විදු නැන නුවණ – Science Literacy for All

පිරිමි පහස නොමැතිව බිජුලන කැරපොතු කන්‍යාවියෝ

ගැහැනු කැරපොත්තන්ට බිජු ලෑම් සඳහා පිරිමි කැරපොත්තෙකු සමග සංවාසයේ යෙදීම අත්‍යවශ්‍ය නැත. එහෙත් එම ගැහැනු සත්තු එකිනෙකාගේ සමාගමය පි‍්‍රය කරති. එකට එක්ව වාසය කරන කන්‍යා කැරපොත්තන් තනිව වෙසෙන සිය වර්ගයේ කන්‍යාවියන්ට වඩා ඉක්මනින් ජනිතයන් නිපදවීමට සමත් බව නව අධ්‍යයනයකින් කියැවෙයි.

Related image

Periplaneta americanaයන නමින් හැඳින්වෙන  ඇමරිකානු කැරපොතු(American cockroaches) ගැහැනු සතුන්ට  කෞමාරෝදභවය හෙවත් අතිෂික්ත ජනනය(parthenogenesis) මගින් බිජු නිපදවිය හැකියි. මෙය (පිරිමි සතෙකු නැතුව සිදු කරනු ලබන)එක්තරා අන්දමක අලිංගික ප‍්‍රජනනයකි. මේ ආකාරයෙන් ප‍්‍රජනනය කළ හැකි වෙනත් බොහෝ ආත්‍රොපෝඩාවන් (පත්තෑ, කෘමි, කකුළු, මකුළු ආදී සතුන් ඇතුළත් වංශය arthropods)  කරන්නාක් මෙන්ම කැරපොත්තන්ගේ ගැහැණු සතුන්ද මේ අනිෂික්ත ජනනයට පෙළඹෙන්නේ පිරිමි සතුන් නොමැති විටදීය. අනිෂික්ත ජනනයෙන් උපදින ජනිතයන් වර්ධනය වන්නේ මවගේ බිජුවෙන් පමණකි. එහෙයින් ලිංගික ප‍්‍රජනනයෙන් උපන් ජනිතයන්ට වඩා මොවුන් ජානමය විවිධත්වයෙන් හීනය.

ඇමරිකානු කැරපොතු විශේෂය ගතහොත්  අනිෂික්ත ජනනයන් නිපදවන බිජු, කැරපොතු පිරිමි සතෙකු හා සංවාසයෙන් සංවාසයෙන් පසුව බිහිවන බිජු ගොන්නට වඩා පැවැත්මේ හෙවත් ප‍්‍රවර්ථනයේ හැකියාව අඩු මට්ටමක පවතී. එසේ වුවද කන්‍යා කැරපොතු මවකගේ ජනිතයන්ටද ප‍්‍රවර්ථනයේ  හා සංවාසයේ යෙදීමේ හැකියාව ඇත. ජපානයේ හොකයිඩෝ සරසවියේ පර්යේෂකයන් මෙහිදී උනන්දුව දැක්වූයේ සාර්ථකත්වයෙන් අඩු ප‍්‍රජනන උපාය මාර්ගයක් වන අනිෂික්ත ප‍්‍රජනනයට කැරපොත්තන් පෙළඹෙන්නේ මැන්දැයි සොයා බැලීමටය.

කන්‍යා උපත් කල් මැනීම හෙවත් කල්යෙදුම (Timing virgin births)

මේ තත්ත්වයට බලපාන්නේ පිරිමි සතුන් නොමැතිකම ම පමණක් නොවේ යයි Zoological Letters සඟරාවෙහි  මාර්තු 13 දා පළකෙරුණු වාර්තාවකින් පර්යේෂකයෝ කියා සිටිති. සමස්තයක් වශයෙන් ගත් කළ පිරිමි සතුන් නොමැතිකම පමණක් නොව ගැහැනු සතුන්ට සාපේක්ෂව පිරිමි සතුන්ගේ අනුපාතයද කැරපොතු ගැහැනු සත්තු ප‍්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගත යුතුවේ.  එමෙන්ම, කිසියම් ගහණ  ඝනත්වයක් සලකන කල සංවාසයෙ යෙදීමට පිරිමි සතෙකු සොයා ගැනීමට ඇති හැකියාවද ඔවුන් නිර්ණය කර ගත යුතු වේ.

සමාජ පරිසරයෙහි බලපෑම පරීක්ෂාකර බැලීම සඳහා මෙම පර්යේෂකයෝ ගැහැනු කැරපොත්තන් විවිධ අවස්ථාවලට බඳුන් කර බැලූහ.  පාලක කණ්ඩායමේ දී පිරිමි සතෙකු හා ගැහැනු සතෙකු එකට තබන ලද අතර සංවාසයේ යෙදීමට ඉඩ සැලසිණ. වෙනත් අවස්ථාවල දී ගැහැණු සත්තු තවත් ගැහැනු සතුන් එකෙකු, දෙන්නෙකු, තුන්දෙනෙකු හෝ හතරදෙනෙකු හා එකට තබන ලදී. තවත් කණ්ඩායමක් ලෙස කැරපොතු ගැහැනු සත්තු,  කරඅඹන ලද(castrated)  පිරිමි සත්තු සමග එකට තැබිණ. තවද, ගැහැනු කැරපොත්තන් පමණක් සිටින කණ්ඩායම්වලට ෆෙරමෝන(pheromones) එකතු කිරීමේ බලපෑම ද  පර්යේෂකයෝ පරීක්ෂා කර බැලූහ. ෆෙරමෝන යනු සමසත්ව විශේෂයන්  ආකර්ෂණය කරගැනීමට හා සංනිවේදනය සඳහා කෘමීන් යොදා ගන්නා රසායනයකි.

අනතුරුව, එක් එක් අවස්ථාවන්ට බඳුන් කළ ගැහැනු කැරපොත්තන්ගේ ඒ ඒ තත්ත්වය තුළ දී දැමූ බිත්තර ගණන සහ ඒ ගැහැනු සතුන්ට බිජු දැමීමට කොපමණ කලක්  ගත වී දැයි පර්යේෂකයෝ සොයා බැලූහ. ඔවුනට පෙනී ගියේ සාමාන්‍යයෙන් ගතහොත්, තනියම දමා තිබූ කන්‍යා කැරපොතු  ගැහැනු සතුන් දින 13.4ක්(දින 4ක් එහා හෝ මෙහා වි) ඇතුළත අනිෂික්ත ප‍්‍රජනනය මාර්ගයෙන් බිත්තර දැමූ බවයි. අනෙක් කන්‍යාවන් සමග එකට එක්ව තැබූ කැරපොතු කන්‍යාවියන් අනිෂික්ත ප‍්‍රජනනයට එක්වූයේ වඩාත් වේගයකිනි. නිදසුනක් දක්වන්නේ නම්, කන්‍යාවන් තිදෙනෙකු එකට තැබූ අවස්ථාවල සාමාන්‍යය වශයෙන් දින 10කින් (දින දෙකක් එහා මෙහා වී)  පසුව බිජු ලෑම ආරම්භ කර ඇත.

කැරපොතු සහයෝගීතාව

වඩාත් කැපී පෙනෙන සිද්ධියක් වන්නේ තනිකරම ගැහැනු සත්තු  පමණක් එකට තැබූ අවස්ථාවලදී කැරපොතු කන්‍යාවන්,  තනිනයම තැබූ කැරපොතු කන්‍යාවන්ට වඩා බොහෝ ඉක්මනින් දෙවැනි බිජු ගොන්නද දැමීමය. එක්ව සිටි කන්‍යාවන් දෙවැනි බිජු ගොන්න සාමාන්‍ය වශයෙන් දින 18කට පසු දමද්දී තනිව ගත කළ කන්‍යාවන්ට ඒ සඳහා වැය වූ කාලය 25-30 ත් අතර විය.

ෆෙරමෝන එක්කිරීම, අනිෂික්ත ප‍්‍රජනන කාලය කෙරෙහි බලපෑමක් ඇති නොකළ අතර එසේ වුවත්, ගැහැනු සත්තු සමග එකට සිටින විටට  වඩා කරඇඹූ පිරිමි කැරපොත්තෝ සමග තැබූ ගැහැනු සත්තු අතරේ අනිෂික්ත කි‍්‍රයාදාමය වඩාත් මන්දගාමී වූ බව සොයා ගනු ලැබීය.

අනිෂික්ත ප‍්‍රජනනය සුසංයෝගී කර ගැනීමෙන් කණ්ඩායමක් ලෙස එකට සිටින ගැහැනු සතුන්ට වාසි සැලසෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ඒ සිය ජනිතයන්ගෙන් වැඩි පිරිසකගේ ප‍්‍රවර්තනය (පැවැත්ම) සහතික කරගත හැකි බැවිනි.  කැරපොතු ශීගුවන්() එකට බිත්තරවලින් එළියට ඒම නිසා සංඛ්‍යාව වැඩිවීමෙන්  ලැබෙන වාසිය සැලසේ. එමගින් ලිංගික ප‍්‍රජනනයෙන්  බිහිවන ජනිත අනුපාතයනට වඩා අඩුවෙන් බිජුවෙන් බිහිවීමේ අවාසිය මඟ හැරෙනු ඇත.

ගැහැනු සහයෝගීතාව පිළිබඳ ඉතා ප‍්‍රෘථමික නිදසුනක් විය හැකි යයි පර්යේෂකයෝ සඳහන් කරති. පිරිමි කැරපොත්තන් එකට තැබූ කල එකිනෙකාගේ අන්තිනාවන් හෙවත් ස්පර්ශක(antennae) කපා දමන තුරුම සටන් වදින අතර ගැහැණු සතුන් එක්ව තැබූ විට එකට පොදිගැසී සිටිනවා පමණක් නොව ඇතැම්විට සිය ප්‍රජනන කාලසටහන සුසංයෝගී කර ගැනීමට පවා සමත්වේ.

Live Science හි පලවූ  Female Cockroaches Sync Up Their Virgin Births ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: