විදු නැන නුවණ – Science Literacy for All

වසර මිලියන 540 ක් පැරණි මානව පූර්වජයාට ගුදයක් නැතිලූ!

ගුදය හෙවත් අධෝමුඛයක් නොමැති ප්‍රමාණයෙන් කුණු රොදක් පමණ වන්  සත්වයෙකු මෙතෙක් දැන සිටින පැරණිතම ප‍්‍රාග් ඵෙතිහාසික මානව පූර්වජයා බව නව අධ්‍යයනයකින් හෙළිවෙයි.

බෑගයක් බඳු මුහුදු ජීවියෙකු වන මෙම වසර මිලියන 540 ක් පැරණි සතෙකුගේ නෂ්ටාවශේෂ විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත. මේ සත්වයා සොයා ගෙන ඇත්තේ මධ්‍යම චීනයෙනි. මේ සත්වයා කොපමණ අළුත් සොයා ගැනීමක් ද කියතහොත් ඌට  සුවිශේෂමය වූ කුල නාමයක්(family එනම්  Saccorhytidae) මෙන්ම ඌටම සුවිශේෂී වූ ගණ(genus) හා විශේෂ නාමයක්(species එනම් Saccorhytus coronaries) ද ඇත. (“Saccus” යනු ලතින් භාෂාවෙන් මඩිය නැතිනම් කෝෂය යන්නය. “rhytis” යනු ග‍්‍රීක භාෂාවෙන් ‘රැල්ල’ (සමේ රැල්ල) යන්නයි.

විශාල මුඛයක් සහ  ඕවලාකාර සිරුරක් සහිත S. coronaries නම් මෙම සත්වයා  deuterostome කාණ්ඩයේ සත්වයෙකු විය හැකිය. මෙම කාණ්ඩයට මිනිසුන් ඇතුළු සියළුම පෘෂ්ඨ වංශීයන් ද, පසැඟිල්ලන් වැනි ඇතැම් අපෘෂ්ඨ වංශීන් ද අයත් වේ. ‘මුල් කාලීන deuterostome හැටියට මේ සතා නියෝජනය කරන්නේ අප ද ඇතුළුව බොහෝ විවිධ පරාසයක  ජීව විශේෂයන්ගේ  ආදි කල්පීය ආරම්භයන් විය හැකි යයි අපි හිතනවා’ යනුවෙන් පවසන්නේ කේම්බි‍්‍රජ් සරසවියේ පරිණාමීය ආදී ජීව විද්‍යා මහාචාර්ය සයිමන්  කොන්වේ මොරිස්ය, ‘අප පරීක්ෂාවට ලක් කළ ෆොසිල(fossils)  පියවි ඇහැට පේන්නේ ඉතා කුඩා කළු පැහැ කණිකාවන් වගෙයි. ඒත් අන්වීක්ෂයකින් බලන කල දැකිය හැකි සවිස්තරයන් අපව පුදුමයට පත් කරනවා’ යයි මහාචාර්යවරයා නිවේදනයක් නිතුත් කරමින් කියා සිටියි.

S. coronaries චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්

S. coronaries චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්

ඒ කොහොම වුණත්, බැලූ බැල්මට නම් S. coronaries නූතන මානවයාට එතරම් පොදු ලක්ෂණ පෙන්නුම් නොකරයි. (ෆොසිලයේ දැක්වෙන) මේ සත්වයා දිගින් මිලි මීටරයක් (අඟල් 0.04) තරම් දිගයි. මුහුදු පත්ලේ වැලි කැට අතරේ ආදී කැම්බි‍්‍රයානු අවධියෙහි  ජීවත් වන්නට ඇත. ඉතා කුඩා සිරුර හා සසඳන විට S. coronaries ගේ  මුඛය(කට) විශාල වුවද ඌට අධෝ මුඛයක් තිබූ බවක් නොපෙනේ. ‘ඒක එහෙම නම් ඌ අපද්‍රව්‍යයන් ආපහු කටින්ම තමයි පිටතට යවන්න ඇත්තේ. අපේ දෘෂ්ටි කෝණයෙන් බලන විට නම් මෙය අප‍්‍රසන්න තමයි’ මහාචාර්ය කොන්වේ මොරිස් කියා සිටියි.

Image result for deuterostome animals

කුඩාම ආදිතමයා

වසර මිලියන 510 ටත් 520 ටත් අතර කාලයට අයත් අනෙකුත් deuterostome කාණ්ඩ ගැන විද්‍යාඥයෝ දැන සිටිති. මේ කියන කාලය වන විට ඔවුන් පෘෂ්ඨ වංශියන්, මෙන්ම  කරිජ්ජවායන්(sea squirts),  එකිනොඩමියන්(echinoderms) හෙවත් (පසැඟිල්ලන්, ඉකිරියන් වැනි) ශල්‍ය චර්මියන් සහ හෙමිකෝඩාටාවන් (hemichordates  = මේ කාණ්ඩයට  ඕක් පණුවන්ද ඇතුළත්ය) ලෙස පරිණාමය වී හමාරය. එසේ වතුදු, මේ අතිශය විවිධත්වයකින් යුතුන්ගේ පොදු deuterostome පූර්වජයා කෙබඳු පෙනුමකින් යුක්ත ද යන්න තෝරා බේරා ගැනීමට විද්‍යාඥයන්ට අසීරු වී තිබේ යයි පර්යේෂකයෝ ප‍්‍රකාශ කරති. මේ අළුතෙන් සොයා ගත් ක්ෂුද්‍ර ෆොසිල ඊට පිළියම් සැපයීමට සමත් වන බව ඔවුහු පෙන්වා දෙති. S. coronaries සත්වයාගේ අනුරූපනයක් නිර්මාණය කිරීම පිණිස පර්යේෂකයෝ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් සහ සීටී ස්කෑනරයක් (a computed tomography scanner) යොදා ගත්හ.

‘‘ෆොසිල සොයා ගැනීම පිණිස අති විශාල හුණු ගල් ප‍්‍රමාණයක්  — ඒ කියන්නේ ටොන් 3 ක් පමණ ප‍්‍රමාණයක් –සැකසීමේ ක‍්‍රියාදාමයකට ලක් කිරීමට අපට සිදුවුණා. ඒත් අඛණ්ඩ ධාරාවක් ලෙස  අළුත් සොයා ගැනීම් සිදුවීම ප‍්‍රධාන ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් පිළියම් සෙවීමට අපට මග පාදා දුන්නා. මේ සතුන් මුල් යුගයේ ශල්‍ය චර්මියෙකුද? නැතිනම් ඊට වඩා ආදීකල්පියෙකු ද? යනු එවන් ගැටලුයි ’’ යනුවෙන් වයඹ දිග චීන සරසවියේ පාෂාණධාතු විද්‍යාඥ, අධ්‍යයනයේ සම පර්යේෂක ජියැං හෑන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි, ‘දැන් පෙනී යන හැටියට මොවුන් වඩාත් ආදි කල්පියකයන් තමයි.’

අධ්‍යයනයේ විශ්ලේෂණයට අනුව පෙනී යන්නේ මොවුන් සතුව උභය පාර්ශ්වික ශරීරයක් වූ බවයි. මේ ගති ලක්ෂණය, මානවයන් ඇතුළු ඔවුන්ගගෙන් පැවත එන්නන් වෙත පවරා දී තිබේ. මේ S. coronaries  සත්වයා තුනී, නම්‍යශීලි සමකින් වැසී තිබුණු අතර ඉන් හැඟී යන්නේ ජලය තුළ දැඟලීමකට ඉඩ සලසමින් උගේ විශාල මුඛයෙන් ආහාර ගිල දැමීමට හැකිවෙන අයුරින්  එක්තරා අන්දමකට පේශීන් තිබූ බවකි. මුඛය වටා තිබූ කේතු ආකාර ව්‍යුහයන් මේ සතාට පෙවෙන ජලය ඉවත් කිරීමට ආධාර වෙන්නට ඇතැයි පර්යේෂකයෝ අදහස් කරති. බාගවිට මේවා ජලක්ලෝම පැළුම්(gill slits) විය හැකියි.

අණුක ඝටිකාව        

සෛදාන්තිකව ගතහොත් විශේෂයන් දෙකක් අපසාරී වන ආකාරය, ඒවා අතරේ ජානමය වෙනස්කම් ප‍්‍රමාණය කිරීමෙන් විද්‍යාඥයන්ට තීරණය කළ හැක. නිදසුනක් ලෙස, කණ්ඩායම් දෙකක් දුරින් සම්බන්ධ වන්නේ නම් ඔවුනට තිබිය යුත්තේ බෙහෙවින් වෙනස් ජිනෝමය(genomes). එසේ වුවද S. coronaries ජීවත් වූ සමයේ ෆොසිල ඇත්තේ ස්වල්පයකි. ඒ  නිසා S. coronaries සහ අනෙකුත් සතුන්ගේ අණුක ඝටිකා(molecular clocks) ගැලපීම දුෂ්කරය. මීට හේතුව deuterostome ට පෙර සිටි සතුන් ෆොසිල ඉතිරි කර තැබීමට තරම් නොහැකි අන්දමට ඉතා කුඩා එවුන් වන්නට ඇතැයි පර්යේෂකයෝ අදහස් කරති.

මොවුන්ගේ සොයා ගැනීම් පිළිබඳ වාර්තාව ජනවාරී 30 දා  මාර්ගගත Nature සඟරාවේ පළවී තිබුණි.

 

Live Science හි පළවූ   Tiny, 540-Million-Year-Old Human Ancestor Didn’t Have an Anus යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: