුරු පිළිකා අවදානම අඩුවීම අතර සම්බන්ධයක් දක්වන බවයි. මෙයට හේතු වන්නට ඇත්තේ මව්කිරි වාසිදායක ක්ෂුද්‍රජීවීන් වර්ධනයට උපකාරීවීම විය හැකි යයි මෑතක අධ්‍යයන දක්වයි.

රීඞ් සහ ඔහුගේ කණ්ඩායම අදහස් කළේ මෙම සිතුවිලි ධාරාව හඹා යෑමටයි. අඛර අර්බුද (benign tumors) හෝ පිළිකාමය අර්බුද (cancerous tumors) සඳහා අර්බුදය ඉවත් කිරීමේ ලම්පෙක්ටොමි හෝ පියයුරු ඉවත්කිරීමේ මැස්ටෙක්ටොම් හෙවත් කූච විච්ෙඡ්දන සැත්කම්වලට භාජනය වන කාන්තාවන් 58 දෙනෙකුගේ සහ පියයුරු කුඩා කිරීමේ හෝ විශාල කිරීමේ ශල්‍යකර්මවල භාජනය වු නිරෝගී කාන්තාවන් 23 කුගේ පියයුරු පටකවලින් සොයා ගත් බැක්ටීරියාමය DNA ඔවුහු විශ්ලේෂණය කළහ. එහිදී ඔවුන්ට පෙනී ගියේ පියයුරු පිළිකා සහිත කාන්තාවන්ගේ Enterobacteriaceae, Staphylococcus සහ  Bacillus ඇතුළුව ඇතැම් වර්ගවල බැක්ටීරියා ඉහළ මට්ටමක් පැවති බවයි. පිළිකා නොමැති කාන්තාවන්ගේ Lactococcus සහ Streptococcus ඇතුළු අනෙකුත් වර්ගවල බැක්ටීරියා ඉහළ මට්ටමක් තිබිණි.

පයෝධරවල ක්ෂුද්‍රජීවීන් සිටීම පුදුමයක් නොවේ යයි කැලිෆෝනියාවේ ජෝන් චේන් පිළිකා ආයතනයේ පියයුරු පිළිකා ගැන හැදෑරීම් කරන ඩෙප්නි ලී පවසයි. ඇය මේ අධ්‍යයනයට සහභාගි වූ අයෙකු නොවේ. ‘තන පුඩුව හා ප‍්‍රණාල පද්ධතිය හරහා පියයුරු අවට පරිසරයට නිරාවරණය වෙනවා. බැක්ටීරියා  සමේ තුවාල සහ වෙනත් යන්ත‍්‍රණ මාර්ගයෙන් ද පටකය වෙත පැමිණෙන්න පුළුවනි’ යනුවෙන් පවසන ඇය එහෙත් ‘අපට තවම ස්ථිරව කිව නොහැක්කේ පියයුරු අර්බුද අසල දැකිය හැකී බැක්ටීරියා නිසා පිළිකාව හැදෙනවාද නැතිනම් පිළිකාමය පරිසරයක ඒවා හොඳින් වැඩෙනවා ද  යන්නය’ වැඩි දුරටත් පෙන්වා දෙයි.

493x335_advanced_breast_cancer_treatments

ඇතැම් බැක්ටීරියා පිළිකාව මෙහෙයවන්නේ නම් ඒවා එසේ කරන්නේ කෙසේද? ඇතැම් Enterobacteriaceae සහ  Staphylococcus ක්ෂුද්‍රජීවීන් DNA හානි ඇතිකරවන බවක් පෙනී යයි. මෙය පිළිකාව වර්ධනයට මග පාදන්නකි. අනෙකුත් බැක්ටීරියා ප‍්‍රදාහයට මුල පුරයි. ක්‍රියාකාරී වන නිශ්චිත යාන්ත‍්‍රණය, සතුන් යොදා කරන අධ්‍යයනය මගින් තවදුරටත් සොයා බැලිය යුතු යයි රීඞ් පවසයි. අධ්‍යයනයන්ගේ  කෙළවර රෝගියෙකුගේ බැක්ටිරියා සැකැස්ම,  පිළිකා නිවාරණය සඳහා ජෛවී සුචකයක් ලෙස යොදා ගැනීමට හෝ භාවී ඵල අනාවැකි පළකිරීම සහ ප‍්‍රතිකාර ප‍්‍රතිදාන වැඩිදියුණු කිරීම කරනු වස් ප්‍රෝබයෝටික (වාසිදායක බැක්ටීරියා) වර්ධනය කිරීම පිණිස යොදා ගැනීමට හැකිවෙතැයි රීඞ් බලාපොරොත්තු වේ.

Scientific American  හී පළවූ The Breast Has Its Own Microbiome–and the Mix of Bacteria Could Prevent or Encourage Cancer ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: