විදු නැන නුවණ – Science Literacy for All

විවිධත්වය අපව හපනුන් බවට පත්කරන හැටි

විවිධත්වය සම්බන්ධයෙන් මුලින්ම පිළිගත යුතු කාරණාවක් වන්නේ එය අසීරු දෙයක් විය හැකි බවයි. අන්තර්ග‍්‍රහණය හෙවත් වැද්දගැනීම(inclusion) ගැන සාපේක්ෂව ඉහළ මට්ටමේ සංවාදයක් පවතින ඇමරිකා එක්සත් ජනපදයේ පවා ‘අන්තර්ග‍්‍රහණය’ යන්න සඳහන් කිරීම ම කාංසාව හා ගැටුම්වලට මග පෑදිය හැකිය. උපරිමාධිකරණ විනිසුරුවන් අතරේ පවා අන්තර්ග‍්‍රහණයේ සද්ගුණය සහ එය ළඟා කර ගන්නා මාර්ග ගැන එකඟත්වයක් නොපවතී. මහා සමාගම් අභ්‍යන්තරව මෙන්ම බාහිරව ද අන්තර්ග‍්‍රහණය ආකර්ෂණය කර ගැනීම හා කළමණාකරණය සඳහා ඩොලර් බිලියන ගණනින් වැය කළත්, අසාධාරණ ආකාරයට සිදුකරන වෙනස් සැලකීම හෙවත් විචයනය (discrimination) හේතුවෙන් එකී මහා සමාගම්වලට ම  එරෙහිව නඩු පැවරේ. එමෙන්ම ව්‍යාපාර ලෝකයේ ප‍්‍රධාන තනතුරු තවමත් සුදු ජාතිකයන්ට ඒ වාගේම පිරිමින්ට පමණක් සීමා වී තිබේ.

o-diversity-facebook

විවිධත්වය හේතුවෙන් අපට සිදුවන යහපත කුමක් දැයි ප‍්‍රශ්න කිරීම සාධාරණය. වෙසෙසියාවේ හෝ නිපුණත්වයේ විවිධත්වය (Diversity of expertise) හේතුකොට ගෙන සැලකෙන ප‍්‍රයෝජන හා යහපත පැහැදිලිව පෙනෙන්නකි. ඉංජිනේරූවන් , සැලසුම්කරුවන්, තත්ව පාලකයන් වැනි විශේෂඥයන් නොමැතිව අළුතෙන් මෝටර් රියක් තනන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවේ. එහෙත් සමාජයීය විවිධත්වයත් එලෙසම ද? ජාතිය, ජනවර්ගය (ethnicity) ලිංගිකත්වය (ස්ත‍්‍රී පුරුෂ බව = gender) සහ ලිංගික  නැඹුරුව සම්බන්ධ විවිධත්වයෙන් අත්වන යහපත කිම ? පිරිසක් හෝ සමූහයක් අතර සමාජයීය විවිධත්වය, අපහසුතාවන්ට(discomfort),  වඩාත් කලහකාරී අන්තර්ක‍්‍රියාවන්ට, විශ්වාසය ගිලිහීමට, අන්තර් පුද්ගල ගැටුම් ගැන වැඩියෙන් ප‍්‍රග‍්‍රහණය කිරීමට, සංසක්ත වීමේ අඩු ප්‍රවනතාවකට, සන්නිවේදනය පහළට වැටීමට , නිගරුව ගැන වැඩි සැලකිල්ල දැක්වීම සහ අනෙකුත් ගැටළුවලට හේතු භූත වන බව පර්යේෂණ මගින් හෙළි වේ. එසේ නම් මෙහි වාසිදායක පැත්ත කුමක් ද?

නවෝත්පාදනයට හැකියාව ඇති කණ්ඩායම් සහ සංවිධාන ගොඩ නැගීමට නම් ඔබටවිවිධත්වය අවශ්‍ය වේ. විවිධත්වය නිර්මාණශිලිත්වය පෝෂණය කරයි. එය, වඩා යහපත් තීරණ ගැනීමට මෙන්ම ගැටළු නිරාකරණයට ද මග පාදමින් නව තොරතුරු සහ පර්යාලෝකයන් සොයා යාම දිරිමත් කරයි. විවිධත්වය සමාගම්වල පරම නිර්ණායක වර්ධනය කරයි. එය, බාධක විලංගු වලින් තොර සොයා ගැනීම් වලට මෙන්ම නවෝත්පාදනයේ ඉදිරි පිමිවලට මග පාදන්නේය. වෙනකක් තබා, හුදෙක් විවිධත්වයට අනාවරණය වීමෙන්පමණක් වුවද කෙනෙකු සිතන පතන ආකාරයේ වෙනසක් ඇති කළ හැකිවේ. මේ දක්වන කාරණා හිතලූ හෙවත් අතාර්කික සිතුවිලි නොව, සංවිධාන ගැන විමර්ෂණය කරන විද්‍යාඥයන්, මනෝ විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන් සහ ජන විකාස විද්‍යාඥයන් (demographers) දශක ගණනාවක් තිස්සේ සිදු කළ පර්යේෂණ මත එළඹි නිගමනයන්ය.

businessman holding virtual object

තොරතුරු සහ නවෝත්පාදනය

විවිධත්වයේ ධනාත්මක බලපෑම වටහා ගැනීමේ දී ප‍්‍රමුඛ වන්නේ තොරතුරු විවිධත්වයයි. කණ්ඩායම් වලදී ගැටළු විසඳීම පිණිස ජනතාව එකට එක් කළ විට ඔවුහු විවිධ තොරතුරු, මතවාද හා පර්යාලෝකයන් ගෙන එති. විවිධ අය එකතුව මෝටර් රථයක් අළුතෙන් නිර්මාණය කිරීම පිළිබඳ අපගේ නිදසුන ගැන නැවත හිතන්න. එවිට අන්තරේ ශික්ෂණ විවිධත්වය පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇතිවේ. සමාජ විවිධත්වයට අදාළ වන්නේ ද එම තර්කයමය. ජාතිය, ස්ත‍්‍රී පුරුෂ භාවය හා අනෙකුත් මානයන් ගතහොත් එකිනෙකට වෙනස් පුද්ගලයෝ ඉටු කිරීමට තිබෙන කාර්ය සාර්ථක කර ගැනිමෙහිලා සුවිශේෂී වූ තොරතුරු මෙන්ම අත්දැකීම් ද ගෙන එති.

නවෝත්පාදන ගැන පතළ විශාල සමාගම් ගැන සිදු කෙරෙන පර්යේෂණ වලින් මේ කාරණාව දිගින් දිගටම සනාථ වේ. නිදසුනක් දක්වන්නේ නම් මේරිලන්ඞ් සරසවියේ ක‍්‍රිස්ටියන් ඩෙසෝ සහ කොළොම්බියා සරසවියේ ඬේවිඞ් රොස් යන මහාචාර්යවරු ඇ.එ.ජනපදයේ ඉහළම සමාගම්වලදී ලිංගිකත්ව විවිධත්වය බලපාන අන්දම ගැන අධ්‍යයනයක යෙදුනහ. ප‍්‍රථමයෙන් ම ඔව්හු 1992 සිට 2006 දක්වා කාලයේ ප‍්‍රධාන පෙළේ ආයතනවල කළමණාකරන කාර්ය මණ්ඩලවල ප‍්‍රමාණය සහ ලිංගිකත්ව සංයුතිය ගැන සෙවූහ.  අනතුරුවයි එම ආයතනවල මූල්‍යමය කාර්ය සපලත්වය විමසිල්ලට ලක් කළේ. මේ පර්යේෂණ වලදී පැහැදිලි වුනේ. මුල් පුටුවල ස්ත‍්‍රී නියෝජනය ආයතනයේ මූල්‍යමය තත්ත්වය ඉහළ දැමීමට හා නවෝත්පාදනය දිරිමත් කිරීමට මග පෑදු බවයි.

women-on-boards

ජනවාර්ගික විවිධත්වය මගින් ද එවැනිම යහපත් ප‍්‍රතිඵල ඇති කරගත හැකිවේ. ඩලාස් හි පිහිටි ටෙක්සාස් සරසවියේ කළමණාකරනය පිළිබඳ මහාචාර්ය  ඕලැන්ඩෝ රිචඞ් 2003 දී ඔහුගේ සගයන් හා එක්ව මූල්‍ය කාර්ය සාධනය, ජනවාර්ගික විවිධත්වය සහ බැංකු අධිපතීන් නවෝත්පාදනය කෙරෙහි දක්වන අවධානය ගැන ඇ.එ.ජනපදයේ ජාතික බැංකු 177 විධායක නිළධාරින් ගෙන් කරුණු විමසූහ. අනතුරුව එම දත්ත එකතුවක් සකස් කෙරිණ. මෙහිදී පෙනී ගියේ නවෝත්පාදනය කෙරෙහි අවධානය යොමු කළ බැංකුවල ජනවාර්ගික විවිධත්වය ඉහළයාම සහ මූල්‍ය කාර්ය සාධනය අතර පැහැදිලි සබඳතාවක් ඇති බවයි.

ඇ.එ.ජනපදයේ පමණක් නොව ලොව පුරා වෙනත් රටවලද විවිධත්වයෙන් සැලසෙන සෙත ගැන සාක්ෂි හමු වී ඇත. 2012 වසරේ අගෝස්තුවේ දී සුප‍්‍රකට Credit Suisse Research Institute  ආයතනයේ පර්යේෂකයන් කණ්ඩායමක් 2005 සිට 2011 දක්වා කාලය තුළ  ගෝලීය වශයෙන් සමාගම් 2360 ක් ගැන විමසීමක් සිදුකළේ සමාගම් පාලක මණ්ඩල වල ස්ත‍්‍රී පුරුෂ විවිධත්වය සහ මූල්‍යමය කාර්ය සාධනය ගැන සෙවීමටය. පර්යේෂකයන්ට පැහැදිලිවම පෙනී ගියේ පාලක මණ්ඩලවල ස්ත‍්‍රීන් එක් අයෙකු හෝ වැඩි ගණනක් සිටීම සමස්තයක් ලෙස සමාගමවල  පොදු වර්ධනයට බලපා ඇති බවයි.

Scientific American හි පළවූ  How Diversity Makes Us Smarter  ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: