විදු නැන නුවණ – Science Literacy for All

ලූණුවල සෞඛ්‍යමය අවදානම තව තවත් පර්යේෂණවලින් තහවුරුවෙයි

සෑම තේ හැඳි භාගයකම ලූණු, අකාල මරණයක අවදානමට සියයට 12ක් දායක වන බව අධ්‍යයනයකින් හෙළි වෙයි.

ලූණු වුවමනාවට වඩා ආහාරයට එක්කර ගැනීම හානිකර බව අපට සාම්ප‍්‍රදායානුකූල ඥානය පෙන්වා දෙයි. ඒ අධික ලූණු භාවිතය රුධිර පීඩනයට මග පැදිය හැකි නිසාවෙනි. වසර 25ක් තිස්සේ සිදු කළ නව අධ්‍යයනයක් දැන් පෙන්නුම් කරන්නේ ලූණු – ඔව් ඉතා ස්වල්ප ප‍්‍රමාණයක වුවත් ලූණු, අකාල මරණයකට ඇති අවදානම වැඩිකරන බවයි.

ඔබ දිනකට ලූණු තේ හැඳි එකහමාරක් ක් ආහාරයට ගන්නා අයෙකු යයි සිතන්න. එම ප‍්‍රමාණයට ඇබිත්තක්– අපි කියමු තේ හැඳි භාගයකටත් වඩා අඩු මිලිග‍්‍රෑම් 1000ක් ප‍්‍රමාණයකට දිනකට වැඩිපුර එක්කර ගැනීමෙන් ඔබ අකාලයේ මිය යාමට ඇති අවස්ථාව සියයට 12කින් වැඩිවන බව මෙම පර්යේෂණයෙන් හෙළිවෙයි. එපමණක් නොව ඔබ දිනපතා ගන්නා ලූණු ප‍්‍රමාණයට වැඩිකෙරෙන සෑම මිලිග‍්‍රෑම් 1000කට අකාල මරණ අවදානම 12% බැගින් වැඩිවේ.කෙසේ වෙතත් මෙම අධ්‍යයනයේ සතුටුදායක ආරංචි බිඳක් ද නැතුවා නොවේ. එනම් ඔබ පරිභෝජනය කරන ලූණු ප‍්‍රමාණය අඩුකිරීමෙන් ආයු කාලය දීර්ඝ වන බවයි. ලූණු ආහාරයට ගැනීම සීමා කිරීමෙන් අකාලයේ මිය යාමේ අවදානම 15%කින් අඩු වී යා හැකි බව අධ්‍යයනය පෙන්නුම් කළේය. කෙසේ වෙතත් මේ සොයා ගැනීම සංඛ්‍යා ලේඛනාත්මකව වැදගත් මට්ටමකට නොපැමිණි බව පර්යේෂකයෝ පවසති.

‘ඇමරිකානු හෘද සංගමය සහ එක්සත් ජනපද පෝෂණමය මාර්ගෝපදේශ(American Heart Association and the U.S. Dietary Guidelines) දක්වන අන්දමට සෝඩියම් ක්ලෝරයිඞ් අඩු මට්ටමකින් පරිභෝජනය කිරීම රුධිර පීඩනය අඩුකිරීමට හෘද රෝග අවදානම අඩුකිරීමට මෙන්ම අපර වශයෙන් සිදුවන මර්ත්‍යතාව (මැරෙන බව) අඩුකිරීමට ද ඉවහල් වේ’යයි අධ්‍යයනයේ ප‍්‍රධාන පර්යේෂක නැන්සි කුක් කියා සිටියි. ඇය, බොස්ටන් හි මහජන සෞඛ්‍ය පිළිබඳ හාවඞ්  පාසලෙහි  වසංගතවේද (epidemiology ) මහාචාර්යවරියයි.

 

වසර 24 ක් තිස්සේ කුක් හා ඇගේකණ්ඩායම සිදුකළ පර්යේෂණයේ ප‍්‍රතිඵල අනුව හෙළි වන්නේ විශේෂිතව දිනකට තේ හැන්දකට (මිලිග‍්‍රෑම් 2,3000කට) අඩුවෙන් පරිභෝජනය කළ අය මිය යාමේ  අවදානම දිනකට තේ හැදි 1.5ක ලූණු පරිභෝජනය කරන අයට වඩා 25%කින් අඩු බවයි. ඇමරිකානු හෘදය සංගමය දක්වන  අන්දමට ඇමරිකානු ජාතිකයෙකු දිනකට පරිභෝජනය කරන ලූණු ප‍්‍රමාණයෙන් සාමාන්‍යය මිලිග‍්‍රෑම් 3,400කි. ‘අප පරිභෝජනය කරන ලූණුවලින් වැඩි ප‍්‍රමාණයක් එන්නේ සකස් කළ ආහාරවලින්. එවන් ආහාර බොහොමයක සෝඩියම් සංයුතිය ක‍්‍රමයෙන් අඩුකරන ලෙස  ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය (U.S. Food and Drug Administration)  නිර්දේශ කර ඇතැයි මහාචාර්යවරිය කියයි. ඇමරිකානු හෘදය සංගමය වර්තමානයේ නිර්දේශ කරන්නේ දිනකට ලුණු මිලිග‍්‍රෑම් 2,400 වලට  වඩා නොගත යුතු බවයි. එහෙත්, ප‍්‍රශස්ත මට්ටම ලෙස එම සංගමය දක්වන්නේ දිනකට පරිභෝජනය කෙරෙන ප‍්‍රමාණය මිලිග‍්‍රෑම් 1500ට නොවැඩි විය යුතු බවයි.

ලූණු පරිභෝජනය සහ මරණය අතර සම්බන්ධය විවාදාත්මක බව කුක් පෙන්වා දෙයි. ලූණු අධිකව පරිභෝජනය කිරීම අයහපත් ප‍්‍රතිඵල ගෙන එන්නක් බව පිළිගත් පොදුවේ කාරණාවක් බවට දැන් පත්ව තිබේ. එහෙත් ලූණු ඉතා අඩුවෙන් ගැනීම වාසිදායක ද යන්න ඒ ආකාරයටම පිළිගැනීමට ලක්වී නැත. එමෙන්ම ලූණු අඩුකිරීමෙන් රුධිර පීඩනය පහළ යන බව දන්නා කරුණක් වුවදඑහි ප්‍රතිපලයක් ලෙස  හෘද රෝග අඩුකිරීමට හා එමගින් මරණ සංඛ්‍යාව අඩුකිරීමට හේතුවන්නේද යන්න ගැන සමාජයේ එතරම් පැහැදිලි අවබෝධයක් නැතැයි ඇය පෙන්වා දෙයි.

නව අධ්‍යයනය, මේ දෙක අතර හේතුඵල සම්බන්ධතාවක් තහවුරු කර නැතත් අඩුවෙන් ලූණු පරිභෝජනය  සහ පසු කලෙක මර්ත්‍යතාව අතර ඍජු සම්බන්ධතාවක් ඇති බව එය පෙන්වයි. මේ අධ්‍යයනය සඳහා  සෞඛ්‍ය සම්පන්න අධික රුධිර පීඩනය හෝ හෘදයාබාධ නොතිබූ ගැහැනු පිරිමි යොදා ගැනුනු අතර ඒවායින් ඇතිවීමට ඉඩ තිබෙන බලපෑම අඩුකර පර්යේෂණය කිරීමට ඉන් මග පෑදින. ‘අපේ පර්යේෂණයේ ප‍්‍රතිඵල වඩාත් නිවැරදියැයි කුක් කියා සිටියි.

අධිරුධිර පීඩනය වැළැක්වීමේ පරික්ෂණ I සහ II(Trials of Hypertension Prevention I and II)  යනුවෙන් නම් කෙරුණු මේ නව අධ්‍යයනයේ අරමුණ වූයේ ලූණු භාවිතය අඩුකිරීමෙන් අධිරුධිර පීඩනය වළක්වාගත හැකි දැයි සොයා බැලීමය. I අදියර සඳහා පුද්ගලයින් 744 කු සහභාගි කරවා ගැනුනු අතර ඔවුනට රිසි පරිදි ලූණු ආහාරයට එක් කර ගැනීමට ඉඩ සලසිණ. II අදියර සඳහා පුද්ගලයන් 2400කට ආසන්න පිරිසක් සහභාගි කරගැනුණු අතර ඔවුන්ගේ ලුණු පරිභෝජනය සීමා කෙරිණ.

බටහිර (රටවල) බොජුන්, කලින් පිළියෙළ කල ආහාර, ශීත කළ ආහාර,  බෙහෙවින් සකස් කළ ආහාර, පෝෂණහීන ආහාර (කඩචෝරු), පහළ තත්ත්වයේ ආහාර ආදියෙන් සමන්විත වන අතර අතිරේකව එකතු කළ ලූණුවලින් ගහණ යයි නිව්යෝක් නුවර ලෑන්ගෝන් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ශායනික පෝෂණවේදී සමන්තා හෙලර් පවසයි. “මෙවන් ආහාර හෘද රෝග, අධිරුධිර පීඩනය, පිළිකාව, දියවැඩියාව, ස්ථුලතාව හා අනෙකුත් රෝග පිළිබඳ අවදානම වැඩිකරනවා. ඊට හේතු ගණනාවක් බලපානවා. ලූණු අධික වීම ඉන් එක හේතුවක්” යයි ඇය කියයි. ලූණු පරිභෝජනය මරණ අවදානම කෙරෙහි බලපාන අන්දම ගැන වඩාත් පැහැදිලි අදහසක් ලබා ගනු වස් අඩු මට්ටමේ පරිභෝජනය හා මධ්‍යම මට්ටමේ පරිභෝජනය සසඳමින් තවදුරටත් සසම්භාවී පාලිත(controlled),   ශායනික අත්හදා බැලීම් කළ යුතු යයි වෙනත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

WebMD News from Health Day වෙබ් අඩවියෙහි පළවූ   More Research Cites Salt’s Potential Health Risks යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: