මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්
දර්ශනය, දර්ශන විද්‍යාව, න්‍යාය ශාස්ත්‍රය ලෙසින් සිංහලෙන් හඳුන්වන ‘Philosophy’ නම් ඉංග්‍රීසි පදය බිඳී ඇවිත් ඇත්තේ philosophos යන පුරාණ ග්‍රීක වචනයෙන්. එහි තේරුම ‘බුද්ධි ලෝලියා’ යන්නයි. පුරාණ ග්‍රීකයින්ට එය ඉතා පුළුල් විෂය පථයක් වුනා. දර්ශනය යන්නෙන් ස්ථාපනය වන්නේ කුමක් ද යන්න ගැන අද අපට ඇත්තේ වඩාත් පටු දැක්මක්. දර්ශනය යන්න විග්‍රහ වී ඇත්තේ සත්‍යය කුමක්ද යන්න පිලිබඳ මුලික විශ්වාසයන්ගේ පදනම ගැන කෙරෙන විචාරාත්මක පරීක්ෂාවක් ලෙස මෙන්ම එකී විශ්වාසයන් ප්‍රකාශයට පත්කරද්දී අප භාවිත කරණ සංකල්පයන්ගේ විශ්ලේෂණයක් හැටියටයි.
සොක්‍රටීස්ට (ක්‍රි.පු. 469—399) පෙර සිටි ග්‍රීක දර්ශනවාදීන් වඩාත් ප්‍රමුඛව සැලකිල්ල දැක්වුයේ පදාර්තයෙහි ස්වභාවය හෝ විශ්වයෙහි හැඩය වැනි භෞතික ලෝකය පිලිබඳ මානසවිචාරයන් කෙරෙහිය. එවැනි සොයාබැලීම් මධ්‍ය කාලින යුගයේදී හදුන්වනු ලැබුවේ “ස්වභාවික දර්ශනය” යනුවෙන් — ඔව් අද අපි ඊට කියන්නේ විද්‍යාව.
විද්‍යාව වනාහි භෞතික ලෝකය පිලිබඳ සත්‍ය ගවේෂණයට අදාළ “ප්‍රථම ගණ” (“first-order”) ක්‍රියාකාරකමක් ලෙස වර්ගීකරණය කරන්න පුළුවනි. තවත් ප්‍රථම ගණ ක්‍රියාකාරකමක් වන්නේ සද් උපදේශනයයි– කුමන ක්‍රියාවක් හොඳද කුමන ක්‍රියාවක් නරකද යන්න, කෙටියෙන් කිවොත් හොඳ නරක අපට කියාදීමයි. ප්‍රතිවිරුද්ධව ගතහොත්, දර්ශනය හෙවත් දර්ශන විද්‍යාව වනාහි ප්‍රථම ගණ ක්‍රියාකාරකම් පිටුපස ඇති උප කල්පනාවන් පරික්ෂා කර බලන “දෙවැනි ගණ” (“second-order”) ක්‍රියාකාරකමක්.
අපි දන්නවා සොක්‍රටිස්ගේ චින්තනය සංරක්ෂණය වී ඇත්තේ ඔහුගේ ගෝල ප්ලේටෝ ලියා තබා ඇති සංවාද ඔස්සේ පමණක් බව. සොක්‍රටිස්, දර්ශනයේ අවධානය හෙවත් කෙන්ද්‍රගතවිම “හොඳ යනු කුමක්ද?” වැනි මිනිසත්බව මුල් කරගත් ප්‍රශ්න කෙරෙහි යොමු කරා. මේ තමයි ආචාර ධර්මවල ආරම්භය. ආචාරධර්ම තමයි සදාචාර විනිශ්චවයන්ගේ (oral judgments) පදනම පැහැදිලි කිරීමට වෙර දරන දර්ශනයේ ශාඛාව. එපමණක් නොවෙයි, සොක්‍රටිස් තර්කයන්ගේ වලංගුතාවය පරික්ෂා කිරීමේ ක්‍රම වැඩිදියුණු කරා — ඒ තමා තර්ක ශාස්ත්‍රයේ ආරම්භය.
ආචාරධර්ම සහ තර්ක ශාස්ත්‍රය දර්ශන විද්‍යාවේ ප්‍රධාන ශාඛා දෙකක්. තුන්වැනි, තවත් ප්‍රධාන ශාකාවක් වනුයේ පාරභෞතික විද්‍යාවයි (metaphysics). පාරභෞතික විද්‍යාව, “සත්තාව(being) යනු කුමක්ද?” වැනි යථාර්ථයෙහි පරම ස්වභාවය පිළිබඳව ප්‍රශ්න මතුකරයි. දර්ශන විද්‍යාව ඇතුලත අනෙකුත් ක්ෂේත්‍ර අතර ඥානය ගැන හදාරන ඥාන විභාගය(epistemology), සෞන්දර්යයෙහි සහ කලාවෙහි ස්වභාවය විමසා බලන එමෙන්ම විචාරාත්මක විනිශ්චවයෙහි පදනම ප්‍රශ්න කෙරෙන සෞන්දර්ය විද්‍යාව(aesthetics) දක්වන්න පුළුවන්. මිට අමතරව විද්‍යාව, ඉතිහාසය සහ දේශපාලන න්‍යාය වැනි අනෙකුත් ප්‍රථම ගණ විෂයන්ගේ දර්ශන පුළුල් පරාසයක ද පවතිනවා.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Philosophy කොටස ඇසුරෙනි