විදු නැන නුවණ – Science Literacy for All

මෙතෙක් සොයා ගනු ලැබූ පැරණිතම ෆොසිලය කියන රහස

මේ තාක් හමු වී ඇති පැරණිතම ෆොසිලය සොයා ගත් බවට විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන විවාදාත්මක ප‍්‍රකාශය පිළිගනිතොත්, පෘථිවිය මත ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම ආරම්භ වන්නේ පෙර හිතුවාට වඩා බිලියන භාගයක් කලිනි.

මේ මිහිතලය මත ජීවය කෙතරම් පැරණි ද? මේ ප‍්‍රශ්නය විද්‍යාඥයන් විශ්මයට පත් කිරීමට මෙන්ම කෝපාවිෂ්ට කිරීමට ද සමත් වන්නක්. භූ විද්‍යාඥයන් නම් කියා සිටින්නේ එම ප‍්‍රශ්නයට පිළිතුර ඇත්තේ පෘථිවිය අභ්‍යන්තරයේ පැරණිතම පාෂාණ වල බවයි. ඒවායේ ආදී ක්ෂුද්‍ර ජීවීන් සිය ආදි කාලීන පැවැත්ම පිළිබඳ හෝඩුවාවල් සහ  ඉඟි තබා ඇත. දැන් අළුත්ම කතාව මෙයයි. මේ පුරාණ පාෂාණ ගැන සොයා බලන විද්‍යාඥයන් කියා සිටින්නේ පෘථිවිය මත ජීවය පිළිබඳ මෙතෙක් හමු වී ඇති පැරණිතම සාක්ෂි මෙකී පාෂාණ අතරේ තිබී සොයා ගැනීමට හැකි වූ බවයි.

මේ නව අධ්‍යයනයේ වාර්තාව Nature සඟරාවේ පළ වී ඇත. එහි විස්තර කරන අන්දමට එම ආදි කාලීන පාෂාණ වල ෆොසිල ගත වී ඇති ක්ෂුද්‍ර ජිවීන් වසර බිලියන 3.77 සිට 4.28 අතර වයසකින් යුක්තය. මේ ෆොසිල හමු වී ඇත්තේ  කැනඩාවේ කියුබෙක් හි, නුවුආගිටුක් හරිත ගල් (ආග්නේය පාෂාණ විශේෂයකි) තීරයෙහි ය. මෙය පෘථීවියෙහි පැරණිතම පාෂාණ දැකිය හැකි ප‍්‍රදේශයකි. මේ පාෂාණ අතරේ තමන්ට හමු වූ ෆොසිල වනාහි පෘථිවිය ආරම්භක අවධියේ මහා කැළඹීම් පැවති කාලයේ දී ජීවත්ව දැනට බොහෝ කලකට පෙර නෂ්ටප‍්‍රාප්ත බැක්ටීරියා මගින් සෑදුණු ඒවා බව විද්‍යාඥයෝ කියා සිටිති.

මේ ෆොසිල හමු වූ  පාරාන්ධ තිරුවාණා ගල්තීරය(jasper belt) කලක් මුහුද යට පැල්මක් හෝ වා සිදුරක්ව පැවති බව විශ්වාස කෙරේ. රස්නයට කැමති බැක්ටීරියා එක් රැස්වීමට ආශාව දක්වන  නුතන වා සිදුරු මෙන්ම එම පුරාණ වා සිදුරු ද ප‍්‍රාග් ඵෙතිහාසික ක්ෂුද්‍ර ජිවීන්ට සත්කාරක ස්ථාන වන්නට ඇති බව පර්යේෂකයෝ කියති. පර්යේෂක කණ්ඩායම අදහස් කරන්නේ  කේසර සමාන ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් මිය ගියාට පසුව ඒවායේ අවශේෂ ජලයේ යකඩ නිධි අවශෝෂණය කිරීමෙන් සෙමින් සෙමින් ගල් බවට පරිවර්තනය වන්නට ඇත කියායි. කාලයාගේ ඇවෑමෙන් වඩා විශාල තීරයේ කොටසක් බවට මේ පාෂාණ පත්වන්නට ඇති අතර පාෂාණය  මුහුදෙන් එළියට මතු වන්නට ඇත. මෙකී ඉතා කුඩා ෆොසිල ව්‍යුහයන්  දැන් දැක බලා ගන්නට හැකි යයි පර්යේෂකයෝ අදහස් කරන අතර ඒවා දිස්වන්නේ ක්ෂුද්‍ර නල ආකාරයටය.

කෙසේ වෙතත් මේ නල වල ප‍්‍රමාණය ඇතැම් විද්‍යාඥයන්ට සැක සංකා ඇති කරයි. භූ ජීව විද්‍යාඥ  ප‍්‍රාන්සස් වෙස්ටෝල් නිව්යෝක් ටයිම්ස් පුවත් පතට මේ ගැන අදහස් දක්වමින් කියා සිටින්නේ ප‍්‍රමාණය සලකන විට එම පාෂාණ තීරයේම අනෙකුත් සොයා ගැනීම් හා සසඳද්දී එතරම් වයසක් ගතවීමට තරම්  මෙකී කේසර හෝ  සූත‍්‍රිකා විශාල වැඩියි යනුවෙනි. ඊට තවත් හේතුවක්  වශයෙන් දැක්වෙන්නේ පෘථිවියේ මුල් අවධියේ පැවති අඩු ඔක්සිජන් සහිත තත්ත්වයන් සළකන විට ජීවීන් ඉතාමත්ම ක්ෂුද්‍ර ප‍්‍රමාණයෙන් යුතු වන්නේය බවයි.

අදහස් දක්වන තවත් භූ ජීව විද්‍යාඥයෙකු කියා සිටින්නේ මෙම පර්යේෂක කණ්ඩායම් කාල නිර්ණ ක‍්‍රියාවලිය මත භේදයට තුඩු දෙන්නක් බවත් පර්යේෂණ වාර්තාවෙන් දක්වනවාට වඩා පාෂාණය තරුණ බවත් ය.  පර්යේෂකයන් සඳහන් කෙරෙන ක්ෂුද්‍ර නල ජීවයේ අවශේෂ ද  යන්න පවා තවත් විශේෂඥයෝ ප‍්‍රශ්න කරති.

කෙසේ වෙතත්, පර්යේෂකයන් දක්වන්නේ මීට වෙනස් මතයකි. මීට වඩා තරුණ පාෂාණ වල තැන්පත් අවශේෂයන්ට මෙකී ක්ෂුද්‍ර නල බෙහෙවින්ම සමානය. පර්යේෂකයන් පවසන්නේ පාෂාණයේ දැකිය හැකි මිනිරන් අතරේ  කාබන් 12 සමස්ථානික  තිබීම හේතුවෙන් තමන්ගේ මතය වඩාත් තහවුරු වන බවයි. කාබන් 12, කාබන්වල එනිසාම ජීවයේ ද සළකුණු කියාපාන හෝඩුවාවල්ය. ඉතින් මේ පර්යේෂකයන්ගේ මතය නිවැරදි නම් නව සොයා ගැනීම  විශ්මය ජනකය.

මෙයට වසර බිලියන 4.28 කට පෙර අපේ මේ පෘථිවිය මත ජීවය පැවතුනේ නම් එයින්  කියැවෙන්නේ පෘථිවිය,  විද්‍යාඥයන් කලින් ගණන් බලා තිබුණාට වඩා වසර බිලියන භාගයක් පැරණි බවයි.  මෙකි අලුතෙන් සොයා ගනු ලැබූ  ක්ෂුද්‍ර ජීවීන් අතරින්  ඇස්තමේන්තු කරන වයසින් අඩුම ජීවියා වුවද වසර බිලියන 3.77 පැරණිය. ඒ කියන්නේ කලින් ක්ෂුද්‍ර ජීවීන්ගේ වයස ලෙස සිතුවාට වඩා (හෙවත් මෙතෙක් සොයා ගෙන සිටි පැරණිතම ක්ෂුද්‍ර ජීවීන්ට වඩා) වසර මිලියන 70 ක් පැරණිය. දැනට ලෝකයේ සොයාගෙන ඇති පැරණිතම ක්ෂුද්‍ර ජීවීන්ට වඩා නව අධ්‍යයනයෙන් හෙළි කරන ක්ෂුද්‍ර ජීවීන් වෙනස්ය. එය තවත් කාරණාවකට මග පාදයි. එනම් මුල් කාලයේ පෘථිවිය සාපේක්ෂව විවිධ බැක්ටීරියා වර්ගවල පැවැත්මට හානි කර නොවූ බවයි. අළුතෙන් උපත ලත් පෘථිවිය මත එම අවධියේ (මේ ලෝකයෙන් බැහැර) පාර භෞම  පාෂාණ වර්ෂා කඩා වැටෙද්දී පෘථිවිය තිබුණේ  උල්කාෂ්ම වලින්   පීඩාවට පත්වය. එය කිසිම ජීවියෙකුට හිතකර තත්ත්වයක් නම් නොවීය. ඉතින් නව අධ්‍යයනයෙන් කියැවෙන ආකාරයට ක්ෂුද්‍ර ජීවීන්ට පැවතීමට හැකියාව තිබී ඇත්නම්          දැන් ලෙස හඳුන්වනු ලබන අධික කඩාවැටීම් සහිත යුගයේ පසුකාලය (Late Heavy Bombardment)  ගැන විද්‍යාඥයන් සිතන ආකාරය වෙනස් විය හැකියි.

එය විශ්මය දනවන ශක්‍යතාවකි. එමෙන්ම දැඩි පරීක්ෂාවටද ලක් වන්නකි. ඊට කම් නැත. පෘථිවිය බිහි වී මිලියන කිහිපයක් ඇතුළතම පැවතීමට (දැන් ෆොසිලගතව සිටින) මේ  ජිවින්ට  හැකි වුනේ නම් ඇත්තටම විද්‍යාඥයන්ගේ වාද විවාද සංවාද අතරින්  වලංගුතාවක් ලැබීම පිණිස තව වසර කිහිපයක් ගත කීරීම එම ෆොසිලගත ජිවින්ට අපහසු නොවනු ඇත.

Smithsonian Smart News හි පළවූ   Scientists Think They’ve Found the Oldest Fossil Ever  ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: