පෘථිවියේ භ‍්‍රමණය හිටි අඩියේ නතර වුණොත්…?

Posted by

පෘථිවිය තම අක්ෂය වටා භ‍්‍රමණය වීම හෙවත් කරකැවීම හිටි අඩියේ නතර වුණොත් සූර්යාට මුහුණ ලා සිටින  පැත්ත දැවී අළුවි යා හැකිය. නමුත් නිරතුරුව සූර්යාලෝකයට නිරාවණය වී තිබෙන කොටස සහ නිරතුරුව අඳුරේ පවතින කොටස අතර ඉමේ තවදුරටත් මානවයන්ට දිවි රැකගෙන ජීවත් විය හැකිවීමට ඉඩ තිබේ.

පෘථිවියේ  භ‍්‍රමණය අපේ ජීවිත පාලනය කරයි. අපේ පෘථිවි ග‍්‍රහයා සූර්යයා වටා පරිභ‍්‍රමණය වෙමින් යන අතරවාරයේ තමා වටා (තම අක්ෂය වටා) කරකැවෙද්දී අපි,  නිදාගැනීම අවදිවීම ආදී දවසක කටයුතුවල යෙදී සිටින්නෙමු. මස් පැලහුම් උපකරණයක් වන රොටිසේරියක ආකාරයෙන්  ග්‍රහයා  උණුසුම්ව තබා ගැනීමටත්,  ග‍්‍රහයා ගේ  භූචුම්භක ක්ෂේත‍්‍රය මෙහෙයවීමටත්  හේතුවන්නේ පෘථිවියේ මේ කරකැවිල්ලයි. දේශගුණික රටා, සංසරණය මේ සියල්ල සැලකිල්ලට ගන්නකොට තමයි අපට මෙහෙම ප‍්‍රශ්නයක් හිතට නැගෙන්නේ: පෘථිවිය කරකැවීම බැරිවෙලාවත් නතර වුණොත්????

“එහෙම වුණොත් නම් මහා ජංජාලයක් තමයි වෙන්නේ” වර්ජිනියා සරසවියේ භෞතික විද්‍යාඥ ලූවී බ්ලූම්ෆීල්ඞ් පවසයි.  බොහෝ මිනිස්සු ගිලී නැතොත් හුස්ම හිරවී හෝ  රෝස්ට් වී හෝ සීතලෙන් ගල්වී විනාශ මුඛයට පත්වෙති. ඒත් ඉතින් මුළු කතාවේම ඇත්තේ විපත්ති, නස්පැත්ති පමණක්ම නොවෙයි. මේ මිහිතලය මත යහපත්ව පිහිටි තැන් හතරක ජීවත්වීමට තරම් වරම් ලද සුළු පිරිසකට ජීවිතය රැකගෙන පවත්වාගෙන යා හැකිවේ. එපමණක් නොව පෘථිවියේ භ‍්‍රමණය නතරවීමෙන් හදිසියේ ඇතිවූ විපර්යාසයන්ට අනුව වෙනස්ව ගිය පරිසරයට හැඩ ගැසෙමින් බාගදා ඉක්මණින් පරිණාමයට පත්වන්නට ද ඉඩ තිබේ.

එපමණක්ද?  නැත! පෘථිවිය සිය අක්ෂය වටා භ‍්‍රමණය වීම නතර වුණොත් අප සෑම පුදුමයට පත්කරමින් පෘථිවියෙහි හැඩය වෙනස් වනු ඇත. පෘථිවිය බඳ හරියෙන් ඒ කියන්නේ එහි  සමකය(the equator) වඩා නෙරා ආ ස්වාභාවයක් ඇති බව අපි දනිමු. ඒ නෙරීම ඇතිවන්නේ පෘථිවි භ‍්‍රමණය නිසාවෙනි. ඇත්තවශයෙන්ම ධ‍්‍රැවයක සිට අනෙක් ධ‍්‍රැවයට ඇති දුරට වඩා සමකය හරහා දුර සැතැපුම් 26කින් වැඩියි.  ඉතින්,  භ‍්‍රමණය හිටි අඩියේම නතර වුණොත් සහ පෘථිවියේ නෙරීම එකවරම ලිහිල් නොවුණොත් වඩාත් ද්‍රව ගතියෙන් යුත් සාගර නෙරීම ක්ෂණිකව නතර වෙයි. එතකොට සිදු වන්නේ කුමක්ද? තවමත් සමකය ඝන කොටස නෙරා තිබීම නිසා සාගර ජලය ධ‍්‍රැව ප‍්‍රදේශ කරා විස්ථාපනය වීමයි. “එතකොට සමකය ප‍්‍රදේශය දැඩි වියළි ස්වභාවයට පත්වී ධ‍්‍රැව ප‍්‍රදේශ ජලය සැතපුම් ගණනින් පිරී යාවි” බ්ලූම්පීල්ඞ් පෙන්වා දෙයි.

වායුගෝලය ගත්තත් එහිදී දි මෙයාකාරම ගියර් මාරුකිරීමක් (විස්ථාපනයක්) සිද්ධවේ. වායුගෝලය ධ‍්‍රැව ප‍්‍රදේශවලදී ඝන වන අතර සමකයේදී  එය තුනී වේ. මධ්‍ය අක්ෂාංශ වටා සොදුරු තැනක සිටින පෘථිවිවාසීන්ට පමණයි සංක‍්‍රමණ යුගය  ගෙවා ගනිමින් යෝග්‍ය වායුගෝලීය පීඩනයක් අත්විඳීමට ඉඩ ලැබෙන්නේ. එපමණක් නොව, පෘථිවියේ භ‍්‍රමණය හිටි අඩියේ  ඇනහිට,   සූර්යයා දෙසට හැරී කරකැවීම නතර වූ අර්ධයට නොකඩවා සූර්යාලෝකය පතිත වේ. එම අර්ධය දැවී අළුවී යන මට්ටමට උණුවේ. ගහකොළ පිළිස්සී වඳවී යයි. පොළව වියලී පැළෙයි. මිට ප‍්‍රතිවිරුද්ධ දිශාවේ අර්ධය සදාකාලික අඳුරු අයිමය ලෝකයක් බවට පත්වෙයි. එම  භූමිය හිමෙන් වැසී ගිය තුන්ද්‍රාවක් සිහියට නගනු ඇත. “මිනිසුන්ට නම් ඉතින් සංක‍්‍රමණික ප‍්‍රදේශයකට යාගන්න වෙනවා” අග්නිදිග ලූසියානා විශ්වවිද්‍යාලයේ භෞතිකඥ රෙහෙට් ඇලෙන් කියා සිටියි.

මිනිස් වර්ගයා උණු-සීතල මායිමෙහි  කුඩා තීරයකට සීමාවෙනු ඇත. එහිදී සූර්යයා සදාකාලිකවම ක්ෂිතජයට මදක් උඩින් හෝ මදක් පහතින් පහළ වෙයි. එහි උෂ්ණත්වය මධ්‍යස්ථව පවතින ඇත. එසේ වුවද භ‍්‍රමණය නොවන පෘථිවියේ දේශගුණය හා කාලගුණ රටා කෙබදු ආකාරයකට විපර්යාසයන්ට බඳුන් වේදැයි විද්‍යාඥයන්ට (විස්තර පැහැදිලි කිරීමට නොහැකි තරමට)  පුරෝකතනය කිරීම අසීරුය. කෙසේ වෙතත්, එලෙස බිහිවන නව මිහිතලයේ ජිවිත අලුතෙන් ආරම්භ කිරීමට උත්සාහයක දීම උදෙසා උණු-සීතල මායිමේ භූමිය මානවයන්ට පදිංචියට ප‍්‍රමාණවත් වන්නට පුළුවන. හිරු ක්ෂිතිය ආසන්නයේම පෙනෙන කොටසක ඉන්නවා නම් වගාවක් කර ගන්නට පුළුවන් වුණත් හිතන තරම් සූර්ය තාපයක් නම් ලැබෙන එකක් නැහැ” ඇලේන් කියයි.

කොහොම වුණත් මිනිසුන්ට එකී උණු සීතල සම්පූර්ණ තීරුවෙහිම දිගටම ජීවත්වීමට නොහැකිය. හුස්ම ගැනීමට යෝග්‍ය  වායුගෝලයක් සහිත ප‍්‍රදේශව පමණයි ජීවත්වීමට  සුදුසුවන්නේ.  “යෝග්‍ය වායුගෝලීය පීඩනයක හා යෝග්‍ය උෂ්ණත්වයක සාධාරණ මිශ්‍රණයක්  සහිත ස්ථාන දෙක බැගින් උත්තරාධගෝලයේ සහ දක්ෂිණාර්ධගෝලයේ ස්ථාන හතරක් තිබෙන්නට පුළුවනි” යයි බ්ලූම් පීල්ඞ් පවසයි. මානව ගෝත‍්‍ර හතර සදාකාලිකවම එකිනෙකගෙන් වෙන්ව  වර්ධනය වනු ඇත. අතරතුර ඇතිවන  දරුණු තත්ත්වයන් සහිත ප්‍රදේශ ඔවුන්ගේ  එක් වීම සදහටම වළක්වයි.  එලෙස සම්මිශ්‍රනයවීමට නොහැකියාව නිසාත්, මෙකී ස්ථාන හතරෙහි එකිනෙකට වෙනත් පරිසරයන් නිසාත්  ඔවුන් පැහැදිලි මානව විශේෂ හතරක් ලෙස පරිණාමය වනු ඇත. චුම්භක ක්ෂේත‍්‍රය අහිමිවීමත් සමගම ඇදී එන අන්තර්ක්ෂ කිරණවලට ඔරොත්තුදීම සඳහා ඔවුන්ගේ සම ඝනවනු ඇත.

පෘථිවිය භ‍්‍රමණය වීම නතර වුවහොත් සිදුවිය හැකි දේ ගැන කතා කළාට ඇත්තටම පෘථිවියේ කරකැවීම නතරවෙයිද? අසුබ ආරංචිය  වන්නේ ඇත්තටම පෘථිවිය දැනටමත් භ‍්‍රමණය නතරවීමක් කරා ඇදී යමින් පවතී යන්න විය හැකිය යන්නයි. නිරතුරුව සිදුවන භූමියේ හා සාගර එහොට මෙහාට ඇදිල්ලේ ප‍්‍රතිඵලය වන්නේ පෘථිවි ග්‍රහයා සතුව තිබෙන ඒ සඳහා අවශ්‍ය ශක්තිය වැයවී අවසන් වීමයි. දැනටමත් චන්ද්‍රයා, භ‍්‍රමණය සඳහා තමනට අවශ්‍ය ශක්තිය හීනවී යාමෙන් එය උදම් වශයෙන් පෘථිවිය හා හිරවී(“tidally locked”)   තිබේ. දැන් චන්ද්‍රයාගේ එකම පැත්ත පෘථිවියට මුහුණ ලා තිබෙන්නේ ඒ නිසය්. පෘථිවියටත් ඒ දෙයම සිදුවනු ඇත. මුලින් චන්ද්‍රයා සමග පෘථිවිය  ‘උදම්ව හිරවන ’අතර තව අවුරුදු බිලියන ගණනක දී  සූර්යයා සමගද එලෙස හිරවෙනු ඇත. ඒත් ඉතින් එහෙම වෙන්න කලින් සූර්යයා දැවැන්ත පිපිරීමකින් විනාශ වී ගොස් මුළු සූර්යග‍්‍රහමණ්ඩලයම පුපුරුවාලයි. එහෙම වුනොත් ‘සිය කක්ෂය වටා පෘථිවියේ භ්‍රමණය නතර වේද?’ යනුවෙන් අහන්න  මිනිස්සු ඉතුරු වේදැයි තබා පෘථිවියවත් ඉතුරු වන්නේ නැහැ නොව?

 

Live Science  හි පළවූ What If the World Stopped Turning? යන ලිපිය ඇසුරෙනි.

 

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.