විදු නැන නුවණ – Science Literacy for All

අයිස් සමය කොපමණ ඉක්මනින් ඇතිවේද?

අවසාන අයිස්  සමය(ice age) ලොම් මැමතා කරලියට ඒමට  සහ ග්ලැසියර අධිකව පැතිරයාමට මග පෑදීය. ඒත් ඉතින් එය අපේ මේ පෘථිවිය බිහිවී ගත වූ වසර බිලියන 4.5ක ඉතිහාසය තුළ ඇති වූ අයිස් සමය අතරින් එකක් පමණයි.මේ ආකාරයට  කොපමණ කාලයකට සැරයක් අයිස් සමයවල් ඇති වෙනවාද? ඒ වගේම, ඊළඟ අයිස් සමය කවදා ඇතිවෙතැයි අපේක්ෂිතද?

මෙහි මුල් ප‍්‍රශ්නයට ලැබෙන පිළිතුර රඳා පවතින්නේ අප සොයන්නේ මෙකී අති විශාල කාලෙඡ්ද තුළ පැවති විශාල අයිස් සමයන්(big ice ages) ගැනද නැතිනම් කුඩා අයිස් සමයන්(little ice ages) ගැනද යන්න මතයි. පෘථිවිය තුළ මහා අයිස් සමයන් පහක් පැවති අතර ඉන් සමහරක් වසර මිලියන සිය ගණනක් ගතවනතුරුත් පැවතිණ. ඇත්තටම, දැනුදු පෘථිවිය මත මහා අයිස් සමයක් පවතී. පෘථිවියෙහි ධ‍්‍රැව අයිස් වැස්ම ඇත්තේ මන්දැයි යන්න ඉන් වටහා ගත හැකිය. පෘථිවියෙහි සම්පූර්ණ වයසින් සියයට 25% ගතවී ඇත්තේ අයිස් සමයන් ලෙසය යයි මයිකල් සෑන්ඞ්ස්ටෝර්ම් පවසයි. හෙතෙම, නිව්යෝක් නුවර කොලොම්බියා සරසවියේ පුරාදේශගුණය(paleoclimate) හදාරන අචාර්ය උපාධි අපේක්ෂකයෙකි.

පුරා වාර්තාවල සඳහන් ප‍්‍රධාන අයිස් සම පහට, වසර බිලියන 2.4 සිට 2.1 දක්වාවූ හියුරෝනීය ග්ලැසියරායනය(Huronian glaciation), වසර මිලියන 720 මිට 635 දක්වා වූ ක්‍රයෝජිනියන් ග්ලැසියරායනය(Cryogenian glaciation), වසර මිලියන 450 සිට 420 දක්වා වූ ඇන්ඩිස්-සහරානු ග්ලැසියරායනය (Andean-Saharan glaciation), වසර මිලියන 335 සිට 260 දක්වාවූ  පසු-පේලියෝසොයික අයිස් සමය(Late Paleozoic ice age) සහ වසර මිලියන 2.7 ක සිට අද දක්වා වන චාතුර්ථික ග්ලැසියරයනය (Quaternary glaciation) ඇතුළත් වේ.

මේ මහා අයිස් සම අතරතුර  (glacials=ග්ලැසියර සම ලෙස හැඳින්වෙන) චූල අයිස් සම මෙන්ම (interglacials= අන්තර්ග්ලැසියර සම ලෙස හැඳින්වෙන) වඩා උණුසුම් කාලෙඡ්ද තිබිය හැකියි.  මෙයට වසර මිලියන 2.7ක සිට වසර මිලියන 1 ක් පමණ වූ චාතුර්ථික ග්ලැසියරායනය ආරම්භය තුළ දී මෙකී ශීතල ග්ලැසියර කාලෙඡ්ද සෑම වසර 41,000කට වරක් ඇති විය. කෙසේ වෙතත්,  පසුගිය වසර 800,000 තුළ දැවැන්ත ග්ලැසියර තලා ඇති වුණේ වඩාත් අඩු වේගයකිනි. එනම් සෑම වසර 100,000කට වරක් පමණ යයි සෑන්ඞ්ස්ටෝම් කියයි.

වර්ෂ 100,000 චක‍්‍රය කි‍්‍රයාත්මක වන්නේ මෙලෙසය : වසර 90,000ක පමණ කාලයක් මුළුල්ලේ අයිස් තලා වර්ධනය වේ. අනතුරුව වඩාත් උණුසුම් කාලවලදී වසර 10,000ක පමණ කාලය තුළ ඒවා බිඳ වැටේ. ඉන් පසුව මේ කි‍්‍රයාදාමය යළි සිදු වේ. අවසාන අයිස් සමය වසර 11,700කට පෙර අවසන් වූ බව සලකන විට පෘථිවිය යළිත් අයිස් වලින් වැසි යාමට කාලය පැමිණ නැත්ද? එහෙත් ග්ලැසියර සම සහ අන්තර් ග්ලැසියර සම පිහිටුවීමට බලපාන, පෘථිවියේ කක්ෂගතවීමට අදාළ සාධක ගිලිහී ඇත. “එම කාරණාවත්, අප කොපමණ නම් කාබන් ඩයොක්සයිඞ් වායුගෝලයට විමෝචනය කරනවාද යන්නත් එකට ගත් විට බාගදා තවත් අවුරුදු ලක්ෂයකටවත් අපට ග්ලැසියර සමයකට ඇතුල් වෙන්න බැහැ” යයි සෑන්ඞ්සේටෝම් කියා සිටියි.

ග්ලැසියර සම ඇතිවීමට හේතු මොනවාද

සර්බියානු තාරකා විද්‍යාඥයෙකු වන මිලූටින් මිලැන්කොවිච් ඉදිරිපත් කර ඇති උප න්‍යාසයක් අනුව පෘථිවිය මත ග්ලැසියර සම සහ අන්තර් ග්ලැසියර සම ඇති නැති වී යන්නේ කෙලෙසද යන්න ගැන යම් පැහැදිලි කිරීමක් කර ගැනීමට පුළුවන. සූර්යයා වටා පෘථිවි ග‍්‍රහයා භ‍්‍රමණය වෙද්දී ග‍්‍රහයාට කොපමණ ප‍්‍රමාණයක් සූර්යාලෝකය ලැබේද යන්නට බලපාන සාධක තුනකි. එනම් (වසර 41,000ක චක‍්‍රයක් අනුව  ඇලය අංශක 24.5 සිට 22.1 දක්වා පරාසයක් ගන්නා) එහි ඇලය(tilt),  එහි විකේන්ද්‍රිකතාව (eccentricity එනම් සූර්යවටා එහි කක්ෂයේ හැඩය වෙනස්වන ආකාරය. මෙය පූර්ණ වෘත්තයක සිට  ඕවලාකාර හැඩය දක්වා වෙනස් වේ) සහ එහි දෙපසට වැනීම (wobble කැරකෙන බඹරයක් සිහි ගන්වන පෘථිවියේ වැනීම. සෑම වසර 19,000 සිට 23,000 අතර කාලයක සිදුවේ) ලෙස මිලැන්කොවිච් දක්වයි.

1976 වසරේ දී Science සඟරාවේ ඉම් සලකුණු වාර්තාවක් පළ වූ බව පෙන්වා දෙන  සැන්ඞ්ස්ටෝම් එම වාර්තාවෙහි මෙකී පරාමිතියන් තුණ පෘථිවියේ ග්ලැසියර සමයන්ගේ  චක‍්‍ර පැහැදිලිකර දී ඇති බව දක්වයි. මිලැන්කොවිච්ගේ මතයෙන් කියැවෙන්නේ  ‘කක්ෂගත චක‍්‍ර පුරෝකතනය කළ හැකිය එමෙන්ම කාලය පුරාවටම සංගතව පවතිනවාය යන්නයි. අප ඉන්නේ අයිස් සමයක නම් මෙකී කක්ෂ චක‍්‍ර මත රඳා පැවතෙමින් අපට අයිස් වැඩියෙන් හෝ අඩුවෙන්  ලැබෙයි යන්නයි.’ “ඒත් පෘථිවිය වුවමනාවට වඩා බෙහෙවින්  උණුසුම් නම් එකී සාධක මූලික වශයෙන් කිසි  බලපෑමක් කිරීමට — අඩුතරමින් අයිස් වර්ධනය ගැන බලතොත් කිසිම බලපෑමක් කිරීමට සමත් නැහැ” සෑන්ඞ් ස්ටෝම් පවසයි.

පෘථිවිය උණුසුම් කළ හැකි එක් දෙයක් තමයි කාබන් ඩයොක් සයිඞ් වැනි වායුවක්. පසුගිය වසර 800,00 තුළ කාබන්ඩයොක්සයිඞ් මට්ටම් මිලියනයකට කොටස් (parts per million ඉංගි‍්‍රසියෙන් ppm ලෙස කෙටියෙන් දැක්වෙන) 170 සිට 280 අතර උච්චාවචනය වී තිබේ. (පැහැදිලි කිරීමක් කරතොත් මෙයින් කියැවෙන්නේ වායු අණු මිලියනයක් ගතහොත් ඉන් අණු 280 ක් කාබන් ඩයොක්සයිඞ් ගැබ්ව ඇති බවයි) මෙය ග්ලැසියර සම  සහ අන්තර් ග්ලැසියර අතර 100 ppm පමණ වෙනසක් විතරයි. සැන්ඩිස්ටෝම් පෙන්වා දෙයි. එහෙත් අතීත උච්චාවචනයන්  හා සසඳන විට අද කාබන්ඩයොක්සයිඩ් මට්ටම් අතිශය ඉහළයි. Climate Central (දේශගුණ කේන්ද්‍රය) දක්වන අන්දමට ඇන්ටාක්ටිකාවේ කාබන් මට්ටම 400 ppm දක්වා ඉහළ ගොස් තිබේ.

පෘථිවිය මෙය කලින්ද උණුසුම්ව පැවතින. නිදසුනක් දක්වන්නේ  නම් ඩයිනසෝරයන් විසූ යුගයේ පෘථිවිය වඩාත් උණුසුම්ව පැවතිණ. “ඒත් බය හිතෙන කාරණාව තමයි මේක: සුළු කාලයක් තුළ අප වායුගෝලයට කොපමණ නම් කාබන් එකතු කරනවාද යන්න” හෙතෙම පැහැදිලි කරයි. කාබන් ඩයොක්සයිඞ් මගින් ඇතිවන උණුසුම් වීමේ බලපෑම ප‍්‍රබල විපාක ගෙන දිය හැකියි. මන්ද, පෘථිවියෙහි සාමාන්‍ය උෂ්ණත්වයේ සුළු වැඩිවීමක් බලවත් විපර්යාසයන්ට මග පෑදිය හැකි හෙයිනි. ගෝලීය උණුසුම්වීම ගී‍්‍රන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් තලා දියකර හරි නම් සාගර දැනට තිබෙන මට්ටමට වඩා අඩි 196 ක්(මීටර් 60ක්) ඉහළ යා හැකි බව  සැන්ඩ්ස්ටෝම් පෙන්වා දෙයි.

දීර්ඝ අයිස් සමයන්ට මග පාදන්නේ කුමක්ද? ඒ ගැන විද්‍යාඥයන්ට තවම හරිහැටි අවබෝධයක් නැතත් කාබන්වල දැවැන්ත පහළ වැටීමක් උෂ්ණත්වය පහළ වැටීමට තුඩු දිය හැකි යයි සැන්ඩ්ස්ටෝම් කියයි.

Live Science හි පළවූ  How Often Do Ice Ages Happen? යන ලිපිය ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: