අද 2017 අප්‍රියෙල් 10 දා. පුන් සඳ පායන දිනයක්. බෞද්ධයන්ට නම් පුන් පොහෝ දිනයක්. අහස වලාකුළින් බර නොවුවොත්, අද රෑටත් පුර්ණ චන්ද්‍රයා අහසේ දැක බලාගන්න පුළුවනි. සඳ නැතිනම් චන්ද්‍රයාගේ දර්ශනය කුඩා දරුවනට පමණක් නොවෙයි අප කොයි කාටත් සිතට මහත් සතුටක්. කොපමණද කිවොත් සමහරු පිස්සු වටෙනවාලු. එහෙම වහ වැටෙන පිරිසක් තමයි විද්‍යාඥයෝ. අපේ පිස්සුව, අපේ ආශාව අපේ පෘථිවිය වටා කක්ෂ ගතව සිටින එකම චන්ද්‍රයා ගැනයි. හැබැයි විද්‍යාඥයන් නම් අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ සෑම සඳක්ම ගැන උනන්දුව දක්වනවා. තතු මේ වාර්තාව සඳ කුමරියන් ගැන සෙවිල්ලෙන් සිටින විදු දන ගැනයි.
මෙයට වසර 50 ට වැඩිකාලයකට පෙර අභ්‍යාවකාශ යුගයේ උදාව සමග ගවේෂකයන් උත්සුක වුයේ සෞර ග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහ ලෝක වෙත යන්නයි. එහෙත් වසරින් වසර කාලය ගෙවී යද්දී තාරකා විද්‍යාඥයන්ට අවබෝධ වෙන්න පටන් ගත් කාරනාව තමයි ග්‍රහ ලෝකවලටත් වඩා සෞර ග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයන් උනන්දුව දනවන සුළුය යන්න. සෞර ග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයන් බොහොමයක් ‘ජල ලෝකයි’. ඉතින් වතුරට ඇදෙන සත්ව විශේෂ වගේම ග්‍රහලෝක අධ්‍යයන කරන විද්‍යාඥයෝ ද ජලය කොතනද එතැනට වහා ඇදී යනවා.
“මේ මිහිතලය මත ජලය තිබෙන්නේ කොහේද එතැන ජිවය තිබෙනවා,” නාසා සුර්ය පද්ධති ගවේෂණ පර්යේෂණ අතථ්‍ය ආයතනයේ(Solar System Exploration Research Virtual Institute) බ්‍රයන් ඩේ කියයි, “ එම ජලය යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයේ උණු දිය උලපත්වල ජලය මෙන් ලෝදිය වගේ රත්වූ ජලය වුණත් එහෙම නැතිනම් ආක්ටික් ජලය මෙන් හිම සේ ගල්වූ සීතලම ජලය වුණත් කමක් නැහැ”.

සෙනසුරුගේ වලලු වලට මදක් පිටතින් පාවෙමින් සිටින එන්සෙලාඩස් නම් කුඩා චන්ද්‍රයා ගැන සැලකිල්ල යොමුකරන්න. මේ කුඩා විස්මිතලන්තය සතුව භූගත මහා සාගරයක් තිබේ. එය ක්ෂුද්‍ර ජිවින්ට හිතකර විය හැකිය. ඒ මහා සාගරය වසාගෙන ඇත්තේ ඝන අයිස් කබොල්ලකි. එසේ වුවද, එන්සෙලාඩස් කුඩා චන්ද්‍රයාගේ ඒ හිම මිදුණු කබොල්ලේ විවර හෙවත් සිදුරු තුලින් ජල වාෂ්ප ගොටු, අයිස්මය අංශු සහ කාබනික සංයෝග ඉමහත් කඩිසර ලීලාවෙන් උඩට විදිනු නාසා ආයතනයේ කැසිනි අභ්‍යාවකාශ යානයට සොයා ගත හැකිවුනා. ඇත්තටම කැසිනි මේ දුම් ගොටු අතරින් කීප වතාවක්ම පියාසර කර ඇත්තේ එයායේ සංයුතියට ඉව අල්ලමිනි.
“ කැසිනි යානයෙන් ලබාගත් ප්‍රතිඵලවලින් උදම්ව පර්යේෂකයන් එන්සෙලාඩස් හි ජලය පිලිබඳව වඩාත් විස්තරාත්මකව ගැඹුරින් අධ්‍යනය කිරිමටත් එමෙන්ම ජිවය පැවතීම පිලිබඳ සලකුණු සොයා බැලීමටත් ඉඩ සැලසෙන පරිදි අනාගත මෙහෙයුම් සැලසුම් කරමින් සිටිනවා” යයි ඩේ කියා සිටියි.
සෙනසුරු ග්‍රහයාගේ තවත් චන්ද්‍රයෙකු වන ටයිටන්, නයිට්රජන් හා මීතේන් වලින් සැදුම් ලත් ඝන වායුගෝලයකින් වැසී ඇත. මේ චන්ද්‍රයාගේ අයිස්මය කට්ටට යටින් එන්සෙලාඩස් චන්ද්‍රයාගේ මෙන් ජල සයුරක් ඇති බවට සාක්ෂි තිබේ. එහෙත්, ටයිටන් හි අධිශිත පෘෂ්ටය ද්‍රව මීතේන් හා ඊතෙන් විල් වලින් විචිත්රව ඇත. ඩේ පෙන්වා දෙන පරිදි පෘථිවිය හැරුණු කොට සෞර ග්‍රහ මණ්ඩලයෙන්ම සිය පෘෂ්ටයෙහි සැලකිය යුතු දියර ප්‍රමාණයක් සහිත එකම වස්තුව ටයිටන් ය.
ටයිටන් වල මුහුදු තාරකා ජිව විද්‍යාඥයන් පුදුමයට පත්කරවන්න සමත්. අපේ පෘථිවි ග්‍රහයා මත නම් අපේ මුහුදු ඉවින්ගෙන් පිරි ඉතිරි පවතී. ඇත්තවශයෙන්ම පෘථිවිය මත ජිවය හට ගත්තේ මුහුදේ දී විය හැකියි. පිටසක්වල, ටයිටන් චන්ද්‍රයාගේ මුහුදු වල කෙබඳු ජීවින් හට ගැනීමට හැකිද? හයිඩ්‍රොකාබන් මුහුදුවල විචිත්‍ර ආගන්තුක පරිසරය ජිවය හටගැනීමට වැදගත් වන මුලික රසායන විද්‍යාව ගැන තාරකා ජිව විද්‍යාඥයන්ට ඉගෙන ගත හැකි දෑ බොහෝයි.
බ්‍රහස්පති වලත් අයිස්මය කවච සහිත තවත් ජලජමය ලෝක හමුවේ. යුරෝපා, ගැනිමෙඩ් එමෙන්ම සමහරවිට කැලිස්ටෝ වලද, ඒවායේ ගෝලීය අයිස් කබොල්ල යට, ද්‍රව ජලය සහිත සාගර ඇති බවට තද බල සාක්ෂි තිබේ. ඩේ ගේ නම් අවධානය යොමුවන්නට ඉඩ තියෙන්නේ යුරෝපා වෙතටයි.”මේක නම් මහා විශාල ලෝකයක්. එන්සෙලාඩස් වලට වඩා හුඟාක් විශාලයි. ඔවු, ඔය වාමන ග්‍රහ ලෝකවලටත් වඩා විශාලයි. යුරෝපා හි සාගරය කියන්නේ ජිවය පැවතීමට බොහෝ හැකියාව තිබෙන සැලකියයුතු ජල කඳක්” ඩේ කියයි. ඇත්තටම, යුරෝපා හි පෘථිවියේ මෙන් දෙගුණයක් පමණ ද්‍රව ජලය තිබෙන අතර එය එන්සෙලාඩස් ජලය මෙන් ප්රවේශ්යතාවයකින් යුක්ත වෙන්න පුළුවනි.
“යුරෝපාහි ජල ගොටු වාරිකව විදාරණය වන බවට ඇතැම් සාක්ෂි තියෙනවා. හරියට එන්සෙලාඩස් වල ඇති ඒවා වගෙයි. අපි පාවෙන අයිස් කුට්ටි හෙවත් අයිස් කුළු(icebergs) පවා දැකලා තියෙනවා. ඒවා දිස්වෙන්නේ හරියට දියවෙන හිම ගොහොරු නැතිනම් ළහිම මත තිබී උඩට මතුවෙන්නාක් වගෙයි. මේ සියල්ලෙන් අපට ලැබෙන්නේ ද්‍රව ජලය සහිත සාගරයක් පෘෂ්ටයට යටින් තිබෙන බවට ඉඟි තමයි.”
මේ අතර යුරෝපා චන්ද්‍රයාට නුදුරින් ඇත්තේ සම්පුර්ණයෙන්ම අමුතුම චන්ද්‍රිකාවක් – අඕ(Io). “අඕ තමයි අපේ සෞර ග්‍රහ මන්ඩලයෙ වඩාත්ම යමහල් ක්‍රියාකාරිත්වයක් ඇති වස්තුව” ඩේ පැහැදිලි කරයි. අඕ හි දැවෙන සුළු උෂ්ණත්වය හටගන්නේ උදම් තාපයෙන් — ඒ කියන්නේ, බ්‍රහස්පතිගේ දැඩි ගුරුත්වය හේතු කොට ගෙන අඕ චන්ද්‍රයාගේ අභ්‍යන්තරයෙහි ඇතිවන ඉස්සරහට-පස්සට ඇදිල්ලයි.
(බ්‍රහස්පති මගින්) “ ඒ ඒ චන්ද්‍රයාගේ ඇදිල්ලයි, තල්ලුකිරිල්ලයි සිද්ධවෙන්නේ එකිනෙකට වෙනස් ආකාරයකටයි. ඒ නිසා උදම් තාපයත් ඇතිවෙන්නේ එකිනෙකට වෙනස් මට්ටම් වලින්. අනෙකුත් ගැලීලියානු චන්ද්‍රයන්ට වඩා(බ්‍රහස්පතිට) සමීපව කක්ෂ ගතව ගමන් කරන නිසා වඩාත්ම ඇදෙන්නේ අඕ තමයි. එහෙයින් තමයි එහි යමහල් ක්‍රියාකාරිත්වය වැඩි. ඊළඟට බ්‍රහස්පතිට සමීප යුරෝපා සහ පිලිවෙලින් ගැනීමිඩ්, කැලිස්ටෝ යන චන්ද්‍රයන් ඇදෙන්නේ අඩුවෙන්.
“උදම් තාපය කියන්නේ අයිස් දියකර හරින්න ඒ වගේම ජිවය සඳහා ඇති හැකියාව පුළුල් කරන්න පුළුවන් බලශක්ති මුලයක්. එමගින් බ්‍රහස්පති චන්ද්‍රයන් අතර ‘වාස යෝග්‍ය’ කලාපයක් නිර්මාණය කෙරෙනවා. යුරෝපා තියෙන්නේ ඒ කලාපයේ හරි මැද”
ග්‍රහ ලෝක ගැන සෙවීම සිත් අලවන සුළු තමයි. එත් සෞර ග්‍රහ මණ්ඩලය තුළ විස්මිත චන්ද්‍රයන් ඊටත් වැඩි ගණනක් තිබේ. “පෙළඹීල්ල මගහරින්නම බැහැ. විභවය පුදුමය දනවන් සුළුයි. ඉතින් ගවේෂණය සඳහා දැන් අප හැමෝටම කාලය ඇවිදින්” ඩේ කියා සිටියි.
science.nasa.gov. හි Amazing Moons ලිපිය ඇසුරෙනි