විදු නැන නුවණ – Science Literacy for All

වික්ටෝරියානු මතවාද අප සත්ව ලිංගිකත්වය ගැන සිතන අන්දමට බලපෑ ආකාරය

පිරිමි ස්වභාවයෙන් ම සල්ලාල ගතියෙන් යුක්තය, ගැහැණු කෝල ගතියෙන් යුතු සම්භෝගයට පහසුවෙන්  නම්මා ගත නොහැකි කොටසක් ය යන මතය කලාන්තරයක් තිස්සේ බොහෝ සංස්කෘතීන් තුළ මුල් බැස ගත්තකි. ඇතැම් ජීව විද්‍යාඥයන්, මනෝ විද්‍යාඥයන්, මානව විද්‍යාඥයන් ඇතුළු බොහෝ විද්‍යාඥයන් පවා මානවයන් ද ඇතුළත්ව ගැහැණු පිරිමි(ස්ත්‍රී-පුරුෂ) වෙනස්කම්වලට අදාළ  ඕනෑම කාරණයක් ගැන අදහස් දැක්වීමේ දී ඉහත මතය හුවා දැක්වීමට පෙළඹෙති. ඇත්ත වශයෙන්ම, තනිස්කරණය(rape) හෙවත් ලිංගික බලහත්කාරය, කාම මිථ්‍යාචාරය(marital infidelity) සහ ඇතැම් ගෘහස්ථ පීඩන ස්වරූප ආදී මානව චර්යාවන් සමහරක්, පිරිමින් සල්ලාලය, ගැහුණුන් ලිංගිකව ඔතෑනිය යන කාරනාව නිසා පරිණාමය වූ අනුවර්තන හැසිරීම් රටා(adaptive traits) ලෙස හුවා දැක්විණ.

pads-and-frocks

බටහිර සංස්කෘතියේ ව්‍යාපී මෙම අදහස්, සත්වයින් අතරේ ලිංගිකවරණය, ලිංගික වෙනස්කම් සහ ලිංගික භූමිකා ගැන පරිණාමිය අධ්‍යයන සඳහා මුල්ගල හෙවත් මූලික පදනම ලෙස ද සැලකිල්ලට ගැනේ. මේවා යටින් දිවෙන උපකල්පන හා එහි ප‍්‍රතිඵල ලෙස මතුවන සුසමාදර්ශ ගැන නූතන දත්තයන්ගෙන් සන්නද්ධව ප‍්‍රශ්න නගන්නට සමහර විද්‍යාඥයන් ඉදිරිපත් වූයේ මෑතකදීය.

මෙකී සරල උප කල්පන අඩ වශයෙන් පදනම් වන්නේ ශුකාණු සහ ඩිම්බ නිෂ්පාදනය කිරීමේ ප‍්‍රමාණයෙහි සහ පූර්වානුමානය කෙරුණු ශක්ති පිරිවැයෙහි  වෙනස්කම් මතයි. මේ වෙනස්කම් ජීව විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ, අසම ජන්මාණුකතාව(anisogamy = අසමාන වූ ජන්මාණු දෙකක් එක් වී සිදුවන ලිංගික ප‍්‍රජනනය) යනුවෙනි. ස්ත‍්‍රී-පුරුෂ ලිංගික චර්යාවේ වෙනස්කම් ගැන ඉදිරිපත් කළ හැකි පැහැදිලි කිරීමක් ලෙස අසම ජන්මාණුකතාව පිළිබඳව මුලින්ම ඉඟියක් කළේ චාල්ස් ඩාවින්ය.

ඔහු කෙටියෙන් සිදුකළ මෙම සඳහන, පිරිමින් ශුකාණු මිලියන ගණන් සුලබව  නිපදවන නිසා ඔවුනට ජීව විද්‍යාත්මකව පිරිවැයක් දරන්නේ නැතුව විවිධ ස්ත‍්‍රීන් බොහෝ දෙනෙකු සමග සම්භෝගයෙහි යෙදිය හැකිය යන අදහස හැටියට අවසානයේ දී අනෙක් අයවළුන් විසින් ප‍්‍රසාරණය කරනු ලැබීය. විලෝම වශයෙන්, පෝෂක අඩංගු, සාපේක්ෂව ‘පිරිවැය අධික’ ඩිම්බ කිහිපයක් ස්ත‍්‍රීහු නිපදවති. එහෙයින් ඔවුන් සම්භෝගයෙහි යෙදිය යුත්තේ බොහෝ සීරුවෙන් තෝරා බේරා ගත් ‘හොඳම පුරුෂ’ සහකරුවෙකු සමග පමණක්ය. ස්ත‍්‍රියකගේ එවන් ඩිම්බ සියල්ලම සංසේචනයට අවශ්‍ය වන්නාවූ ප්‍රමාණයට  බෙහෙවින් වැඩි ශුක‍්‍රාණු සංඛ්‍යාවක් ඇත්තටම එකී ‘හොඳම පුරුෂයා’ නිපදවනවා ඇත.

image-20170119-26555-db89el-jpg__800x450_q85_crop_upscale

 

ලිංගිකවරණය සහ ස්ත‍්‍රී-පුරුෂ ලිංගික චර්යාව පිළිබඳ ඩාවින්ගේ පුරෝකතන මුලින්ම පරීක්ෂාවට ලක් කිරීමට ඉදිරිපත් වුනේ ඇන්ගස් බේට්මන් නැමැති උද්භිද විද්‍යාඥයාය. ඒ 1948 වර්ෂයේ දීය. නිපදවන ජනිතයන්ගේ(offsprings) සංක්‍යාවෙන් මනිනු ලබන පිරිමි ප‍්‍රජනන සාර්ථකත්වය ඔහුගේ සහකාරියන්ගේ සංඛ්‍යාව සමග රේඛීයව ඉහළ යන බව බේට්මන්ගේ වඩාත්ම වැදගත් නිගමනය විය. එහෙත් ගැහැණු ප‍්‍රජනන සාර්ථකත්වය උපරිමයට පත්වන්නේ එක පිරිමියෙකු සමග සම්භෝගයේ යෙදෙන විටය. එපමණක් ද නොව, බේට්මන් තර්ක කළේ මෙය ලිංගිකව ප‍්‍රජනනය වන සියළුම විශේෂයන්ට සාර්වතිකව පොදු යයි කිය හැකි තරම් බවයි.

න්‍යායාත්මක ජීව විද්‍යාඥයෙකු වන රොබට් ට‍්‍රයිවර්ස් 1972 දී බේට්මන්ගේ අදහස් හුවා දක්වමින්, ‘දෙමාපිය ආයෝජන’ සිද්ධාන්තය(theory of “parental investment”) ඉදිරිපත් කළේය. ශුක‍්‍රාණු කොපමණ නම් සුලබව(අඩු ආයෝජනයක්) ඇත්දැයි කිවහොත් පිරිමින් පරිණාමය වී ඇත්තේ සිය සහකාරියන් අතහැර දමා විචාරයකින් තොරව සම්භෝගය සඳහා වෙනත් ස්ත‍්‍රීන් සෙවීමටය; අනෙක් අතට, ස්ත‍්‍රී ආයෝජනය කොපමණ විශාල ද (මිල අධික ඩිම්බ) කීවොත් ඔවුහු ඒක භෝගීව(monogamously), පරිස්සමෙන් සම්භෝගයේ යෙදෙන අතර සිය පැටවුන් රැක බලා ගැනීමේ වගකීම දරා ගනිති. වෙනත් අන්දමකට දක්වතොත්, ස්තී‍්‍රන් විචක්ෂණශීලිව තෝරා ගනිමින් එක් සුපිරි පිරිමියෙකු සමග පමණක් සම්භෝගයේ යෙදීමට පරිණාමය වී ඇත; වග විභාගයකින් තොරව හැකි තරම් ස්ත‍්‍රීන් සංඛ්‍යාවක් සමග සම්භෝගයේ යෙදීමට පිරිමින් පරිණාමය වී ඇත. ලිංගිකව ප‍්‍රජනනය වන සත්ව විශේෂ බහුතරයකට  මේ රටාව සාධාරණ යයි  ට‍්‍රයිවර්ස් විශ්වාස කළේය.

8e4535caf82c8b1c50f143ca4add96a5

කෙසේ වෙතත්, ප‍්‍රශ්නය වනුයේ බේට්මන්ගේ සහ ට‍්‍රයිවර්ස්ගේ පුරෝකතන සහ උපකල්පන බොහොමයක් නූතන දත්ත මගින් කොහොමවත් සනාථ නොවීමයි. එසේ වුවද ‘බේට්මන් මුලධර්මය’ මගින්  දශක ගණනාවක් තිස්සේ පරිණාමීය චින්තනය බලපෑමට ලක්කරනු ලැබීම  වැළැක්වීමට බැරිවිය. යථාර්ථය ගතහොත්, එක ඩිම්බයක පිරිවැය එක ශුක‍්‍රාණුවක පිරිවැය සමග සැසදීමේ තේරුමක් නැත. තුලනාත්මක මනෝ විද්‍යාඥ ඩොන් ඩිව්ස්බරි පෙන්වා දෙන අන්දමට එක් ඩිම්බයක් සංසේචනය පිණිස පුරුෂයෙක් ශුක‍්‍රාණු මිලියනයක් නිපදවයි. එහෙයින් සංසන්දනය සිදුවිය යුත්තේ ශුක‍්‍රාණු මිලියනයක් එක ඩිම්බයක් සමගය. මීට අමතරව, පුරුෂයෝ ශූක‍්‍ර තරලය නිපදවන අතර බොහෝ විශේෂයන්ගේ ශුක‍්‍ර තරලවල  නිපදවීමට අධික වියදමක් දැරිය යුතු යයි  සැලකෙන වැදගත් ජෛවී ක‍්‍රියාකාරී සංයෝග අඩංගු වේ. දැන් වඩාත් මනා ආකාරයෙන් ලේඛන ගත කර ඇති පරිදි ශුක‍්‍ර තරල නිෂ්පාදනය සීමිත වන අතර පිරිමි ශුක‍්‍ර තරල හිඟයකට මුහුණ පෑමට පුළුවන. පර්යේෂකයන් එය හඳුන්වන්නේ ‘‘ශුක‍්‍ර තරල ක්ෂය වීම’’(sperm depletion) යනුවෙනි.

බේට්මන් සහ ට‍්‍රයිවර්ස්ගේ අදහස් වල මූලයන් දැකිය හැකි වූයේ ඩාවින්ගේ රචනා අතරේය. ඒවා වික්ටෝරියානු යුගයේ සංස්කෘතික විශ්වාසයන්ගේ බලපෑමට හසුවිය. ඒ යුගයේ සමාජ ආකල්ප හා විද්‍යාව එකට ඈඳී තිබුණි. පොදු පිළිගැනීම වූයේ පුරුෂයන් හා ස්ත‍්‍රීන් මූලික වශයෙන් එකිනෙකාට හාත්පසින් වෙනස්ය යන්නය. එපමණක් ද නොව වික්ටෝරියානු කාන්තාවන් ගැන දැක්වූ ආකල්ප මානවයන් නොවන ස්ත‍්‍රීන් සම්බන්ධ අදහස්වලට ද බලපෑම් ඇති කළේය. පිරිමි ක‍්‍රියාශීලීය, සටන්කාමිය, වඩාත් විවිධය. එමෙන්ම වඩාත් පරිණාමය වී ඇත. වඩාත් සංකීර්ණය. ස්ත‍්‍රීහු  ඕනෑ දෙයක් ඉවසා දරා සිටිති. පෝෂණය කිරීමට, ඇති දැඩිකිරීමට දක්ෂය. විවිධත්වයෙන් අඩුය. ළමයෙකුගේ මට්ටමට වර්ධනය අතරමග බාල වී ඇත. සැබැ ස්ත‍්‍රිය පාරිශුද්ධය, පිරිමින්ට අවනතය. ලිංගික සම්භෝගයට උනන්දුව හීනය. ස්ති‍්‍රය පිළිබඳ මේ අදහස කෙළින්ම සත්ව ලෝකයේ ගැහුණු සතුන්ට අදාල කෙරිණ.

මේ අදහස් අද දිනයේ චමත්කාර ලෙස පැරණි වගක් පෙනී ගියත් එම යුගයේ විද්‍යාර්ථීන් ඒවා වැළඳ ගත්තේ විද්‍යාත්මක සත්‍යයන් ලෙසය. පුරුෂයන් හා ස්ත‍්‍රීන් පිළිබඳ මේ අදහස් විසිවන සියවස නිමා වනතුරුත් පැවති අතර සත්ව චර්යාවේ ස්ත‍්‍රී පුරුෂ වෙනස්කම් ගැන පර්යේෂණ කෙරෙහි බලපෑම් ඇති කළේය. බොහෝ විද්‍යාඥයන් පිරිමින් තුළ සල්ලාල ගතියත් ස්තී‍්‍රන් අතරේ කෝල ගතියත් දැකීමට හේතු වූයේ එය, ඔවුන් දැකීමට අපේක්ෂා කළ තත්ත්වය වීමයි. සිද්ධාන්ත හා සමාජයීය ආකල්පයන් ඔවුනට දකින ලෙස බල කලේත් ඒ ආකාරය වීමයි.

කෙසේ වෙතත්, නූතන තාක්ෂණය ස්ත‍්‍රී පුරුෂ ලිංගික චර්යන් පිළිබඳව ශත වර්ෂයකට වැඩි කාලයක් පැවති මතවාද උඩු යටිකුරු කිරීමට සමත්ව තිබේ. ප‍්‍රතිවිරුද්ධ සාක්ෂි, පරිණාමයට ලක්වන සමාජ ආකල්ප, පැවති මතවාද වලට මුල පිරූ අධ්‍යයනවල අඩුපාඩු යන මේ සියල්ල අද සාරගර්භ විද්‍යාත්මක කතිකාවන්ට මග පාදා ඇත. ලිංගික චර්යාව පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය මූලික වෙනස්වීමකට(paradigm shift) වෙමින් පවති. ස්ත‍්‍රි පුරුෂ ලිංගික චර්යාවන් මෙන්ම භූමිකාවන් පිළිබඳ ලිහිල් පැහැදිලි කිරීම් හා මත ප‍්‍රකාශ වැඩි කල් පවතින්නේ නොවේ.

Smithsonian Science හි පළවූ How Victorian Gender Norms Shaped the Way We Think About Animal Sex යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: