විදු නැන නුවණ – Science Literacy for All

විශ්වයේ කේන්ද්‍රය බවට පත්වීමට අප කැමැති ඇයි?

විද්‍යාව දුරාවබෝධ දෙය මෙනෙහි කරයි

කිසිවෙක් නැතැයි සිතින් සිතන්න. ඔව්, කිසිවක් නැති බව පරිකල්පනයට නගා ගන්න. කුමක්ද ඔබට දැකිය හැක්කේ? මන්දාකිණි. තාරකා සහ ග‍්‍රහලෝකවලින් තොර අඳුරු, හිස් අවකාශයන් අපට මැවේ. එහෙත්, ඇත්තටම නැත්තේ හෙවත් තොර වන්නේ පදාර්ථය පමණක් නොව අවකාශය හා කාලයද නොපවතී. ඔව් අඳුර පවා පවතින්නේ නැත. කිසිවක් නොමැති බව, හෙවත් ශුන්‍ය බව නිරීක්ෂණය කිරීමට ඉන්ද්‍රීය සම්ප‍්‍රජානනයෙන් යුත් ජීවයක් නැත. හුදු ශුන්‍ය බව පමණමයි. මෙය පරිකල්පනයට නගා ගන්නට උත්සාහ කරන්න. ඔබට නොහැකිය.

දැන් අපි අවිශ්ලේෂ්‍ය ප‍්‍රශ්නයට මුහුණ පාන්නෙමු. කිසිවක් නැතුවා (nothing) වෙනුවට කිසිවක්(something) ඇත්තේ ඇයිද? මේ ලිපියේ කතුවරයා( Michael Shermer), මුලයන් හෙවත් ප‍්‍රභවයන් ගණනාවකින් මීට ප‍්‍රතිචාර එකතු කර ගෙන තිබේ. එම මූලයන් අතර 2013 දී John Leslie සහ Robert Lawrence Kuhn විසින් රචිත The Mystery of Existence නම් ග‍්‍රන්ථය සහ 2017 දී Lawrence M. Krauss  ලියා පළ කළ The Greatest Story Ever Told—So Far ග‍්‍රන්ථයද වේ. මෙහි දැක්වෙන්නේ ඔහු එකතු කළ ප‍්‍රතිචාර කිහිපයකි.

කිසිවක් නැත යන්න නිරර්ථකය හෙවත් අර්ථ ශුන්‍යය. කිසිවෙක් නැත යන්න සංකල්ප ගත කළ නොහැකිය. අවකාශය, කාලය, පදාර්ථය, ශක්තිය, ආළෝකය, අඳුර හෝ කිසිවක් නැති බව (ශුන්‍යභාවය) සංජානනය කිරීමට කිසිවෙකුත් නැතුවා පමණක් නැත යනුවෙන් සලකන විට ශුන්‍ය බව පවා නොමැතිය. මේ අර්ථයෙන් හෙවත් වචනානුසරයෙන් ගත් කළ ප‍්‍රශ්නය ඇත්ත වශයෙන්ම අචින්ත්‍යය.

කිසිවක් නැත යනු යම් දෙයකි (කිසිවකි) කිසිවක් නැත හෙවත් ශුන්‍ය භාවය පවතින යනු කිසිවක් එහි පැවැත්ම නතරවීම ලෙස සැලකීම, තාර්කිකව සළකන විට, වැරදිමතයක් හෙවත් අභාසයකි(fallacy). මෙහිදී අපට අභිමුඛවන්නේ ශුන්‍යභාවය යන්නෙන් අප අදහස් කරන දේ අර්ථ දැක්වීමේ ගැටලූවටය. එමෙන්ම භාෂාව විසින් ප‍්‍රශ්නය මත පනවන සීමාවන් දැක්වීමටය. ශුන්‍යභාවය ගැන කතා කිරීමේ කි‍්‍රයාවම  එය යම්කිසිවක් බවට පත්කරයි. යම්කිසිවක් බවට පත්කර  නැතිනම් අප කතා කරන්නේ කුමක් ගැනද?

කිසිවක් නැත යන්නට දෙවියන්ගේ නොපැවතීමද ඇතුළත්විය හැකිය Leslie සහ Kuhn ගේ  ‘කිසිවක් නැත’ යන්න වර්ගීකරණයේදී ශුන්‍යභාවය තුළින් නිෂේධනය වන  ‘කිසිවක’ ලැයිස්තුවට අතුල් කළ හැකි දේවල්වල ප‍්‍රවර්ග ඉදිරිපත් කෙරේ: කායික, මානසික කායික නොවූ, අධ්‍යාත්මික සහ දෙවියන්. කිසිවක් නැත යන්නෙන් අදහස් කෙරෙන්නේ කිසිම ආකාරයක භෞතික වස්තුන් හෝ ද්‍රව්‍යය නැත යන්න සැලකුවේ වී නමුදු නිදසුනක් ලෙස ගතහොත් ස්වභාව ධර්මයේ නීතිවලින් මග පෙන්වනු ලැබ ස්වාභාවික බල මගින් පදාර්ථ මතුවන ශක්තිය ඇති විය හැකිය. උදාහරණයකට, අතථ්‍ය අංශුවලින් පිරි හිස් අභ්‍යවකාශය ගැන භෞතික විද්‍යාඥයෝ කතා කරති. ක්වන්ටම් භෞතික විද්‍යාවේ අනියතතා  මූලධර්මයේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම අතථ්‍ය අංශුවලින් අංශු ප‍්‍රතිඅංශු (antiparticle) යුගල පැවැත්ම ඇතිවෙයි. මෙම ශුන්‍යභාවයෙන් විශ්වයේ පැවැත්ම  මතු වී ආ හැකිය.

කිසිවක් නැති බව, ආකිංචනයෙන්(ex nihilo) මැවීම බැහැර කරයි. කිසිවක් නැත  යන්නෙන් අදහස් කෙරෙන්නේ  ඕනෑම ආකාරයක ශාරීරික, මානසික හෝ ශාරීරික නොවන ස්ථිතියක් නම් එවිට දෙවියෙකු හෝ දෙවියන් සිටිය නොහැක. මෙහි තේරුම වන්නේ යම් කිසිවක් මැවීමට කිසිවක් නැති බවින් පරිබාහිරව කිසිවක්ම තිබිය  නොහැකි බවයි. ආකිංචනයෙන් හෙවත් කිසිවක්ම නොමැතිව ඉන් දෙවියන් විශ්වය මැවීය යනුවෙන් කි‍්‍රස්තියානි දේවධර්මවාදීන් නගන තර්කය නිශේධනය වෙයි. මේ තර්කය ගොඩ නැගෙන්නේ උත්පත්ති කතාවේ 1:1 හි දෙවියන් වහන්සේ  අහසත් පොළවත් මැවූ සේක යන සඳහන පදනම් කරගනිමිනි. මෙය නොමඟ යවන සුළුය. මෑතක උගතුන් තර්ක කරන්නේ හීබෲ භාෂාවේ මැවීම යනුවෙන් පරිවර්තනය කර ඇති ‘බරා’ යන වචනයෙහි තේරුම් වෙන් කිරීම බවයි. ඒ අනුව තේරුම් ගත යුත්තේ ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් වෙන් කළ සේක යනුවෙනි. එසේ වෙන් කරන ලද්දේ කුමකින්ද යන්න දක්වා නොමැත.

කිසිවක් නැති බව අස්ථායීය; කිසිවක් ස්ථායීය. කිසිවක් නැතුවා වෙනුවට කිසිවක් ඇත්තේ ඇයි දැයි ප‍්‍රශ්න කරන විට ඉන් පූර්වානුමාන කෙරෙන්නේ කිසිවක් නැත යන්න, දේවල්වල ස්වාභාවික තත්ත්වය බවය. එමෙන්ම කිසිවෙක් යන්නට පැහැදිලි කිරීමක් අවශ්‍යවන්නේ එම ස්වාභාවික තත්ත්වය තුලිනි.  නොඑසේ නම් කිසිවක් ස්වාභාවික තත්ත්වය බවත් අප විසඳිය යුතු ආභිරහස ‘කිසිවක් නැත’ යන්න බවද විය හැකිය. 2012  දී රචිත A Universe from Nothing නම් සිය කෘතියට අනුබන්ධනයක් ලෙස ලියූ The Greatest Story Ever Told—So Far නම් කෘතියෙහි මෙසේ Krauss සඳහන් කරයි: “ක්වන්ටම් රාජධානි මට්ටමේ දී  හේතුඵලත්වය පිළිබඳ (සම්මත) මතිය බිඳවැටෙන්නට පටන් ගන්නා බව මුලින්ම සඳහන් කළ භෞතිකඥයන් අතර අයින්ස්ටයින්ස් විය”. කිසිවක් නැත යන්නෙන් කිසිවක් හට ගැනීම යන අදහස ගැන බොහෝ භෞතිකඥයන් විරුද්ධ වෙතත් මේ ලිපිය කියැවීම සඳහා ඔබ යොදා ගන්නා ආලෝකයෙන්  හරියටම සිද්ධවෙන්නේ ඒක තමයි’ යනුවෙන් ඔහු නිරීක්ෂණය කරයි. රත් පරමානුවල ඉලෙක්ට්‍රෝන මගින් පෝටෝන(photons)  විමෝචනය කරනු ලැබේ. ඒ කියන්නේ විමෝචනයට පෙර නොතිබූ, නොපැවති පෝටෝන විමෝචනය වූයේ ස්වයං සිද්ධව, විශේෂිත හේතුවක් නොමැතිවය. කිසිවක් නැතුව ප්‍රෝටෝන නිපදවිය හැකිය යන අදහස  අපට තරමක් හුරු බවක් දැනුනත්  කිසිවක් නැතුව මුළු විශ්වය මැවිය හැක යන්නට හුරුවීමට අපට අසීරු ඇයි?

මෙයට ලබා දිය හැකි එක් පිළිතුරක් වනුයේ කොපර්නිකස් මූලධර්මය සම්බන්ධයෙන් අප මුහුණ පාන අපහසුවයි. ඉන් කියැවෙන්නේ මානවයන් වන අපි සුවිශේෂී නොවන බවයි. අප කැමැත්ත දක්වන්නේ, විශ්වය මවා අප වෙනුවෙන් සුසර කර ඇතැයි කියැවෙන ආගමික සහ මානව න්‍යායාත්මක පැහැදිලි කිරීම්වලටය. මන්ද, මානව කේන්ද්‍රියව ඉන් මානවයන් විශ්වයේ මැද ආපසු තබන හෙයිනි. එහෙත් වසර 500ක් තිස්සේ විද්‍යාත්මක සොයා ගැනීම්වලින් අනාවරණය වන්නේ කේන්ද්‍රය  අප ගැන නොවන බවයි. ශුන්‍ය භාවය ගැන මෙනෙහි කිරීමෙන් ඇතිවන විෂ්මය ජනක හැඟීම කෙරෙහි ආගමික මෙන්ම විද්‍යාත්මක උත්පේ‍්‍රරණ ආකර්ෂණය කරගන්නා පර්යාලෝකයක්, අභීක්ෂාවක් මේ කාරණාව හේතුකොට ගෙන අපට තහවුරු කර ගත හැකිය.

Scientific American හි පළවූ Why Humans Prefer to Be the Center of the Universe යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: