පැන්ඩා සතුන් ගැන කතා කරන කොටම අපට මතක් වෙන්නේ ඔවුන්ගේ කළු සුදු වර්ණයි. යෝධ පැන්ඩාගේ මේ කැපී පෙනෙන කළු සුදු ලොම් කබාය හේතුවෙන් ඔවුන් ලෝකයේ වඩාත් පහසුවෙන් හඳුනාගත හැකි සත්ව විශේෂයක් බවට පත් ව තිබේ. අප නිතර දකින බල්ලන්, බළලූන්, ගවයන්, එළුවන් ආදී සතුන් ගතහොත් හැම එකාම එකම වර්ණයෙන් යුක්ත වන්නේ නැහැ. එහෙම නම් ඇයි පැන්ඩාට මේ සුවිශේෂි වර්ණයක් පිහිටන්නේ ?
හිමෙහි වේවා, සෙවනක වේවා මේ දෙකෙහිදීම විලෝපියන්ගෙන් ආරක්ෂා වීමට හැකිවන පරිදි පැන්ඩා සතුන්ගේ වර්ණ ගැන්වීම සිදුව ඇතැයි යන්න තමයි විද්‍යාඥයන් දැන් කියා සිටින්නේ. එපමණක් නොව පැන්ඩාගේ ඇස් වටා ඇති කළු රවුම්, ඔවුන් එකිනෙකාට එකිනෙකා හඳුනා ගැනීමට උදව් වෙන්නේ යයි පර්යේෂකයෝ කියා සිටිති. ‘‘යෝධ පැන්ඩා සතුන්ට මෙවැනි වර්ණ පිහිටීමක් ඇති වුනේ මන්ද යන්න වටහා ගැනීම ජීව විද්‍යාවේ දී බොහෝ කාලයක් නොවිසිඳුණු ගැටළුවක් ’’ යයි නව අධ්‍යයනයේ ප්‍රධාන කතෘ ටිම් කැරෝ පෙන්වා දෙයි. ඬේවීස් හි කැලිපෝනියා විශ්ව විද්‍යාලයේ වනජීවී, මත්ස්‍ය සහ සංරක්ෂණ ජීව විද්‍යා මහාචාර්යවරයෙකු වන හෙතෙම ප්‍රකාශ කරන්නේ ‘‘මේ ආකාර පෙනුමක් වෙනත් ක්ෂීරපායියන් අතර නොමැති නිසා සංසන්දනයක් කිරීම අපහසුවීම මේ අනවබෝධයට හේතුවීය ’’ යනුවෙනි.
මෙය පරීක්ෂා කර බැලීම සඳහා කැරෝ සහ සගයෝ පැන්ඩා සහ අනෙකුත් සත්ව විශේෂ 195 ක ඡායාරූප පරීක්ෂා කර බැලූහ. මේ සත්ව විශේෂ අතරට වලසුන් උප විශේෂ 39 ක් ද ඇතුළත් වූහ. ඡායාරූප පරීක්ෂාවෙන් අනතුරුව ඔවුන් සොයා බැලූවේ ඒ ඒ (තෝරාගත්) සත්ව විශේෂවල සිරුරේ එක් එක් කොටසේ වර්ණනය වී ඇති අකාරය ගැනයි. ඒවා පැන්ඩා වලසුන්ගේ සිරුරේ ඒ ඒ කොටස් සමග සංසන්දනය කෙරිණ.
‘‘අධ්‍යයනයේ විශාල ඉදිරි පියවරක් වුනේ සිරුරේ සෑම කොටසක් ම ස්වාධීන ප්‍රදේශයක් ලෙස සැලකීමය’’ යි කැරෝ කියා සිටියි. පර්යේෂක කණ්ඩායම විසින් (පැන්ඩා සිරුරේ) කළු ලෝම සහිත කොටස් එකිනෙකට වෙනස් පරිසර විද්‍යාත්මක හා චර්යාමය විචල්‍යයන් සමග ගලපා බලනු ලැබුවේ එම කොටස් වල ප්‍රයෝජනය සොයා ගනු පිණිසය.
සීහුම් බොහෝ ගණනක් සිදු කිරීමෙන් පසුව යෝධ පැන්ඩා (giant panda (Ailuropoda melanoleuca) වලසුන්ගේ සිරුරේ සුදු පැහැ කොටස්– එනම් පැන්ඩා මුහුණ, ගෙල, බඩ සහ පස්සාපැත්ත යන සුදු පැහැ කොටස් එම සතුනට හිම වට පිටාවේ සැඟවී සිටීමට ආධාර වෙන බව ඔවුහු සොයා ගත්හ. පැන්ඩාගේ කළු සුදු වර්ණනය උෂ්ණත්ව පාලනය මෙන්ම විදාරණ වර්ණනයට(disruptive coloration) හා සම්බන්ධ වූ බවක් පෙනී ගොස් නැත. විදාරණ වර්ණනය යනු සතෙකුගේ ලකුණු හා සිරුරේ හැඩය සමපාත නොවන වේශාන්තර වර්ගයකි. පැන්ඩාගේ ඇස් වටා ඇති කළු පැහැ කොටස් එලිකණ (glare = තද ආලෝකය) අඩු කිරීමට ආධාර වන බවට සාක්ෂි ද පර්යේෂකයන්ට සොයා ගත නොහැකි විය.
පැන්ඩාගේ සුවිශේෂී වර්ණනය ඔවුන්ගේ පරිසීමිත(restricted) ආහාරයෙහි ප්‍රතිඵලයක් විය හැකි යයි ද සැලකේ. පැන්ඩා තනිකරම උණබට ආහාරයට ගන්නෙකු බව ප්රකටය. එසේ වුවද ඔවුනට මේ රළු ආහාරය කාර්යක්ෂමව ජීර්ණය කිරීමට අවශ්‍ය බඩවැල බැක්ටීරියා(gut bacteria) නොමැති බව mBio සඟරාවෙහි පල වූ 2015 අධ්‍යයනයක සඳහන් විය. එසේ නොව, පැන්ඩා සතුන් සතුව ඇති බඩවැල බැක්ටීරියා සිහි ගන්වන්නේ ඔවුන්ගේ, මාංශභාක්ෂක වලස් ආදිතමයන්ගේ ශරීරාභ්‍යන්තර බැක්ටීරියාය.
උණබට ආහාරයට ගැනීමෙන් පැන්ඩා සතුන්ට ලැබෙන්නේ සුළු පෝෂණ හා කැලරි ප්රමාණයකි. එහෙයින් ඔවුනට සීත සෘතුවේ දී සිසිරකරණයට ප්‍රමාණවත් තරම් මේදය ගබඩා කර ගත නොහැකි බව කැරෝ සහ සගයෝ පෙන්වා දෙති. එහෙයින් පැන්ඩා විවිධ වූ වාස භූමි වර්ග හරහා යමින් තව තවත් උණ බට සොයා හිමෙන් වැසුණු කඳුකර ප්‍රදේශවල සිට නිවර්තන වනාන්තර දක්වා වූ බොහෝ දුර බැහැර ගමන් කරන්නේ වසර පුරාම ක්‍රියාකාරී ජීවිතයක් ගත කරමිනි. ‘‘යෝධ පැන්ඩාවරුන්ට ඒ ඒ පසුබිමට ගැලපෙන ආකාරයකට ප්‍රමාණවත් තරම් කඩිනමින් ‘උච්චර්මය හැරීමට’ (මෝල්ට්) නොහැකි හෙයින් එක්තරා විදිහේ සමථයකට පත්වෙමින් සුදු හා කළු ලෝම දැරීමට පරිණාමය වී තිබෙනවා’’ යයි පර්යේෂකයෝ සිය අධ්යයනයහිලා කියා සිටිති. මෙය Behavioral Ecology සඟරාවේ 2017 පෙබරවාරි 28 දා කලාපයේ පළවිය.
කෙසේ වෙතත්, පැන්ඩාගේ හිසේ කළු ලප (ලකුණු) ඇත්තේ විලෝපියන්ගෙන් ආරක්ෂාවීමට නොව ඒ වෙනුවට සංනිවේදනය සඳහා යයි පර්යේෂකයෝ සඳහන් කරති. උන්ගේ කන් වල කළු පැහැය විලෝපියන්ට එරෙහි ආක්රමණශීලිත්වය අනතුරු හැඟවීම උපකාරී වෙතැයි කැරෝ පෙන්වා දෙයි. එපමණක් නොව ඔවුන්ගේ ඇස් වටා ඇති කළු පැල්ලම එකිනෙකා හඳුනා ගැනීමට ඔවුනට උපකාරීවනවා සේම තරඟකාරී පැන්ඩාවරුන්ට එදිරිවාදිකම පෙන්වීමට ආධාර වේ.
‘‘අපේ කණ්ඩායමට ඉටු කරන්න සිද්ධ වුනේත් සුළු පටු කාර්යයක් නොවේය. සෑම ඡායාරූපයකම ප්‍රදේශ දහය බැගින් ඡායාරූප දහස් ගණන් තෝරා බේරා ගන්න වුනා’’ අධ්‍යයනයේ සම කතෘ ලෝන්ග් බීච්හි කැලිෆෝනීයා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා සහකාර මහාචාර්ය ටෙඞ් ස්ටැන්කොවිච් පවසයි. ‘‘සමහර වෙලාවට ‘පැන්ඩා කලුයි සුදුයි ම ඇයි?’ වගේ සරල ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න වුනත් පැය සිය ගණනක් වෙහෙස වෙලා කරුණු සොයන්න වෙනවා’’