අඟහරු ග්‍රහයාගේ අඳුරු වයිරම් ඇත්තටම ජලය ඇති බවට සාක්ෂිද?

Posted by

අඟහරු ග‍්‍රහයාගේ අද්භූත, අඳුරු වයිරම් පිළිබඳ විස්මිත අන්දරයට  දැන් අලූත් නැම්මක් එකතු වී ඇති සෙයකි. සමාවර්ත බෑවුම් රේඛා (Recurring Slope Lineae (RSL) ලෙස හඳුන්වනු ලබන මෙම වයිරම් රතු ග‍්‍රහයා මත නොයෙකුත් ස්ථාවවල ගැඹුරු එමෙන්ම  සාපේක්ෂව උණුසුම් බෑවුම්වල කලකට (seasonally) ඇති වේ. විද්‍යාඥයන් විසින් 2011 දී සමාවර්ත බෑවුම් රේඛා(RSL)  සොයා ගනු ලැබුවේ නාසා ආයතනයේ අඟහරු පූර්වේක්ෂණ  ඕබීටරය (Mars Reconnaissance Orbiter (MRO) මගින් ගන්නා ලැබූ අනුරූප අධ්‍යයන කිරීමෙනි. මේ රේඛා හෙවත්වයිරම් අඟහරු ග‍්‍රහයාගේ පෘෂ්ටයෙහි හෝ පෘෂ්ඨය  ආසන්නයේ ද්‍රව ජලය ඇති බවට සලකුණු විය හැකි යයි බොහෝ පර්යේෂකයෝ මූලිකව සමපේක්ෂණය කළහ. එමෙන්ම, වයිරම් ඇතුළ සජල ලවණ (hydrated salts) ඇතැයි අඟහරු පූර්වේක්ෂ  ඕබීටරය මගින් සොයා ගනු ලැබූ බව අධ්‍යයනයකින් වාර්තා වීමත්  සමගම මෙම උපකල්පනයට විශාල ‘තල්ලූවක්’ ලැබිණ.

mars

සජල ලවණ සොයාගැනීමේ ප‍්‍රවෘත්තිය විශාල උනන්දුවක්, ප‍්‍රබෝධයක් ඇති කිරීමට සමත් විය. මේ සාමාන්‍යයෙන්  දැඩි වියළි ගතියෙන් යුතු රතු ග‍්‍රහයාගේ ඇතැම් ස්ථාවවල අද අප දන්නා ස්වරූපයේ ජීවය පවත්වාගෙන යාමට  හැකියාව ඇතැයි යන්න ඉන් හැඟවීම ඊට හේතු විය. වයිරම් අතරේ නම් තිබිය හැක්කේ ලූණු රසැති ජලය තමයි. එසේ වුවද. සජලිත ලවණ තිබීම, අඟහරු ලොවට අජටාවකාශ ගාමීන් යැවීමේ ප‍්‍රයත්නවලට රුකුළක් විය හැකි යයිද ඒ අවස්ථාවේ නාසා නිලධාරීහු ප‍්‍රකාශ කර සිටියහ. එහෙත් එදා ඇති වූ ප‍්‍රබෝධය මදක් හීන වීමට නව අධ්‍යයනය හේතුවෙන් ඉඩ තිබේ. සජලිත ලවණ යනු ඝන ස්ඵටිකය. එහෙයින්, බෑවුම් රේඛාවන්හි ලවණවල ඇති ජලය, අඟහරු මතුපිට හෝ ඒ ආසන්නයේ ද්‍රව ජලය මගින් නොව රතු ග‍්‍රහයාගේ වායුගෝලයෙන් පැමිණි ඒවා වීමට ඉඩ තිබෙන බව වෝලඩර්, කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥවරියක් වන රයිනා ගෆේ පවසයි.

මේ මතය පරීක්ෂාකර බැලීම පිණිස ගෆ් සහ ඇගේ පර්යේෂණ හවුල්කාරිය වන මාග‍්‍රට් ටොල්බර්ට් පර්යේෂණාගාරයේදී  සම්පරීක්ෂණ පැවැත්වූහ. ඔවුහු, විවිධ වූ විජලිත (වියළි) ලවණ අඟහරු සමාන තත්ත්වයන්ට නිරාවරණය කළහ. එහිදී ඔවුන්ට පෙනී ගියේ සමහර විජලිත ලවණ — උදා කැල්සියම් පර්ක්ලොරේට් සහ කැල්සියම් ක්ලෝරයිඞ් — සජලිත වූ බවයි. අඟහරු මත ලවන යම් ආකාරයක පර්ක්ලොක් අම්ල ලවණ බව පෙනී යන්නේ යයි ඒවා සොයා ගනු ලැබූ අධ්‍යයනයේ පර්යේෂකයෝ සිය 2015 වාර්තාවේ ලියා තැබූහ.)

මේ අතර ගෆ් නව අධ්‍යයන වාර්තාව පසුගිය දෙසැම්බර් 13 දා සැන් ප‍්‍රැන්සිස්කෝ නුවර පැවති ඇමරිකානු භූභෞතික විද්‍යා සංගම් ( American Geophysical Union ) වාර්ෂික රැස්වීමට ඉදිරිපත් කළාය. එම වාර්තාවේ ප‍්‍රතිඵලවලින් කිසිම දෙයක් ඍජුවම ඔප්පු නොවේ. අඟහරු ග‍්‍රහයා මත රේඛා අතරේ ද්‍රව ස්වරූපයෙන් ජලය සම්බන්ධවීමේ ඉඩ කඩක් තවමත් තිබෙන බව ගෆ් අවධාරණය කරයි. එහෙත් සිත් එළවන සුළු ඒ  ස්වභාවය, ඒ හැකියාව නිශ්චිත දෙයක් ලෙස ම පිළිගත යුතු නැති බවයි ඇගේ අදහස. ‘සජලිත ලවණ කියන්නේ ජලය ඇති බවට නොවරදින සාක්ෂියක් ලෙස  ඒ කියන්නේ සැමවිටම සිදු විය යුත්තක් ලෙස පිළිගත යුතු නොවේ.’ ඇය කියයි.

%e0%b6%b82

වායුගෝලීය ජලයෙන් පමණක් සජලිත කළ නොහැකි ලවණ වර්ග මොනවාදැයි නිර්ණය කරනු පිණිස අනාගතයේදී තවත් පරීක්ෂණාගාර සම්පරික්ෂන පැවැත්විය යුතු යයි ගෆ් සහ ටොල්බර්ට් සිය අධ්‍යයන වාර්තාවේ සඳහන් කරති. එවැනි ලවණ, අඟහරු ග‍්‍රහයා මත දී හඳුනා ගැනීමට හැකි වුවහොත් එය නම් එහි ද්‍රව ජලය ඇතැයි යන්නට  බලගතු සාක්ෂි බවට පත්වීමට ඉඩ තිබෙතැයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

මෙයට කලින් 2016 ජූලි මුල වාර්තාවක් ඉදිරිපත් කළ ටස්කන්හි ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ චන්ද්‍ර සහ ග‍්‍රහලෝක පරීක්ෂණාගාරයේ මැතිව් චොයිනැකි, වාර්තාවට පදනම් වශයෙන් නාසා ආයතනය RSL ලෙස හඳුන්වන අඳුරු රේඛා දහස් ගණනක් ගැන විපරම් කළේය. වාර්තාවේ ප‍්‍රධාන කර්තෘ වන ඔහු සඳහන් කරන අන්දමට අඟහරු මතුපිටට ආසන්නයේ  ජලයේ ස්වරූප තුනෙන් එකකින් එනම් මිදුණු ද්‍රව හෝ වාෂ්ප වශයෙන්  පවතින්නේය යන මතය තහවුරු කිරීමට මේ රේඛා අතිරේක සහායක් ලබා දෙයි. කෙසේ වුවද මේ විද්‍යාඥයන් අඳුරු රේඛා ඇතිවීමට හේතුව ද්‍රව ස්වරූපයේ ජලය බව ස්ථිරවම කියා නොසිටින අතර අනෙකුත් උපන්‍යාසයන් බැහැර කරන්නේද නැත. අඟහරු වායුගෝලයේ ඇති ජලය ලවණ මගින් උරා ගැනීමේ  ප‍්‍රතිඵලයක් ලෙස මේ අඳුරු රේඛා පිහිටන්නට ඇත යන්න එවැනි එක් විකල්ප මතයකි.

මේ අතර අඟහරු ග‍්‍රහයා මත දෙවැනි වරටත් ‘හැන්දක්’ සොයා ගැනීමත් සමගම රතු ග‍්‍රහ ලොව වැසියන් සිටියේය යන මතය දරන්නෝ මහත් ප‍්‍රබෝධයට පත්ව සිටිති. ඔවුන් ‘හැන්ද’ දකින්නේ අඟහරු ලෙව පැවති  ශිෂ්ඨාචාරයක කොටස් ලෙසටය. එහෙත් ඇතැම් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ නාසා රෝවර් යානයෙන් සොයා ගනු ලැබූ අනුරූපවල හැන්දක් සේ පෙනෙන්නේ පාෂාණවල පිහිටීමත් බවයි. මෙයට පෙර ‘මුදු’ අත්වැසුම් දක්නට තිබුණ බවද ඒ අන්දමටම වාර්තා විණ.

Space.com හී  Are Mars’ Dark Streaks Really Evidence of Liquid Water?ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.