දුර්ලභ තල්මසු සැකිලි තැන්පතු ස්ථානයක් ගැඹුරු මුහුදු විද්‍යාඥයන්ට හමුවෙයි

Posted by

Nautilus නම් ගැඹුරු මුහුදු ගවේෂණ නෞකාව තුළ සිටින විද්‍යාඥයන්ට මේ නොබෝදා බොහෝ විරල දර්ශනයක් දැක බලා ගැනීමට හැකි විය. ඒ, මුහුද පත්ලට වැටී තිබූ මිය ගිය තල්මසෙකුගේ ඇටසැකිල්ලකි. මේ සැකිලමය ශේෂයන්, ඇටකටු බුදින ‘මළමිණී පණුවන්’ (zombie worms) ඇතුළු මුහුදු සත්වයින්ට පෝෂණයෙන් පරිපූර්ණ මහා භෝජන සංග‍්‍රහයක් බවට පත්වෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මළ මිණී පණුවන් යනුවෙන් හඳුන්වනු ලබන zombie worms

ගවේෂණ නෞකාව මගින් නිකුත් කරනු ලැබූ අලූත්ම වීඩියෝ පටයේ මුහුදු පත්ලේ වැටී තිබෙන තල්මසු අස්ථි හෙවත් ඇට දැක්වේ. (වීඩියෝ පටය මෙතනින් නරඹන්න). පර්යේෂකයන් මෙය හඳුන්වන්නේ ස්වාභාවික ‘තල්මසු පතිත බිමක්’ ලෙසිනි. “එවැනි ‘ස්වාභාවිකව පතිත සැකිල්ලක්’ හමුවන එක බොහොම දුර්ලභ අවස්ථාවක්,” Nautilus නෞකාවේ පර්යේෂකයෙක් වීඩියෝ පටයේ සඳහන් කරයි, “අධ්‍යයනයන්ට ලක්වී ඇති සැකිලි  බොහොමයක් එක්තරා ස්ථානයක හිතාමතා කිඳා බස්වපු ඒවායි.”

තල්මසු සැකිල්ලක පාරිසරමය බලපෑම,  බොහෝ ඈතට  දිවෙන්නකි. ජාතික සාගර හා වායුගෝල පරිපාලනය (National Oceanic and Atmospheric Administration-NOAA) දක්වන අන්දමට තල්මසු  සැකිල්ලක් යනු ‘ක්ෂණිකව’ එකතැනකට යොමු වූ ආහාර මූලයක් පමණක් නොව ගැඹුරු මුහුදේ ජීවීන්ට ‘මහා වාසනාවක්’ පාදා දෙයි.  මළකුණ පතිත  වන තැනට මුලින්ම පැමිණෙන්නේ  ‘කසල ශෝධකයන්’ (කසළ භක්ෂක සතුන්)ය. ඔවුහු මාස ගණනාවක් මුළුල්ලේ මෘදු පටක පරිභෝජනය කරති. ඉතිරි රොඩු බොඩු (නික්ෂේප) වසරකට වැඩි කාලයක් තිස්සේ සාගර පත්ල අවශේෂ පෝෂණය කිරීමට දායක වෙන බව ජාතික සාගර හා වායුගෝල පරිපාලනය පෙන්වා දෙයි.

තල්මසාගේ ඇට සැකිල්ල පමණක් ගත්තත් සම්පත්වලින් අනුනය. විශේෂයෙන්ම මළ මිණී පණුවන් යනුවෙන් හඳුන්වනු ලබන zombie worms නම් පරපෝෂිත සත්ව  විශේෂයට මේ ඇට සැකිලි අගනා සම්පතක් වන්නේ ඔවුන් සැකිලි මත යැපෙන හෙයිනි. “මේ පණු විශේෂය ඇට කාගෙන ඇතුළට ගොස් ලිපිඩ ජීරණය කරනවා”. පර්යේෂකයා තවදුරටත් වීඩියෝ පටයේ සඳහන් කරයි.

ස්වාභාවික ඉතිහාසය පිළිබඳ ස්මින්යෝනියන් ජාතික කෞතුකාගාරය  පෙන්වා දෙන පරිදි මේ පණු විශේෂය දිරාපත්වෙමින් තිබූ අලූ තල්මසෙකුගේ(gray whale) කුණපයකට වී පරිභෝජනය කරමින් සිටියදී සොයා ගනු ලැබීය. ඒ කි‍්‍ර.ව. 2002 දීය. අස්ථි ඇතුළත ඇති මේදය සොයා ගෙන කටුව විදගෙන ඇතුල් වන්නේ (මේ විශේෂයෙහි) ගැහැනු සතුන් පමණකි. එය සහකරුවෙකු සෙවීමෙන් වැළකී සිටීමට ඔවුන් අනුගමනය කරන පරිණාමීය උපක‍්‍රමයක් ලෙස ද සැලකිය හැකිය. මන්ද, ‘පිරිමි සතුන් ජීවත්වන්නේ ගැහැනු සතාගේ අභ්‍යන්තරයෙහියි. සමහරවිට එක් ගැහැණු සතෙකු තුළ පිරිමි (සතුන්) සිය ගණනක්’ යනුවෙන් පර්යේෂකයා කියා සිටියි.

තල්මසු පතිතයන්ගේ  සැකිලි, අපෘෂ්ඨවංශිකයන් විසුම් ගැන්වීම සඳහා දෘඪ උපස්තරයක් (ජීවියෙකු වැඞී ජීවත්වෙමින් අහාර ගන්න තැනක්) වශයෙන්ද යොදා ගනු ලැබේ. “එය එක්තරා අන්දමක ඇනිමොනියාවෙක්(anemone) වගෙයි පෙනෙන්නේ.” හනු අස්ථියේ  සුදු, අද්භූත ගෝලයක් නිරීක්ෂණය කරමින් ගවේෂණ නෞකාවේ පර්යේෂකයා පෙන්වා දෙයි. එහෙත් තවදුරටත් පරීක්ෂා කිරීමෙන් පසුව ඔහු කියා සිටියේ ‘අද්භූත ගෝලය’ වනාහි කොරල් ජීවියෙකු (සැකිල්ල) මතුපිට ප‍්‍රයෝජනයට ගනිමින් සිටිනා අවස්ථාවක් විය හැකි බවකි.

තල්මසු හනුවෙහි හැඩය පදනම් කරගනිමින් පර්යේෂකයන් විසින් තීරණය කරනු ලැබුවේ සැකිල්ල බැලින්(baleen) තල්මසු විශේෂයේ එකක් බවයි. එහි සාපේක්ෂව කුඩා ප‍්‍රමාණය සළකන විට, සතා යෞවන වියේ පසු වූවෙකු යයි නිගමනය කෙරිණ. මෑතක   ඕස්ටේ‍්‍රලියානු ධීවරයෙකු විසින් නිරීක්ෂණය කරන ලද සුවිශේෂී වස්තුවක් පිළිබඳ  අන්තර් ඥානායක් පර්යේෂකයන්ගේ වීඩියෝ පටය මගින් ලබා ගත හැකිවේ. පාවෙමින් තිබූ මේ අද්භූත, වස්තුව පිම්බුණු තල්මසු කුණපයක් බව හෙළි දරව් වූ අතර  විද්‍යාඥයන් කියා සිටින්නේ එය හැකිළී ගිය පසු සාගර පත්ලට මින්දා බැස අවසානයේදී ‘තල්මසු පතිත සැකිල්ලක්’ බවට පත්වනු ඇත.

Image result for nautilus exploration vessel

අඩි 210 ක්(මීටර ක්)  දිග Nautilus ගවේෂණ නෞකාව පසුගිය ජූලි/අගෝස්තු මාසවලදී දකුණු කැලිෆෝනියා සීමාව  පිරික්සීමේ කටයුතුවල නිරත විණ.

 

 

Live Science හි පළවූ Rare ‘Whale Fall’ Spotted by Deep-Sea Scientists යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.