සැමට විදු නැන නුවණ – Science Literacy for All

ක්ෂුද්‍රජීවීන් නිස්සාරණයෙන්  බලශක්ති නිපදවීමේ තැතක්

බැක්ටීරියා සහ හරිත ඇල්ගී මගින් විදුලිබලය සහ මෝටර් රථ සඳහා ඉන්ධන නිපදවීමේ ක‍්‍රමයක් විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇති අතර මේ තාක්ෂණය වර්ධනය කිරීමෙන් ෆොසිල ඉන්ධන වෙනුවට යොදා ගත හැකි විශ්වාසදායක, පුනර්ජනනීය ශක්ති මූලයක් නිර්මාණය කළ හැකිවේ.

බැක්ටීරියා, විදුලි ආරෝපණ හා රසායනික ඉන්ධන ස්වරූපයෙන් ශක්තිය වගුරුවන බව ශත වර්ෂයකට අධික කාලයක් මුළුල්ලේ විද්‍යාඥායන්  දැන සිටි කරුණකි. එහෙත් අභියෝගය වන්නේ මෙම සම්පත් නිස්සාරණය කරමින් ඒවා භාවිතයට යොදා ගැනීමයි. සජීවීන් විසින් ජනනය කරනු ලබන විදුලි ආරෝපණ එළියට ගෙන, ඒවා එක දිගටහෙවත් අඛණ්ඩව යළි ජනනය කිරීමේ හැකියාවක් ඇති  ජීව විද්‍යාත්මක ක‍්‍රමයක් නෙදර්ලන්තයේ වැගෙනින්ජන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ තිබේ.

rtemagicc_credit_a4f_crop-jpg

මේ කාර්යයේ දී ආචාර්ය මාජෝලෙයින් හෙල්ඩර් විසින් යොදා ගනු ලබන්නේ ශාක පෝෂක ජීර්ණය කරන විට  පාංශු බැක්ටීරියා ස්වභාවික අතුරු නිෂ්පාදනයක් ලෙස මුදා හරින ඉලෙක්ට්‍රෝන යි. ඉන්ධන සෛලයකට සම කළ හැකි ක්ෂුද්‍රජීවමය සෛලයක් යුරෝපා සංගමයේ අරමුදලින් කි‍්‍රයාත්මක ව්‍යාපෘතියක ආධාර ඇතිව ආචාර්ය හෙල්ඩර් විසින් නිපදවා තිබේ. තෙත් පසෙහි එක කාබන් ඉලෙක්ට්‍රොඩයක් සිටුවා අනික පෘෂ්ඨයේ ඔක්සිජන් හා සම්බන්ධ වන සේ තැබීමෙන්,  වගා කළ හැකි භූමියක සෑම වර්ග මීටරයකින් ම  LED එකක් දැල්වීමට ප‍්‍රමාණවත් විදුලි ආරෝපණ නිස්සාරණය කළ හැකි වේ.

ක්ෂුද්‍රජීවමය ඉන්ධන සෛලවල බලශක්ති ප‍්‍රතිදානය මද වුවත් ඒවායේ සභිෂ්ණුතා බලය හෙවත් දරා සිටීමේ හැකියාව කැපී පෙනෙයි. හිරු රැස් පොළොව මතුපිට වෘක්ෂලතාදියට ලැබෙන තාක් කල් පාංශු බැක්ටිරියාවලට අනියතව ශක්තිය නිපදවිය හැකි වේ. විදුලිය ජනනය කිරීමට ඉවහල්වන එම ජීව විද්‍යාත්මක ප‍්‍රතිචාරයන් (බලගතු හරිතාගාර වායුවක් වන) මීතෙන් භූගතව නිපදවීමටද බාධාවක් වීම මෙහි අතිරේක වාසියකි.

images-5

නව තාක්ෂණය වාණිජ මට්ටමට ගෙන ඒම පිණිස ආචාර්ය හෙල්ඩර් සමාගමක් පිහිටුවා ඇති අතර එහි මුල් ගනුදෙනු අතර උද්‍යාන ආලෝකය සඳහා නෙදර්ලන්තයේ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය දී ඇති ඇණවුම සහ පාසල් කී‍්‍රඩා භූමියක් ආවරණය වන වයිෆයි (wi-fi) පද්ධතියක් ද වේ.

රසායනික ඉන්ධන වෙනුවට පරිසර හිතකාමී ඉන්ධනයක්

පරිසර හිතකාමී විදුලිබලයෙහි වාසි කොපමණ වුවත් අද පවතින බලශක්ති ඉල්ලූමෙන් වැඩි කොටස සැපයෙන්නේ රසායනික ඉන්ධනයෙනි. දේශගුණ විපර්යාසයන්ට විසඳුම් සෙවීමට නම් තාපය නිපදවීම සහ ප‍්‍රවාහනය වෙනුවෙන් වර්තමානයේ යොදවන වායු හා ඛනිජතෙල් වෙනුවෙන්ද විකල්පයන්  සොයා ගත යුතුව ඇත.  ස්විඩනයේ උප්සාලා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පීටර් ලින්ඞ්බ්ලාඞ් මීට අදාළ වෑයමක නිරතව සිටියි. ප‍්‍රභා සංස්ලේෂණය සඳහා ක්ෂුද්‍රජීවීන් සතු හැකියාවෙන් ප‍්‍රයෝජන ගැනීමට හැකි වෙන පරිදි  ක්ෂුද්‍රජීවීන් ජානමය විකරණයට හෙවත් වෙනස් කිරීමට භාජනය කර,  සූර්ය රශ්මිය හා ජලය හයිඩ‍්‍රජන් හා කාබන් පාදක ජීව ඉන්ධන බවට පරිවර්තනය කිරීමට හැකි බැක්ටීරියා නිර්මාණය කිරීමට මහාචාර්යවරයා කි‍්‍රයා කරමින් සිටියි.

‘ ඕනෑම ක්ෂුද්‍ර ජීවියෙකුට පාහේ හයිඩ‍්‍රජන් නිපදවීමට පුළුවන්. ඒත් අභියෝගය තමයි ඒ සියල්ලම පාහේ ඒවා මුදා නොහැරීම මහාචාර්ය ලින්ඞ්බ්ලාඞ් පැහැදිලි කරයි. ඔහු පසුගිය සිව් වසර මුළුල්ලේ, යුරෝපා සංගමයේ අරමුදලින් කි‍්‍රයාත්මක තවත් ව්‍යාපෘතියක සම්බන්ධීකරණය සිදු කරමින් සිටී. පිටස්තර ජීවීන්ගෙන් ජාන තෝරා ලබාගෙන ඒවා ප‍්‍රභාසංස්ලේෂණය කරන ක්ෂුද්‍ර ජීවීන්ගේ DNA වලට සංයෝජනය කිරීමට මග සලසන ජෛවී රසායනික තාක්ෂණක‍්‍රම වර්ධනය කිරීමට එම  ව්‍යාපෘතිය කි‍්‍රයා කරයි.

බොහෝ විට ජානමය විකරණය කළ ජාන, විකෘතීන්ගේම  අතුරු ඵල හේතුවෙන් මිය යති. සමහර අවස්ථාවල බලාපොරොත්තු වන ගතිලක්ෂණය නොනැසී පැවතුනද ඵලදායීතාව අඩුය. එසේ නම් අභියෝගය වන්නේ සෛලයේ අනෙකුත් රසායනික ගමන් මං අවහිර කර හයිඩ‍්‍රජන් නිපදවීම කෙරෙහි අවධානය යොමු කිරීමයි.

කෙසේ වෙතත් මහාචාර්ය ලින්ඞ්බ්ලාඞ්ගේ කණ්ඩායම ප‍්‍රතිසංස්ලේෂණය  කරන බැක්ටීරියා තුළට සංගත(ගැළපෙන)  ජාන සංයෝජනය කරන ලද්දේ හයිඩ‍්‍රජන් රඳවා ගැනීමට ඇති ඔවුන්ගේ නැඹුරුව පිටුදකිමිනි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ ක්ෂ්ද්‍රජීවීන් හයිඩ‍්‍රජන් නිෂ්පාදනය වේගවත් කර  ඇත්තේ සාමාන්‍ය ශාක සූර්ය රශ්මිය ඉන්ධන බවට හරවනවාට වඩා තුන් ගුණයක කාර්යක්ෂම තාවයකිනි.

images-4

සූර්ය ඉන්ධන

මහාචාර්ය ලින්ඞ්බ්ලාඞ්ගේ ජානමය දස්කම් කාබන් ඩයොක්සයිඞ් මධ්‍යසාරය හා හයිඩ්‍රොකාබන්බවට පෙරැලීම සඳහා සූර්ය රශ්මිය  යොදා ගත හැකි බැක්ටීරියා හා හරිත ඇල්ගී ඉංජිනේරුමය කි‍්‍රයාවලියකට ලක්කිරීමේ කාර්යයෙහි  නිරතව සිටී. සූර්ය ඉන්ධන සංස්ලේෂණය,  හයිඩ‍්‍රජන් සංස්ලේෂණය කිරීමට වඩා සංකීර්ණයය. එසේ වුවද. පවතින ප‍්‍රවාහන අධෝ ව්‍යුහය සමග  සංගතවීමේ වාසිය ඒවායින් ඇති වේ. මේ අනුව  ඞීසල් හා පෙට‍්‍රල් වෙනුවට ආදේශ කළ හැකි සූර්ය ඉන්ධන නිපදවීම සඳහා වොක්ස්වගන්  සමාගම ප‍්‍රමුඛ මොටර් රථ නිෂ්පාදකයෝ අවශ්‍ය තාක්ෂණ පහසුව සපයති. ස්වභාව ධර්මයේ නිමැයුම් ආදේශ කිරීමට තැත් කරනු වෙනුවට ස්වභාව ධර්මය සමග සහයෝගිතාවයෙන් කි‍්‍රයා කිරීමේ තාක්ෂණය වෙත ධරණීය බලශක්ති පර්යේෂණ විස්තාපනයකිරීම ව්‍යාපෘති සියල්ලෙහිම ප‍්‍රවේශයයි.

 

University of Cambridge, Naked Scientists හී පළවූ  Milking microbes for energy could help replace fossil fuels යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: