විදු නැන නුවණ – Science Literacy for All

අඟහරු යමහලක් නිසල වුයේ මෙලොව ඩයිනසෝරයන් නෂ්ටප‍්‍රාප්ත වූ අවධියේමය

පෘථිවිය මත කලක් සිය ආධිපත්‍යය පතුරුවා  ගෙන සිටි ඩයිනසෝරයන් නිහඬ වූ අවදියේම අඟහරු ලොව යමහලක් අකි‍්‍රය වීනැයි නාසා පර්යේෂකයෝ සොයා ගනිති.

රතු ග‍්‍රහයා ලෙස හැඳින්වෙන අඟහරු මත යෝධ යමහල් තුනක් එකතුව පොදුවේ හඳුන්වනු ලබන තාර්සිස් මොන්ටේස්(Tharsis Montes) සමූහයේ දකුණු අන්තයටම වෙන්නට තිබෙන්නේ අර්සියා මොන්ස්(Arsia Mons) යමහල ය.  මේ වනතුරු අරේසියා ටොන්ස් යමහලෙහි ඉතිහාසය අභිරහසක්ව පැවතිණ. කෙසේ වුවද, පරිගණක ආකෘතියක ආධාරය ඇතිව අර්සියාමොන්ස් යමහල ලාවා විදාරණය හෙවත් පිට කිරීම නතර කළේ කොයි කාලයේදී ද යන්න අවසානයේ සොයා දැන ගැනීමට විද්‍යාඥයෝ සමත් සිටිති.

පරිගණක ආකෘතියක් දක්වන අන්දමට අර්සියා මොන්ස් යමහලේ කි‍්‍රයාකාරිත්වය නතර වී ඇත්තේ මෙයට වසර මිලියන 50කට පමණ පෙරය. පෘථිවිය මත මෙසෝසොයික යුගයේ අවසාන සමය වන කි‍්‍රටේසීය-පුරාජාන නෂ්ටප‍්‍රාප්තවීම සිදු වූඅතර ඉන් එවකට පෘථිවියෙහි ශාක හා සත්ව හතරෙන් තුනක්ම විනාශ විය. ඩයිනසෝරයන්ගේ නෂ්ටප‍්‍රාප්තිය ද ඊට ඇතුළත්ය.

එක පේළියට ඇති තාර්සිස් මොන්ටේස් සමුහයේ විශාලතම යමහල් තුන (ඉහළ වමෙහි ඇත්තේ සකළ සෞරග‍්‍රහ මණ්ඩලයෙහිම විශාලතම යමහල ලෙස හඳුනාගෙන ඇති ඔලිම්පස් මොන්ස් යමහලයි.) (නාසා සේයා රූ)

ටෙක්සාස් වුඞ්ලන්ඞ්ස් හි 48 වැනි වාර්ෂික චන්ද්‍ර හා ග‍්‍රහ විද්‍යා සමුළුව(Lunar and Planetary Science Conference)   මාර්තු 20 දා පැවැත්වුණු අතර නාසා ගොඩාඞ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු වන, නව අධ්‍යයනයේ සම කර්තෘවර ජෙකබ් රිචඞ්සන් මේ සොයා ගැනීම ඉදිරිපත් කළේය. “අපි ඇස්තමේන්තු කර ඇති අන්දමට ආර්සියා මොන්ස් යමහල් මුදුනේ යමහල් ක්ෂේත‍්‍ර සඳහා කි‍්‍රයාකාරිත්වය මුදුන් පෙත්තට පැමිණියේ මෙයට වසර මිලියන 150 පෙරයි. ඒ කියන්නේ පොළොව මත පසු-ජුරයිසික (late Jurassic period) සමයේ දියි. ඉන් පසුව, පෘතිවිය මත ඩයිනසෝරයන් වඳවී යන අවධියේම වාගේ ආර්සියා මොන්ස් යමහලෙහි කි‍්‍රයාකාරිත්වය නතර වෙලා තියෙනවා” රිචඞ්සන් කියා සිටියි, “ඒ කොහොම වුණත් අවසන් යමහල් විවරය හෝ දෙක  පසුගිය වසර මිලියන 50ක් තුළ කි‍්‍රයාකාරීව තිබෙන්නටත් ඇති. භූ විද්‍යාත්මක වශයෙන් බලන විට මෙය ඉතා මෑතක කාලයකි.”

අර්සියා මොන්ස් හි යමහල් විවිර 29 ක් හඳුනා ගැනීමට රිචඞ්සන් හා කන්ඩායමට හැකි වී තිබේ. මෙකී විවර ඇත්තේ කල්දේරාව(the caldera ) ඇතුළතය. කල්දේරාව යනු  යමහල මුදුනේ ඇති නරාව හෙවත් යමහල් මුඛ හැඩගත් අවපාතයකි. යමහල් මුදුන මත ලාවා එකට එකතුවෙද්දී එහි(යමහලේ) බරටම යමහල බිඳී වැටෙන විට කල්දේරාවන් බිහිවේ. ආර්සියා මොන්ස් හි කල්දේරාව හරහට කිලෝමීටර් 110 කි (සැතපුම් 69ක්). එය හුරොන් විලෙහි ජලය සියල්ල ගබඩා කර තබාගැනීමට තරම් විශාලත්වයකින් යුක්ත වූවකි.

මේ යමහල අවසන් වරට සකි‍්‍රයව පැවතියේ කොයි කාලේද යන්න නිර්ණය කිරීම පිණිස යමහල් විවර 29 අවට ලාවා ගැලීම් සිතියම් ගත කිරීමට රිචඞ්සන් ප‍්‍රමුඛ පරික්ෂක කණ්ඩායම අඟහරු වටා කක්ෂ ගතව තොරතුරු සොයා බලන යානය වන  රිකොනයිසන්ස්  ඕබිටර්(Reconnaissance Orbiter) යානයේ කොන්ටෙක්ට් කැමරාවෙන් ලබා ගත් අධි විභේදන ප‍්‍රතිරූප යොදා ගත්හ. යමහල වටා නාරාවන් හෙවත් යමහල්  මුඛ සසඳමින් ගණනය කිරීම ලාවා ගැනීම් කොපමණ කාලයක් පැවතියේද යන්න නිර්ණය කිරීමේදී පරීක්ෂණයට උපකාරී විය. මේ දත්ත එකට එකතු වීමෙන් පර්යේෂකයන්ට වඩාත් මෑතකම යමහල් කි‍්‍රයාකාරිත්වය ඇතිවූයේ මෙයට වසර මිලියන 10 සිට 90 දක්වා කාලයක් තුළ බව තීරණය කිරීමට හැකි විය.  පැරණිතම ලාවා ගැලීම් වසර මිලියන 100 ක් පමණ පැරණිය.

“මේක සෙමින් සිදුවන (ඛනිජ හා ඓන්ද්‍රීය ද්‍රව්‍ය මිශ‍්‍රණය) මැග්මා කාන්දුවක් ලෙස සිතන්න,” රිචඞ්සන් කියයි. “සෑම වසර මිලියන 1 සිට 3 දක්වා අතර කාලයකදී අර්සියා මොන්ස් එහි මුදුනේ යමහල් විවර නිර්මාණය කරල තියෙනවා. පෘථිවියේ ඒ හා සමාන කලාපවල විවිර නිර්මාණය වී ඇත්තේ සෑම වසර 10,000 වරක් වාගේයි.”

අධ්‍යයනයෙහි ප‍්‍රතිඵල Earth and Planetary Science Letters  නම් සඟරාවෙහි පසුගිය ජනවාරියේ පළ විය.

 

Space.com හි පළවූ   Mars Volcano Died at Same Time As Dinosaurs ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: