විදු නැන නුවණ – Science Literacy for All

වායු දූෂණයට විසඳුම ඉලෙක්ටි‍්‍රක් කාර් ද?

දැරිය හැකි  මිලකට ගන්න පුළුවන් විදුලි මෝටර් රිය ටෙස්ලා සමාගම අලූතෙන්ම හඳුන්වා දී තිබෙනවා. ඒත් නගරවල දූෂණ මට්ටම අඩුකිරිමට විදුලි බලයෙන් කි‍්‍රයා කරන වාහන සමත් වේද? මේ, ඒ ගැන සොයා බලන මත විමසුමක්.

වායු දුෂණය යනු කුමක්ද? එය අපට බලපාන්නේ කෙසේද?

rtemagicc_9380065716_b78511813f_o_04-jpg

වායු දුෂණය යනුවෙන් ගැනෙන්නේ වායුගෝලයේ හානිකර වායු හෝ ආංශුමය ද්‍රව්‍ය ඉහළ මට්ටමකින් සාන්ද්‍රගතව තිබීමයි. නයිට‍්‍රජන් ඩයොක්සයිඞ්, සල්ෆර් ඩයොක්සයිඞ් හා කාබන් මොනක්සයිඞ් ද මේ වායු අතරට එක් වන අතර මේවා වැඩි ප‍්‍රමාණයකින් නිපදවන්නේ කාර්, ලොරි සහ බස් රථ මගිනුයි. මේ වායු මිනිස් අපට අහිතකරයි. හෘදයාබාදවලට  පිළිකාවට සහ සංජානන ගැටලූවලට පවා වායු දූෂණය හේතු වන බව පෙන්වා දිය හැකියි. විශේෂයෙන්ම, දීර්ඝ කාලයක් මේ වායුවලට අනාවරණයවීම හානිකරයි. මේ ආංශු කුඩා වන්නේ නම් ඒවා ඔබේ රුධිරයට ඇතුල් වීමට පවා හැකිවීමෙන් අවයවවලට ද හානි පමුණුවීමට හැකියි.

නගරවල කාර්යබහුල වීථීවලට ඔබ ළංවන්නට, ළංවන්නට ඔබ අනාවරණය වීමට පුළුවන් වායු   දූෂණ මට්ටම ඉහළ යයි. ඔබ වාහනයක් ඇතුළට වී සිටියද ආරක්ෂාවක් ඇති වන්නේ නැත. වායු දූෂණයේ මූලයට, ප‍්‍රභවයට හෙවත් වායු දුෂණය හට ගන්නා තැනට ආසන්නව ඔබ සිටීම ඊට හේතුවයි. වාහනයෙන් නිකුත්වන වායු දූෂක වාහනයේ වා සිදුරු තුළින් යළි වාහනය ඇතුළටම රිංගයි.

කෙසේ වෙතත් මහ නගරවල මේ අන්දමේ කාර්ය බහුල වාහන තදබදයෙන් යුතු මාර්ග මඟහැර යාමට අප බොහෝ දෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැත. එසේ නම් අප කල්පනා කළ යුත්තේ මේ හානිකර වායුවල මට්ටම අඩුකර ගත හැක්කේ කෙසේද යන්නයි. පාපැදිවලින් ගමන් කිරීමෙන් හෝ පයින් ගමන් කිරීමෙන් ඔබ පෞද්ගලිකව නිකුත් කිරීමට දායකවන විමෝචන මට්ටම අඩුකර ගත හැකි බව පැහැදිලිය. එමෙන්ම එම විමෝචන ඔබටත් ආශ්වාස කිරීමට සිදුවීමද මඟ හරවා ගත හැකිය. එහෙත් පාපැදි හෝ පයින් ගමන් බොහෝ දෙනෙකුට ප‍්‍රායෝගික නොවන්න පුළුවනි. මන්ද බොහෝ දෙනෙකුට පෞද්ගලික වාහන හෝ පොදු වාහන භාවිත කිරීම හැර වෙන විකල්පයක් නැති හෙයිනි. එසේ නම් විදුලි බලයෙන් කි‍්‍රයා කරන වාහන වෙත නැඹුරුවීම ප‍්‍රශ්නයට විසඳුමද?

China Smog

විදුලිබල මෝටර් රිය යනු කුමක්ද?

විදුලිබල මෝටර් රියක සහ පෙට‍්‍රල් ඉන්ධනයෙන් කි‍්‍රයා කරන වාහනයක් අතර ප‍්‍රධාන වෙනස ඇත්තේ වාහනයේ ශක්ති ප‍්‍රභවයෙහිය. ෆොසිල ඉන්ධන භාවිත කරන වාහනයක යොදා ඇත්තේ පෙට‍්‍රල් හෝ ඞීසල් දහනය මගින් ශක්තිය නිපදවා ගන්නා භ‍්‍රමණ එන්ජිමකි. අනෙක් අතට විදුලි බල මෝටර් රිය බල ගැන්වෙන්නේ ප‍්‍රතිආරෝපණය කළ හැකි බැටරියක(rechargeable battery) තැන්පත් කර ඇති බලශක්තියෙන් පණ ගැන්වෙන මෝටර වලිනි. ඒ හැරුණු කොට දෙවර්ගයම ප‍්‍රධාන වශයෙන් සමාන වන අතර පෙනුම එකමය.

විදුලිබල වාහන භාවිතය වැඩදායකද?

වාහන හිමියන් වැඩි දෙනෙකු පරිසර හිතකාමීන් බවට පත් කිරීමේ අරමුණින් ඔවුන් විදුලි බල වාහන භාවිතයට යොමු කරවනු වස් බි‍්‍රතාන්‍ය රජය විවිධ දිරිගැන්වීම් ලබා දෙයි. එහෙත් ඉන් අපේක්ෂිත කාර්යය ඉටුවේද?

විදුලි බල මෝටර් රිය දුම් පිට නොකරයි. (විමෝචනයක් නොමැත).  එය නාගරික වායු දූෂණය අඩුකිරීමට ඍජුවම බලපායි. තවද විදුලිබල මෝටර් රිය මෑත කාලයේ මිල අඩුවී ඇති අතර නඩත්තු වියදම් ද අඩු වී ඇත. එමෙන්ම විදුලිබල වාහන ධාවනයේදී ශබ්දයක් නොනැගෙන හෙයින් ශබ්ද දූෂණය අඩු කිරීමට ද දායකවෙයි.

කෙසේ වෙතත් සෑම කාසියකම දෙපැත්තක් ඇත. මේ විදුලි බල වාහන ධාවනය කළ හැකි දුර සහ වේගය සීමිතය. වාහනයක බැටරිය ප‍්‍රතිආරෝපණය කිරීම පෙර ගමන් කළ  හැක්කේ  සැතපුම් 50-100  අතර දුරකි. ඉන්ධන පිරවුම්හල් තරම් ළඟින් ළඟින් ප‍්‍රති ආරෝපණ මධ්‍යස්ථාන (තවම) පිහිටා නැත. ප‍්‍රතිආරෝපණය කිරීම සඳහා  පෙට‍්‍රල් වාහනයකට ඉන්ධන පිරවීමට යන කාලය මෙන් නොව පැය 4-6ක් පමණ කාලයක් ගතවෙයි. හැබැයි, අනෙක් අතට, මෙම සීමාවන් ජය ගැනීමට නොහැකි දේ ද නොවෙයි.

rtemagicc_tesla_charging_02-jpg

විදුලිබල මෝටර් රිය වලට එල්ල වන තවත් චෝදනාවක් වන්නේ එය මහ නගරවල වාතය දූෂණය කිරීම අඩුකොට, ගම් හා දුර පළාත් කරා දුෂණය ගෙන යන බවයි. එයට හේතුව, විදුලිය බැටරි ප‍්‍රති ආරෝපණය කිරීමට යොදා ගන්නේ, නගරයෙන් බැහැර එවැනි පළාත්වල පිහිටි ගල් අඟුරු හෝ ෆොසිල ඉන්ධන මගින් නිපදවන ශක්තිය වීමයි. සාපේක්ෂව බලන කල,  නගරබදව විශාල ජනකායක් වසන ප‍්‍රදේශවල වායු දූෂණය අඩුවීම වුවද එක්තරා වාසියක් ලෙස සැලකිය හැකියයි තර්ක කරන්නෝ ද සිටිති.   එමෙන්ම, බැටරි ප‍්‍රති ආරෝපණය පිණිස වෙනත් විදුලි බලශක්ති ප‍්‍රභව යොදා ගැනීමේ හැකියාව ද ඇත.

එසේ නම් වායු දුෂණයට විසදුම කුමක්ද?

මහජන සෞඛ්‍ය ගැන සැලකිල්ල යොමු කිරීමේදී වායු දූෂණය ස්ථිරවම ප‍්‍රධාන මෙන්ම භයානක ප‍්‍රශ්නයකි. මෙම තත්ත්වයට වැඩිකොටම දායක වන්නේ වාහන ධාවනයයි. පාපැදියෙන් හා පයින් ගමන් කිරීම වායු දූෂක විමෝචනය අඩු කිරීමට ඍජුවම බලපාන සාධකයකි. වායු දූෂණය ආශි‍්‍රතව ඇතිවන ලෙඩ රෝග අඩුකිරීමට ද එය හේතුවේ. යථාර්ථවාදීව බලන විට පෙනී යන්නේ මිනිසුන් දිගු දුර සඳහා වාහන යොදා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවයි. මෙම තත්ත්වයට දිගු කාලීන පිළියම වන්නේ  විදුලිබල වාහන ධාවනය වන අතර කෙටි කාලීනව හයිබි‍්‍රඞ් හෙවත් දෙමුහුන්(hybrids) වාහන පිළියම් වශයෙන් යොදා ගත හැකිවේ.

The Naked Scientists හී Should we all go ‘electric’?  Are electric vehicles the solution to air pollution? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: