සැමට විදු නැන නුවණ – Science Literacy for All

ස්වේච්ඡතාව(autism) කලින්ම හඳුනාගැනීමේ වාසි

රෝග ලක්ෂණ පහළ වීමට බොහෝ කාලයකට පෙර මොළ පරිලෝකනයෙන් (brain scans) ස්වේච්ඡතාව හඳුනා ගැනීමට හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

දැනට තිබෙන අන්දමට දරුවෙකුගේ (ස්වේච්ඡතා)රෝග විනිශ්චය සිදු කළ හැකි අවම කාලය යයි සැලකෙන්නේ වයස අවුරුදු දෙකේ දීය. ඒත් බොහෝ විට එය සිදුවන්නේ ඊටත්  පසුවය. මේ පිළිබඳව  Nature සඟරාවෙහි පළ කෙරුණු අධ්‍යයන වාර්තාවක සඳහන් වන්නේ ස්වේච්ඡතාව (හෙවත් බාහිර ලෝකය හා එක්වීමේ හැකියාව හීන කරන මානසික තත්ත්වය) ආරම්භ වන්නේ ඊට බොහෝ කලිනි. එනම් ජීවිතයේ මුල් වසරේ දීය. ස්වේච්ඡතාව සඳහා දැනට වඩා කලින් වයසක  දී දරුවා පරීක්ෂා කිරීමට මෙන්ම අනුහුරු කළ හැකි තත්ත්වයක මොළය පවතිනවිට සිදු කල හැකි  චිකිත්සාවන් සඳහා යොමුවීමට  පවා  මේ සොයා ගැනීම මග පෑදිය හැකිය. චර්යාව මෙන්ම විශේෂයන්ම  සමාජමය අන්තර් ක‍්‍රියාකාරීත්වය කෙරෙහි බලපෑම් ඇති කරන ස්වේච්ඡතාව ඇත්තේ ජනතාවගෙන් සියයට එකකි.

ස්වේච්ඡතාව යනු කුමක් ද?

මෙම අධ්‍යයනයේ දී ළමුන් 148 දෙනෙකු ගැන විපරම් කෙරිණ. මේ ළමුන් අතර ඉහළ අවදානමක් ඇති අයද සිටියහ. ඔවුන්ට අවදානම වැඩිවීමට හේතුව මෙම රෝගයෙන් පෙළෙන වැඩිමහල්  සහෝදර සහෝදරයන් සිටීමයි. මේ ළමුන් 148 දෙනාගේම මාස 6,12 සහ 24 යන වයස් සීමාවල දී මොළය අවලෝකනය  කර තිබුණි.

භාෂාව වැනි ඉහළ මට්ටමේ ක‍්‍රියාකාරීත්වය වගකිව යුතු වන මොළයෙහි කොටස වන්නේ මස්තිෂ්ක බාහිකයයි (cerebral cortex).  ස්වේච්ඡතාව ඇතැයි පසුව  රෝග විනිශ්චයට ලක් වූ ළමුන්ගේ මොළයෙහි මෙම කොටසේ යම් වෙනස්කම් කලින්ම හඳුනා ගැනීමට අධ්‍යයනයේ දී හැකිවිණ. ‘ජීවිතයේ පළමු වසරේ මුල් කාලයේ දීම අපට මොළයේ මතුපිට ප‍්‍රදේශයේ වෙනස්කම් දැක ගන්නට ලැබුණා. රෝග ලක්ෂණ වලට පූර්වව ඇතිවන මේ වෙනස්කම් තමයි ස්වේච්ඡතාවට සම්බන්ධ යයි මිනිස්සු සළකන්නේ’ කරොලිනා සරසවියේ පර්යේෂකයන අතරේ එක් අයෙක් වන වෛද්‍ය  හිදර් හේස්ලට්  BBC News වෙබ් අඩවියට කියා සිටියාය.

ස්වේච්ඡතාව ඇති බවට රෝග විනිශ්චය කිරීම හා ස්වේච්ඡතාවට  ප‍්‍රතිකාර කිරීම සම්බන්ධ ක‍්‍රියා දාමයේ විශාල වෙනස්කම් ඇති කිරීමේ හැකියාව මේ අධ්‍යයනයෙන්  විවෘත වේ. ළමුන්ගේ මොළ, විශේෂයෙන්ම අධික අවදානම් සහිත පවුල්වල ළමයින්ගේ මොළ ස්කෑන් පරීක්ෂාවට ලක් කීරිමෙන් වඩාත් කලින් ළමුන්ව රෝග විනිශ්චයට ලක් කිරීමට හැකිවෙයි. මෙලෙස කල් ඇතිව රෝග විනිශ්චයට අවස්ථාව සැලසීමෙන්,  ස්වේච්ඡතාව සහිත ළමුන් සමග අන්තර් ක‍්‍රියා කිරීමේ නව ක්‍රම වලට දෙමාපියන්  පුරුදු කිරීම වැනි චිකිත්සාවන් වඩාත් කලින් හඳුන්වා දීමට හැකිවෙන අතර (එලෙස කලින්ම ඇරඹීම නිසා) එය වඩාත් ඵලදායී වනු ඇත. ‘මේ නිසා ස්වේච්ඡතාවට අදාළ චර්යාවන් මතු වීමට පෙර මැදිහත්වීම් ගැන සිතන්නට අපට අවකාශ සැලසෙනවා. මොළය තවමත් අනුහුරු කිරීමට පහසු කාලයක එමෙන්ම රෝග ලක්ෂණ මුල් බැස ගන්න පෙරාතුව එසේ මැදිහත් වීම වඩාත් ඵලදායි බව බොහෝ දෙනාගේ පිළි ගැනීම ’ යයි මෙම ව්‍යාපෘතියේ තවත් පර්යේෂකයෙකු වන මහචාර්ය ජෝසප් පිවෙන් කියයි.

පර්යේෂකයන් මොළ අවලෝකන ප්‍රතිරූප,  කෘතිම බුද්ධි පරීක්ෂණයකට යොමු කළ අතර ස්වේච්ඡතාවට ගොදුරු විය හැක්කේ කුමන ළමුන් ද යන්න සියයට 80 ක නිවැරදිතාවයකින් යුතුව එමගින්  පුරෝකතනය කළ හැකි විය. ‘‘මෙයින් අපට සැලසෙන වාසිය තමයි නිසි සහාය, හැකි තරම් වේලාසනින් ලබා දීමට හැකිවීම’’යි කැරොල් පොවේ පෙන්වා දෙයි. ඇය ස්වේච්ඡතා ජාතික සංගමයේ ස්වේච්ඡතා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකාවයි. ස්වේච්ඡතාව සහිත දරුවෙකු දැනටමත් පවුලේ සිටින දෙමාපියන්ට පසුව උපදින දරුවන්ට ද රෝගය ඇත්දැයි කලින්ම විනිශ්චය කිරීමේ පරික්ෂා මේ ආකාරයට වැඩි දියුණු කර ගත හැකි වෙනු ඇත යන්න අගේ ද අදහසයි.   කෙසේ වෙතත්, ස්වේච්ඡතාව විවිධාකාරයෙන් ඉස්මතු වීමට හැකියාව ඇති නිසා ‘එක් තනි පරීක්ෂණයකින් සියළුම ළමුන් අතරේ ස්වේච්ඡතාව ඇතිවීමේ හැකියාව හඳුනා ගැනීමට ඇති ඉඩකඩ අඩුය’ ඇය පෙන්වා දෙන්නිය.

MMR (කම්මුල්ගාය, සරම්ප හා රුබෙල්ලා යන රෝග ත්‍රිත්වයට ලබාදෙන) එන්නත ලබාදීම නිසා ස්වේච්ඡතාව ඇති වෙතැයි කලින් තිබු,  දැන් ව්‍යාජයක් බව පිළිගෙන ඇති මතය පළවා හැරීමට ද මෙම අධ්‍යයනය උපකාරී වෙයි. මේ මතය කලක් තහවුරු වී තිබුණේ ළමයාට ස්වේච්ඡතාව ඇති බවට රෝග විනිශ්චය වන වයසත්   MMR එන්නත ලබා දෙන කාලය හෙවත් වයසත්  සමපාත වීම නිසාවෙන් විය හැකිය.

BBC Science හි පළවූ  Autism detectable in brain long before symptoms appear  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: