විදු නැන නුවණ – Science Literacy for All

සජීවීන්ගේ නෛසර්ගික ගතිලක්ෂණ II කොටස

ජීවමාන දේවල්වල පොදු ලක්ෂණ පැහැදිලි කෙරෙන මේ ලිපියේ මුල් කොටස පසුගියදා (ඔක්තෝබර් 06) තතු හී පලවිය. අද දෙවැනි කොටස.

 

සියලූ සජීවීන් ශක්තිය ලබාගන්නා සේම ශක්තිය ප‍්‍රයෝජනයටද ගනියි.

සෛලවලට තනිවම තමන්ගේම පැවැත්මක් නැත. ජීවත්වීමට නම් ඒවාට ශක්තිය අවශ්‍යයි. වර්ධනය, තුලනය පවත්වාගෙනයාම, අලුත්වැඩියාව, ප්‍රජානනය, චලනය සහ ආරක්ෂාව වැනි කාර්යයන් ඉටු කිරීම සදහා සෛලවලට ශක්තිය අවශ්‍යය. මෙයින් තේරුම් යන්නේ සෑම සජිවියෙකුම ජිවත් වීම සදහා ශක්තිය ලබාගත යුතු වන්නාසේම ශක්තිය ප්‍රයෝජනයටද ගත යුතුය යන්නයි.

ශක්තිය යනු යම් යම් දේ කිරීමට සදහා අවශ්‍ය බලයයි. මේ බලය නොයෙකුත් විධි වලින් සහ නොයෙකුත් ස්වරුපවලින් පැමිණේ. එහෙත් ඒ සියල්ල සුර්යයාට සම්බන්ධ කළ හැකිය. මන්ද,  සියලු ශක්තින්ගේ ප්‍රභවය සුර්යයා වීමයි.

සජීවියෙකුට එක්කෝ තමන්ගේ ආහාර තමන්ටම  නිපදවා ගත හැක. නැති නම්  තමන්ගේ ආහාර වෙනකෙකු, ලවා නිපදවා ගත හැකිය. නිදසුනක් දක්වතොත් හරිත ශාක(green plants) ප්‍රභාසංස්ලේෂණය නමැති ක්‍රියාදාමයක් මගින් ඒවායේ ආහාර නිපදවා ගනියි. හරිත ශාක සූර්යයාගෙන් ශක්තිය හසු කරගනු වස් ඒවායේ සෛල වල හරිතලව (chloroplasts) යොදා ගනී. හරිත ශාක තමන්ගේම ප්‍රයෝජනය පිණිස සීනි නිපදවා ගැනීමට ඒවා ජලය සහ වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර කරගනී. එහෙයින් හරිත ශාක නිෂ්පාදකයන් හෙවත් ස්වයංපෝෂකයන්(autotrophs) ලෙසද දැක්වේ. බැක්ටීරියා වලටද තමන්ගේම ආහාර නිපදවා ගත හැකි අතර ආහාර භංජනය ද(breakdown) කළ හැකිය.

අනෙකුත් ජීවීහු, ශක්තිය ලබා ගනු වස්  (තමන් නිපදවන ශක්තියෙහි ගබඩාවක් සහිත) හරිත ශාක කා දමති.  ඔවුන් හැදින්වෙන්නේ පාරිභෝගිකයා හෙවත් විෂම පොෂින් (heterotrophs) ලෙසය. හාවුන් සහ බැටළුවන් පාරිභෝගිකයන්ට නිදසුන්ය. ශාක භාක්ෂිකයන්, මාංශ භාක්ෂිකයන් සහ සර්ව භාක්ෂියන් යන සියලු දෙනාම පාරිභෝගිකයන්ය, තවද, තමන්ට ශක්තිය ලබාදෙන ආහාර ඔවුන් විසින්ම සොයා ගත යුතුය.

සජිවින් ශක්තිය ලබාගැනීම සහ ප්‍රයෝජනයට ගැනීම වැදගත් විද්‍යාත්මක පද තුනකින් මොනවට පැහැදිලි කළ හැකිය. එම පද තුන නම්: සංවෘත්තිය(Anabolism), අපවෘත්තිය(Catabolism) සහ පරිවෘත්තිය(Metabolism) වේ. (පහත දැක්වෙන් රූ සටහන සැලකිල්ලෙන් බලන්න)

living-things-2

 

සංවෘත්තිය (නිර්මාණක සංවෘත්තිය = constructive anabolism)

සප‍්‍රාණීන් විසින් ගබඩා කිරීම පිණිස කාබොහයිඩ්‍රේට්ස්, ප්‍රෝටීන සහ මේදය වැනි සංකීර්ණ ද්‍රව්‍යයන් එකට එක්කාසු කිරීම හෝ තැනීම පිණිස වඩාත් සරල ද්‍රව්‍යය යොදා ගනු ලැබීමේ කි‍්‍රයාදාමයකි මෙය. ඒ ආකාර කි‍්‍රයාකාරකමක් සංවෘත්ති කි‍්‍රයාකාරකමක් ලෙස දැක්වේ.

අප වෘත්තිය (විනාශක අපවෘත්තිය = destructive catabolism)

සප‍්‍රාණිකයන් තුළ ඇති සෛල විසින් සංකීර්ණ ද්‍රව්‍ය සහ අණු සරල ද්‍රව්‍යය බවට භාජනය කිරීම මෙයින් දැක්වේ. මෙය බොහෝ විට සිදුවන්නේ භාවිතය සඳහා  ශක්තිය මුදාහැරිමටය.

පරිවෘත්තිය  

සප‍්‍රාණින්ගේ සෛල තුළ සිදුවන්නා වූ සියලූම රසායනික ප‍්‍රතිචාරයන්ගේ (සංවෘත්තිය සහ අපවෘත්තිය කි‍්‍රයාකාරකම්වල) ඓක්‍යය මෙයයි. මෙය අඛණ්ඩ කි‍්‍රයාදාමයකි. මන්දයත්, පරිවෘත්තිය ඇන හිටි සැනින් සියලූම සප‍්‍රාණීන් මිය යන හෙයිනි.

සප‍්‍රාණිහු වැඩෙති. එමෙන්ම වර්ධනය වෙති

සෑම සප‍්‍රාණියෙකුම ජීවිතය ආරම්භ කරන්නේ තනි සෛලයක් ලෙසිනි. ඒක සෛලික ජීවීන් දිගටම එක සෛලයක් ලෙස පැවතීමට හැකි වුවත් ඒවාද වැඩෙති. බහුසෛලික ජීවීහු ක‍්‍රමයෙන් වැඩෙත්ම තවත් පටක හා අවයව සෑදීම පිණිස තවත තවත් සෛල එක් කර ගනිති. සප‍්‍රාණින්ගේ වැඩිම හා වර්ධනය යනු එකම දෙය  නොවේ. වැඞීම යනු එම ජීවියාගේ ප‍්‍රමාණය හා ස්කන්ධය ඉහළ යාමයි. වර්ධනය, එම ජීවියා වැඞීමේ කි‍්‍රයාදාමය සම්පූර්ණ කරගෙන යාමේදී ඇතිවන පරිණාමනය හා සම්බන්ධ වේ.

අලූත උපන් දරුවෙකු ගැන කල්පනා කිරීමෙන් අපට මේ කාරණය තවත් පැහැදිලි කර ගත හැකිය. එම බිළිඳාට හෝ බිළිඳියට සම්පූර්ණයෙන් වැඩුණු වැඩිහිටියෙකුගේ ශරීර ලක්ෂණ පිහිටා ඇත. එසේ වුවත් එවා ඉතාමත් කුඩාය. ක‍්‍රමයෙන් වසර ගෙවී යද්දී මේ දරුවා වැඞී තරුණයෙකු හෝ තරුණියක බවට පත්වේ. ඊටත් පසුව පූර්ණ වැඩිහිටියෙකු බවට පත්වන්නේ උපදින අවස්ථාවේ ඇය හො ඔහු සතුව තිබූ ශරීර ලක්ෂණ පවත්වාගෙන යමිනි. මෙය වැඞීම ලෙස පෙන්වා දිය හැකියි. එහෙත් ඇය හෝ ඔහු මවගේ කුස තුළ ජීවීතය අරඹන්නේ තනි සෛලයක් ලෙසිනි. පසුව යුක්තාණුවක් (a zygote) ලෙසට ද, අනතුරුව භ‍්‍රෑණයකු(a foetus) ලෙසට පත්ව කුඩා බිළිදෙකු බවට පරිණාමනය වේ. එය වර්ධනයයි.

සමහර ජිවීන් වැඞීමේ දී දැඩි පරිණාමණයන්ට භාජනය වේ. නිදසුනක් හැටියට සමනලයෙකු ගැන සිතමු. ඔහු ජීවිතය පටන් ගන්නේ තනි සෛලයකිනි(බීජය). අනතුරුව ඔහු දළඹුවෙකු(caterpillar) ලෙසටත් පසුව පිලවා (සුවන් පිලවා =pupa) ලෙසටත් පරිණාමණය වී එළියට මතු වන්නේ පියකරු සමනලයෙකු ලෙසටය.

සමනලයෙකුගේ වර්ධනයේ අවස්ථා

living-things-1

 

අපි දැන් ශාක වෙත යොමු වුවහොත් ශාකයක් මුලින් හටගන්නේ කුඩා ඇටයක් හෙවත් බීජයකිනි. පසුව එය මහා වෘක්ෂයක් සේ වැඩෙයි. සියලූම ජීවීන්ට පොදු එක කාරණාවක් වන්නේ ඒවා සිය දෙමාපිය විශේෂ  ආකාරයටම වැඞීම හෝ වර්ධනය සිදුවීමයි. කෙසේ වෙතත්,  දෙමාපියන්ගේ සෛල මිශ‍්‍රවීම නිසා ඇතැම් මද වෙනස්කම් ඇති විය හැකිය. සෛල වැඞීම හා වර්ධනයට ඒවායේ අලූත් වැඩියාවද ඇතුළත්ය. සෛල වයසට යද්දී, ඒවායේ සඵලතාව හීනවෙයි. ඇතැම් විට ඒවා තුවාලවීම්වලට හා තැලීම්වලට ලක්වෙතත්, අනූනන විභාජනය (Mitosis) යනුවෙන් දැක්වෙන කි‍්‍රයාදාමය තුලින් තමන්ම අලූත්වැඩියාවට ලක් කරගනු ලබන්නේ නව සෛල වඩවා ගැනීමෙනි.

සප‍්‍රාණීන් වැඩෙත්ම ඒවා වයස්ගතවීම (aging) නම් කි‍්‍රයාදාමයට ලක්වෙයි. ඒවායේ ආයු කාලය අවසන්වීමට ආසන්නවත්ම ජීවන කර්තව්‍යයන් කරගෙන යාමේ හැකියාව අඩුවේ. අන්තිමේදී ඒවා මිය යන්නේ ජීවන කි‍්‍රයාදාමය නිමා කරමිනි.

[සජිවින් ප‍්‍රජනනය කිරීම,  සමස්ථායිතාව(Homeostasis)  හෙවත් තම පරිසරය තුළ ස්ථායී සමතුලිතතාවක් පවත්වා ගැනීමේ ප‍්‍රවණතාව ඇතුළුව සිය පරිසරයේ විපර්යාසයන්ට හෙවත් වෙනස්වීම්වලට ප‍්‍රතිචාර දැක්වීම යන ප්‍රධාන ගති ලක්ෂණ දෙක ගැන මෙම ලිපියේ අවසාන කොටසින් බලාපොරොත්තුවන්න]

 

eSchooltoday.com වෙබ් අඩවියේ CHARACTERISTICS OF LIVING THINGS ලිපි පෙළෙහි What do living things have in common? කොටස ඇසුරෙනි

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: