සූර්ය විද්‍යාඥයෝ ප්‍රශ්නයකට මුහුණ දී සිටිති. සූර්යයාගේ පෘෂ්ඨයට වඩා සූර්යයාගේ වායුගෝලය 100 ගුණයක් රස්නය ඇයි දැයි යන්න සම්පූර්ණයෙන්ම පැහැදිලි කිරීමට ඔවුන් අසමත්ය. එහෙත්, දැන් සූර්ය ලපයක සිට සූර්ය තරංග උඩට නගිනු නිරීක්ෂණය කිරීමට හැකිවීම සූර්යාගේ රැස්වළල්ල හෙවත් කොරොනාව(corona) යනුවෙන් හැඳින්වෙන වායුගෝලය එපමණ රත්වන්නේ මන්දැයි පැහැදිලි කිරීමට උපකාරී විය හැකි (අඩුතරමින්) එක් මාර්ගයක් පාදා දී ඇත.
සූර්යයාගේ වායුගෝලය ඊට පහළ කලාපයට වඩා රස්නේ ඇයි?
මේ ගැන කල්පනා කරන විට අපට සිතෙන්නේ එය තේරුමක් ඇති දෙයක් නොවන බවකි. සූර්යයා මධ්‍යයේ සිදුවන න්‍යෂ්ටික විඛණ්ඩනය හේතුවෙන් එම කලාපය හිතාගන්නවත් බැරි තරම් උෂ්ණත්වයකට එනම් ෆැරන්හයිට් අංශක මිලියන 27 රත්වීමකට ලක්වෙනවා. සූර්යාගේ සෑම ස්තරයක්ම ඊට හළින් ඇති ස්තරයට වඩා උෂ්ණත්වයෙන් අඩුය. ඇත්ත වශයෙන්ම, සූර්යා මතුපිට උෂ්ණත්වය සාපේක්ෂව අඩු ෆැරන්හයිට් අංශක 10,800 කි.
ඔබ ගිනි මැලයක් අසළ වාඩි වී සිටි එහි රස්නය වැඩි නිසා මදක් පස්සට යන විට උෂ්ණත්වය අඩුවන බව දැනෙනු ඇත. තවත් පස්සට ගියොත් තවත් රස්නය අඩුය. ඉහත සූර්යා ගැන කළ විස්තරය ද ඒ ආකාරයට තේරුම් ගත හැකියි. එහෙත්, කලින් කී ගිනි මැලයෙන් තවත් පියවර කිහිපයක් පස්සට යද්දී ඔබ දැවී අළු වී යන තරම් රස්නයක් දැනෙන්නේ නම් ඔබ එය තේරුම් ගන්නේ කොහොමද? එය තේරුමක් ඇති දෙයක් නොවන බවක් සිතෙන්නේ යයි කිවේ එහෙයිනි. හැබැයි, සූර්යයාගේ මතුපිටට උඩින් සිදුවන්නේ හරියටම අන්න ඒ දෙයයි. සූර්යයාගේ මතුපිටට උඩින් රැස් වළල්ලේ දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක මිලියන 1.8 වැඩියෙන් ඉහළ යයි. ‘රැස් වළල්ලේ තාපන ගැටලූව’(“coronal heating problem”) වශයෙන් මෙය හඳුන්වන විද්‍යාඥයන් එය විසඳීම සඳහා උත්සාහ දරන්නේ 1930 ගණන්වල සිටය.
අද මේ සම්බන්ධයෙන් සිද්ධාන්ත දෙකක් ඉදිරිපත් වී තිබේ. ඉන් එක් මතයකින් කියැවෙන්නේ මෙලෙසයි. සූර්යයාගේ චුම්භක ක්ෂේත්රයේ පුඩු කොරොනාවේ හෙවත් රැස් වළල්ලේ විදුලි ධාරාවන් පේ‍්‍රරනය කරයි. මේවා ශක්තිය මුදා හරින අතර එය රස්නයට හේතුවෙයි.
අනෙක් මතයෙන් පෙන්වා දෙන්නේ සූර්යයාගේ අභ්‍යන්තරයේ සිට රැස් වළල්ල දක්වා තරංග උඩට ශක්තිය ගෙන යන බවයි. නව පර්යේෂණයෙන් පහදා දීමට උත්සාහ කරන්නේ මෙය සිදු විය හැක්කේ කෙසේද යන්නයි.
සූර්යාභන්තරයෙහි ප්‍රචණ්ඩකාරී කැලඹිලි මගින් ශබ්ද තරංග නිපදවේ. මෙකී ඊනියා ‘සූර්ය භූමිකම්පන තරංඟ’ (“helioseismic waves”) සූර්යයාගේ පෘෂ්ඨයෙහි යටි පැත්තෙන් පරාවර්තනය වී අභ්‍යන්තරයේ සිට වේගයෙන් ඉහළ ගොස් ආපසු පොළා පනියි. එහෙත් ඒවා වර්තනය(refraction) යන භෞතික කි‍්‍රයාදාමය හේතුවෙන් උඩට නැමී ආපසු පෘෂ්ඨය වෙත පැමිණේ. මේ ආකාරයට සූර්ය භූකම්පන තරංග සිර වෙන අතර ඇත්තටම ඒවා මිලියන ගණනක් වූ විවිධ, එකිනෙකට වෙනස් රටා හෝ ප්‍රකාර අනුව සූර්යයා කම්පනය කරයි.
කෙසේ වෙතත්, සූර්යයාගේ මතුපිට කැලතීමෙන් ඝනකරන සුර්ය භූ කම්පන තරංග හා උඩින් ඇති කොරොනාව (රැස් වළල්ල) අතර සම්බන්ධයක් ඇත්ද?
නව පරික්ෂණ හඟවන්නේ එවැනි සම්බන්ධතාවක් ඇති බවයි. පසුගිය ඔක්තෝබරයේ The Astrophysical Journal Letters හි පළවූ සිය අධ්‍යයනයෙහි කොටසක් ලෙස පර්යේෂකයෝ Solar Dynamics Observatory සහ Interface Region Imaging Spectrograph යන නාසා අභ්‍යාවකාශ දෙකෙහි මෙන්ම කැලිෆෝනියාවේ සූර්ය නිරීක්ෂණාගාරයේ දත්ත යොදා ගත්හ. සූර්යයාගේ පෘෂ්ඨයෙහි සිට එහි වායුගෝලයේ පහළම කොටස් දක්වා ගමන් කළ තරංගයක ගමන් මග සෙවීමට පර්යේෂකයන්ට උපකාරී වූයේ එම දත්ත හරහා ලබාගත් අනුරූපය.
“යම් ආකාරයක සූර්ය භූකම්පන තරංග, වර්ණගෝලය(chromosphere) නමින් හැඳින්වෙන පහළ වායුගෝලය කරා උඩට ඇදී එතැන සිට කෙරොනාව දක්වා නාලිකා ගතවනු අපට දැක බලා ගන්නට ලැබුණා” යයි ස්ටැන්ෆර්ඞ් සරසවියේ සූර්ය විද්‍යාඥ ජූන්වෙයි ෂාවෝ කියයි. අධ්‍යයනයේ ප්‍රධානියා ඔහුය. ‘සූර්ය තරංග මෙලෙස නාලිකා ගතවීම මගින් සැලකිය යුතු මට්ටමේ ශක්ති ප්‍රමාණයක් ඉහළ වායුගෝලයට රැුගෙන යා හැකියි. එහිදී දෝලන ශක්තිය උත්සර්ජනය වී රැස්වළල්ලේ රත්වීමට දායක වෙනවා’ ෂාවො සහ පර්යේෂක පිරිස සිය වාර්තාවෙහි සඳහන් කරති.
සූර්ය කොරොනාවෙහි (රැස් වළල්ලේ) රත්වීම පිළිබඳ ගැටලූව අවසානයේ විසඳීමට උපකාරී විය හැකි පර්යේෂණ තවදුරටත් කරගෙන යාම සඳහා නව අධ්‍යයනයේ ප්‍රතිඵල මග පෙන්විය හැකිය.
Discover magazine හී පළවූ Scientists snare their first ever observations of a solar wave erupting upward from a sunspot යන ලිපිය ඇසුරෙනි