විදු නැන නුවණ – Science Literacy for All

බඹර මැස්සෝ තම සගයන්ගෙන් පාපන්දු ක‍්‍රීඩාව උගෙන ගනිති

බඹර මැස්සන්ට අදාල නොවන කාර්යයන් විචක්ෂණශීලීව උගෙනීමට පමණක් නොව ඒ උගත් දේ තව දුරටත් වැඩි දියුණු කරගනීමට ද බඹර මැස්සෝ සමත් වෙති.

අප කවුරුත් දන්නා පරිදි පාපන්දු ක‍්‍රීඩාවේ යෙදෙන්නේ මිනිස් සත්වයන් පමණකි. එහෙත් බඹර මැස්සන් ඉක්මණින් ම පාපන්දු ක්‍රීඩාවේ (ඇත්තටම එම ක්‍රීඩාවේ කෘමී අනුවාදයකට)  මනා නිපුණතාවයක් ලබා ගනිති යි පර්යේෂණයකින් දැක්වෙයි. ඒ දස්කම ඔවුන් දක්වා ඇත්තේ හුදෙක් වෙනත් බඹර මැස්සෙකු එසේ කරනු බලා සිටීමෙනි. මෙයින් පෙනී යන්නේ මේ කුඩා පරාගණකයන් විචක්ෂණශීලී උගෙනීමට හැකියාව ඇති බව යයි Science සඟරාවේ පළ වූ අධ්‍යයන වාර්තාවක දැක්වේ.

බඹර මැස්සෙකු බෝලයක් තදින් ඇද (ගෝල්)  දිනුම් කණුවට යොමු කරනු ඔහුගේ සගයන් වන මැස්සන් පිරිසක් බලා සිටියහ. දිනුම් කණුවට බෝලය යොමු කළ මැස්සාට සීනි දියර පානයකින් උගුරක් තිළිණ වශයෙන් ලැබිණ. වැඩි වේලාවක් යන්නට පෙර නිරීක්ෂණයේ යෙදුණු බඹර මැස්සන්ට ද එම කාර්යය කළ හැකි විය. එපමණක් නොව වඩා අඩු පරිශ්‍රමයකින් තිලිණය ලබා ගන්නා ආකාරය පවා ඔවුහු සොයා ගත්හ. ‘‘ඔවුන් මෙය සිදු කරන්නේ අන්ධානුකරණයෙන් නොවේ. ඔවුන් උගෙන ගත් දේට වඩා වැඩි යමක් කිරීමට සමත් වෙනවා’’ යයි අධ්‍යයනයේ සම කතෘ, ලන්ඩනයේ ක්වින් මේරි සරසවියේ(Queen Mary University) චර්යාමය පරිසරවේදී  ඔලී ලවුකෝලා පවසයි.(මෙතනින් වීඩියෝව නර්ඹන්න)

කෘමීන්ට උසස් මට්ටමක ප්‍රජානන කාර්යයන්(cognitive tasks)  ඉටු කළ හැකි බව පෙර සිදු කළ පර්යේෂණ වලින් පෙන්නුම් කෙරිණ. එහෙත් බඹර මැස්සෙකු ලෙස ඉපිද එම ජීවිතයට අදාල නැති කාර්යයන්ගෙන් පවා නිපුණත්වයක් ලබා ගත හැකි බව ඒ සතුන්  පෙන්නුම් කළ ප‍්‍රථම අවස්ථාව මෙය යයි අධ්‍යයනයේ කතෘවරු පවසති. දිගු කාලයක් ගතවන,  ක‍්‍රමික පුහුණවක් වෙනුවට තම සගයෙකුගේ ක‍්‍රියාව නිරික්ෂණය කිරීමෙන් සංකීර්ණ කුසලතා උගෙන ගත් ප‍්‍රථම අවස්ථාව ද මෙය ලෙස සැලකිය හැකියි.

රසැති තිළිණයක් අත්පත් කර ගැනීම පිණිස ලී බෝලයක් (කුඩා) වේදිකාවක් මැදට ගෙන යාමට  ලවු කෝලා ඇතුළු කණ්ඩායම,  buff-tailed bumblebees (Bombus terrestris) ලෙස හැඳින්වෙන බඹර මැසි විශේෂයේ තෝරා ගත් පිරිසකට  උගන්වුහ. ඉන් අනතුරුව මෙම තෝරා ගත් මැස්සන් සිය දක්ෂතා පෙන්නුම් කළේ  පුහුණුවන මැස්සන් නිරීක්ෂණයේ යෙදෙමින් සිටිනා විටය. මෙවන් නිරීක්ෂණ සැසි තුනකට පසු,  පුහුණුවන  මැස්සෙකුට බෝලය පාලනය කිරීමේ අවස්ථාව සැලසේ. ඔවුන්ට ලැබුණු හැම වාරයකදීම වාගේ ඔවුහු සිය අරමුණ සාක්ෂාත් කර ගත්හ. මෙයින් හැඟවෙන්නේ පුහුණු මැස්සන්  අදාල කාර්යය ඉටු කරනු බලා සිටීමෙන් ම පුහුණුවන මැස්සන් ද නිපුනතාව උගෙන ගෙන ඇති බවයි. උපදෙස්වල පිහිට නොලැබුණු මැස්සන් ගෝලය වෙත බෝලය ගෙන ගියේ ලැබුණු වාරයෙන් 30% ක් තුල දී  පමණය.

උපදේශක මැස්සන්ගේ හැකියාවන් වර්ධනය කරනු වස් පර්යේෂකයෝ ඒ ඒ උපදේශක මැස්සාට බෝල තුන බැගින් ලබා දුන්හ. ඉන් දෙකක් අලවා තබා  තිබූ අතර අලවා නොතිබු බෝලය තිබුණේ ගෝලයෙන් ඈතම තැනකය. උපදේශක මැස්සෝ අසීරුවෙන් එය පෙරළා ගෝලය වෙත ගෙන ගියහ. පුහුණුවන ආධුනික මැස්සන් මේ සැසිවාර බලා සිටි අතර අනතුරුව ඔවුනට බෝල තුන බැගින් සපයන ලදී. ඒවා අලවා නොතිබූ අතර පහසුවෙන් එහා මෙහා කළ හැකි විය. උපදේශක මැස්සන් අනුකරණය කරමින් ගෝලයට දුරින්ම පිහිටි බෝලය තල්ලූ කිරීම වෙනුවට ආධුනික මැස්සෝ ගෝලයට වඩාත්ම සමීපව තිබූ බෝලය ගෝලය වෙත ගෙන ගියහ.

’මෙය යාන්ත‍්‍රිකව සිදු කරන අනුකරණයක් නොව කිසියම් අරමුණක් පතා සිදු කෙරෙන ක‍්‍රියාවලියක් ලෙසයි දකින්නේ’ යයි  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර  මැක්කුවරි සරසවියේ ස්නායු –  සත්ව චර්යා විද්‍යාඥ කෙන් චෙන්ග් කියා සිටියි. අධ්‍යයනයේ  සම කතෘ ප‍්‍රජනන ස්නායු සත්ව චර්ය විද්‍යාඥ  ක්ලින්ට් පෙරි පෙන්වා දෙන්නේ පරමාදර්ශ රහිත මැස්සන්ට වඩා තම සහෝදර මැස්සන්ගේ  මග පෙන්වීම ලත් මැස්සන්ගේ කාර්ය ඵලය ඉහළින් තිබූ බවයි. “සමාජයීය තොරතුරු  බොහෝ පිටුවහලක් වුණා” පෙරී කියයි, “මේ කෘමින්ගේ කුඩා මොළයෙන් සිදු කළ හැකි දෑ අප සිතනවාට වඩා වැඩියි”.

NATURE (International weekly Journal of Science) හි පළවූ Bees learn football from their buddies යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: