ජීවීන්ගේ ජානවල අනුක්‍රමයන් කෙරෙහි එම ජීවින්ගේ ආහාර බලපෑ හැකි බව ඔක්ස්ෆර්ඞ් සරසවියේ පර්යේෂකයෝ පෙන්වා දෙති. පරපෝෂිතයන් කන්ඩායම් දෙකකට අදාළව සිදු කෙරුණු අධ්‍යයනයකදී එම පරපෝෂිතයන්ගේ ආහාරවල සංයුතිය වෙත පැවරිය හැකි නැතහොත් ආහාරවල සංයුතිය හේතුවෙන් ඇතිවෙන DNA අනුක්රමයන්ගේ වෙනස්කම් පර්යේෂක කණ්ඩායමට සොයා ගත හැකි විය. Genome Biology නම් සඟරාවෙහි මේ අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර ඇත.
අධ්‍යයනයේ සමකර්තෘ, ඔක්ෆර්ඞ් සරසවියේ ශාක විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය ස්ටීවන් කෙලී මෙලෙස පවසයි. ‘ජීවීන් සිය DNA ගොඩ නගන්නේ ඔවුන් සිය ආහාරයෙන් ලබාගන්නා තැනුම් ඒකකවලිනි. අපේ උප කල්පනය (උපන්‍යාසය) වන්නේ මෙම ආහාරයෙහි සංයුතිය ජීවීන්ගේ DNA වෙනස් කිරීමට හැකියාව ඇති බවයි. උදාහරණයක් ලෙස ශාක භක්ෂක පැන්ඩා වලසෙකු සහ මාංශ භක්ෂක ධ්රැවවලසෙකු අතර වක්තව්‍ය(පුරෝකථනය කළ හැකි) ජානමය වෙනස්කම් තිබිය හැකිද?
මේ උපන්‍යාසය පරීක්ෂාවට ලක්කිරීම සඳහා වූ මොඩල පද්ධතියක් ලෙස භාවිත කිරීම පිණිස පර්යේෂකයෝ සරල පරපෝෂිතයන් කණ්ඩායමක් තෝරා ගත්හ. “මේ පරපෝෂිතයන් පොදු පූර්වජයෙකුගෙන් පැවත ආවත් එකිනෙකට වෙනස් විවිධ ධාරකයන් ආසාදනය කිරීමට පරිණාමය වෙලා ඇති අතර එකිනෙකට වෙනස් ආහාර අනුභව කරනවා” යයි කෙලි පවසයි.
මෙම අධ්‍යයනයට විවිධ ශාක සහ ධාරකයන් ආසාදනය කරන සුන්‍යෂ්ටික පරපෝෂිතයන් සහ බැක්ටීරියාමය පරපෝෂිත කණ්ඩායම් සම්බන්ධ කරගණු ලැබුහ. අධ්‍යනයේ ප්‍රතිඵල, මෙම පර්යේෂකයන් විසින් වැඩිදියුණු කරන ලද නව්‍ය ගණිතමය මොඩල මත පදනම් විණ. එම ප්‍රතිඵල, කලින් වසන්ව තිබූ සෛලීය පරීවෘත්තීය සහ පරිණාමය අතර සම්බන්ධතාවය හෙළි කිරීමට සමත්විය. විවිධ ආහාරවලට අනුගතවීම අනුක්රමණයන් වෙත බලපාන අන්දම ගැන එම ප්‍රතිඵල නව ප්‍රතිවේදයක් සපයයි. එපමණක් ද නොව, අදාළ ජීවීන්ගේ ජානවල DNA අනුක්‍රමයේ විශ්ලේෂණයෙන් එම ජීවීන්ගේ ආහාරයන් මොනවාදැයි පුරෝකතනය කිරීමට හැකි බවද පර්ය්ෂකයන්ට පෙනී ගියේය.
‘ඉතා සමීපව සම්බන්ධ ජීවීන් ඔවුන්ගේ ජානමය සැකසුම අතින් මෙතරම් වෙනස් වන්නේ මන්ද යන්න පැහැදිලි වුණේ නැහැ. ඒත්, ජීව විද්‍යාවේ පරිවෘත්තීය හා ප්රවේණි විද්‍යාව යන මූලික අංගැ දෙක එකට එක්කර සැලකීමෙන් අපට මේ ක්ෂේත්රය ගැන අපේ අවබෝධය ඉදිරියට ගෙන යාමට හැකිවුණා’ යයි අධ්‍යයනයේ සම කර්තෘ එමිලි සිවර්ඞ් පවසයි. ‘මේක විසඳුම් සෙවීමට අපහසු ප්‍රශ්නයක්. මන්ද කීවොත් ජීවියෙකුගේ DNA අනුක්‍රමය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි සාධක අපමණ තිබෙන නිසායි. ඒත් අපේ අධ්‍යයනය මෙකී වෙනස්කම්වල ඉහළ ප්‍රතිශතයක් පැහැදිලි කිරීමට සමත් වනවා. එමෙන්ම ‘අපි වනාහි අප ආහාරයට ගන්නා දෙයින් සැදුම් ලද්දෝ වෙමු’ යන්න සනාථ කිරීමට සාක්ෂිත් සපයනවා. ඈ වැඩිදුරටත් සඳහන් කරයි. “පර්යේෂකයන්වන අප දැන් වෙහෙසෙන්නේ වෙනත් වඩා සංකීර්ණ ජිවීන් සම්බන්ධයෙන්ද මේ කාරනා සත්‍යය දැයි සොයා ගැනීම පිණිසයි”.
‘ආහාරමය නයිට්රජන් පරපෝෂි ක්ෂුද්‍රජීවීන්ගේ කෝඩොන් නැඹුරුව සහ ජෙනෝම සංයුතිය වෙනස් කරයි'(‘Dietary nitrogen alters codon bias and genome composition in parasitic microorganisms’) යනුවෙන් නම් කෙරුණු මෙම අධ්‍යයන වාර්තාව Genome Biology සඟරාවේ පළ විය.
Seriously, Science(Oxford University)වෙබ් අඩවියෙහි පළවූ Scientists uncover genetic evidence that ‘we are what we eat’ නම් ලිපිය ඇසුරෙනි