විදු නැන නුවණ – Science Literacy for All

පිළිකාව පැතිරීම වැළැක්වීමට ඇස්පිරින් සමත්විය හැකියි

ලොව විශ්මයජනක ඖෂධයක් වේ නම් එය ඇස්පිරින් (aspirin = ඇසිටිල් සැලිසිල්ක්  අම්ලය) විය හැකියි. මුලින් විලෝ ගහේ පත‍්‍ර වලින් සකසා ගනු ලැබූ මෙම ඖෂධය ගෙදර දොර ඔසු අතර මුල් තැනක් ගනී. ඇස්පිරින් අපේ මතකයට එන්නේ ප‍්‍රධාන කොට වේදනා නාශකයක් ලෙස වුවද එය ආතරයිටිස් රෝගයේ සිට උණ රෝගය දක්වා විවිධ  රෝග තත්ත්වයන්ට ප‍්‍රතිකාර කිරීමට පමණක් නොව ආඝාතය (stroke), හෘදාබාධ සහ ඇතැම් ආකාරවල පිළිකාවන් ඇතුළු ලෙඩ රෝග වළක්වා ගැනීම ද පරම්පරා ගණනාවක් තිස්සේ යොදා ගත්තකි. ඇත්තටම මේ ඖෂධය කොපමණ නම් ජනප‍්‍රිය ද කියතහොත් ලොව පුරා වාර්ෂිකව පෙති බිලියන 120 ක් පමණ පරිභෝජනයට ගැනේ.

මෑත වර්ෂවලදී විද්‍යාඥයන් විසින් ඇස්පිරින් යොදා ගත හැකි තවත් ප‍්‍රයෝජනයක් සොයා ගෙන තිබේ : ශරීරය තුළ මුල් ගැටිත්තෙන් (initial tumor) හටගත්තාට පසුව පිළිකා සෛල සිරුර පුරා පැතිරයාම වැළක්වීමයි. මේ සම්බන්ධ පර්යේෂණ කටයුතු තවමත් නිමාවට පත්ව නැතත් දැනට සොයා ගෙන ඇති කරුණු අනුව හැඟවෙන්නේ දැනට ඇති පිළිකා චිකිත්සාවන්ට යම් කිසි දිනක සම්බන්ධ කළ හැකි ප‍්‍රබල එකතුවක් වීමේ අවස්ථාවක් ඇති බවයි.

කෙසේ වෙතත් සැමදෙනාම එක හා සමානව  මෙම ඖෂධයට ප‍්‍රතිචාර නොදක්වති ; සමහර අයට එය කෙළින්ම අන්තරයාකාර පවා  විය හැකිය. ඒ නිසා පර්යේෂකයන් උත්සාහ කරන්නේ දිගු කාලීනව ඇස්පිරින් භාවිතා කිරීමෙන් වැඩියෙන් ම වාසි සලසා ගත හැක්කේ කාටද යන්න නිර්ණය කිරීම පිණිස ජානමය පරීක්ෂණ වැඩි දියුණු කිරීමටය. ඇස්පිරින්වල පිළිකා නිෂේධන ගුණය ගැන සිදු කෙරෙන නවතම පර්යේෂණ එකී ප‍්‍රයත්නයන්ට මග පෙන්වන ආකාරයේ ප‍්‍රතිඵල ජනනය කිරීමට පටන් ගෙන ඇත.

ප්‍රොස්ටගැලැන්ඩින (prostaglandins) යනුවෙන් හඳුන්වනු ලබන හෝමෝන සමාන එක්තරා ද්‍රව්‍යයක නිෂ්පාදනය ඇස්පිරින් මගින් නිෂේධන  කරන බව පසුගිය ශත වර්ෂයේ දී පර්යේෂකයෝ පෙන්වා දුන්හ. මෙකී ප්‍රොස්ටගැලැන්ඩින් නිපදවන්නේ සිරුරේ කොයිබ ද යන්න  මත රඳා පැවතෙමින් ඒවා වේදනාව, ප‍්‍රදාහය(inflammation), උණ හෝ  ලේ කැටිගැසීමට  මුල පිරිය  හැකිය. මේ ස්වභාවික ප‍්‍රතිචාර සැමවිටම අවහිර කිරීමට පැහැදිලිවම කිසිවෙකුටත් අවශ්‍ය නොවේ. විශේෂයෙන්ම කැපුම්, තැලීම්, ආසාදන සහ අනෙකුත් තුවාල වලින් සුවවීමට ඒවා ශරීරයට උපකාරී වන හෙයිනි. එහෙත් සමහර අවස්ථාවල ඒවා ශරීරයට උපකාරී වනවා වෙනුවට වුවමනාවට වඩා (සිරුර තුළ) රැඳී සිටිමින් හානි පමුණුවයි. ඉතින් ප්‍රොස්ටගැලැන්ඩින අවහිර කිරීමෙන් ඇස්පිරින් වසරකට හෘදයාබාධ දහස් ගණන් වළක්වාලන අතර ඇතැම් විට සිරුර තුළ අර්බුද (tumors) හට ගැනීම ම වළක්වාලීමට සැළකිය යුතු දායකත්වයක් සපයයි. ඇස්පිරින් සිරුර තුළ ක‍්‍රියාකරන තවත්  ආකාරයක් පර්යේෂකයෝ වඩාත් මෑතක සොයා ගත්හ. එනම්, සිරුර පුරා පිළිකා සෛලවලට පැතිරීමට (ස්ථානාන්තරණයට  ) බාධා කිරීමේ හැකියාවයි. තේරුම් ගැනීමට මදක් අසීරු වුවත්, ඇස්පිරින් වල ප‍්‍රතිප‍්‍රදාහ ගුණ (inflammatory properties) මෙහිදී වැදගත් කාර්යයක් ඉටු කරන බවක් පෙනී ගියේ නැත.

ස්ථානාන්තරණය (Metastasis)  යනු තේරුම් කර දීමට තරමක් අපහසු සංකීර්ණ ක‍්‍රියාදාමයකි. ඊට පිළිකාමය ගැටිති සෛල සහ ඒවායේ ධාරකය අතර යම් ප‍්‍රමාණයක සහයෝගීතාවක් අවශ්‍යය. ශරීරයේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ආරක්ෂකයන්ට හසු නොවී සිරුර පුරා සැරිසැරීම පිණිස පිළිකාමය සෛල(malignant cells) මුල් ගැටීත්තෙන්(initial tumor) කැඩි රුධිර ධාරාවට ඇතුල්වීමට  අසල ඇති රුධිර සෞලයක බිත්ති හරහා ගමන් කළ යුතුය. සහ මේ ක‍්‍රියාදාමයෙන් දිවි ගලවා ගන්නා සෛල, ශරීරයේ අනෙකුත්  ස්ථානයක වෙනත් රුධිරවාහිනි බිත්ති හරහා ගොස් ජන්මලාභී මුල් පටකයට වඩා හාත්පසින්ම වෙනස් අවට ඇති පටකයකට  තුරුළුව වැඩෙන්නට පටන් ගනී.

ගැටිති සෛලවලට පැතිර යාමට ඉඩ දීමේදී පට්ටිකා සෛල ද (platelets) ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටුකරන බව බොස්ටන් හි කාන්තා  රෝහල් රුධිර විද්‍යාඥ එලිසබෙත් බැටිනෙල්ලි පෙන්වා දෙයි. රුධිරය කැටි ගැසීමට මුල පිරීමට ඇති ඒවායේ හැකියා ගැන පට්ටිකා සෛල වඩාත් ප‍්‍රසිද්ධයි. පිළිකාමය සෛල ප‍්‍රථමයෙන් රුධිරවාහිනි බිත්තිය ඔස්සේ එකතුවන පට්ටිකා වලින් එක්තරා රසායනික සංඥා අනුයුක්ත කරගනී. මෙකී       අරමුණු ගත කළ සංඥා, රුධිරවාහිනි බිත්තිය පසාරු කරගෙන රුධිර ධාරාවට රිංගාගෙන ඇතුළුවීම සඳහා පිළිකා සෛලවලට උපකාරී කරයි. අනතුරුව පිළිකා සෛල පට්ටිකා ආරක්ෂක ස්තරයකට වී වසන්ව සිටින්නේ ප‍්‍රතිශක්ති පද්ධතියේ ආරක්ෂක භටයන්ගෙන් සැඟව ගන්නටය. ගැටිති සෛල දුර ස්ථානයක දී රුධිර ධාරවෙන් ඉවත් වීමෙන් පසුව ඒවා සමග පැමිණි පට්ටිකාවලට නව රුධිර වාහිනි වර්ධනයට මුල පිරීමට මුල් වන වර්ධක සාධක නිපදවන්නට නියෝග කරයි. මේ වනවිට වැඩෙන්නට පටන්ගෙන තිබෙන ද්වීතියික ගැටිත්තට පෝෂක හා ඔක්සිජන් සපයන අත්‍යවශ්‍ය මාර්ගය එයයි.

මීයන් යොදා කළ පරීක්ෂණවල දී ඇස්පිරින් ලබා දුන් මීයන් වර්ගයකට පිළිකාමය සෛල එන්නත් කළ විට හොරෙන් පැන ගත් පිළිකා සෛල සඟවා ගැනීමට හෝ පිළිකා සෛල වර්ධනයට ඉඩදෙන වර්ධනක සාධක නිපදවීමට හෝ පට්ටිකා ක‍්‍රියා කළේ නැත. මේ ආකාරයට ඇස්පිරින් දෙවිදිහකට පිළිකාව හා සටන් වදින බව පෙනේ : එහි ප‍්‍රතිප‍්‍රදාහ ගුණය(anti-inflammatory) ඇතැම් ගැටිති ඇතිවීමම වළකාලයි ; එමෙන්ම එහි ප‍්‍රති පට්ටිකා (antiplatelet) ගුණය ඇතැම් පිළිකා සෛලවලට පැතිරයාමේ හැකියාව අඩපණ කරයි.

කෙසේ වෙතත්, ජීවිත කාලයක නරක පුරුදුවල ඵලවිපාක ඇස්පිරින් වලින් ම මග හරවා ගත නොහැක. දුම්බීම අත්හැරීම (හෝ පටන් නොගෙනම සිටීම), පමණ දැන ආහාර ගැනීම, ශරීරිය සිහින්ව තබා ගැනීම, ශරීරය ක‍්‍රියාකාරීව තබා ගැනීම දිනපතා ඇස්පිරින් ගන්නවාට වඩා  හෘදයාබාධ හා පිළිකාව ඇතුළු සෞඛ්‍ය ගැටළු ගණනාවක්ම මග හරවා ගැනීමට ආධාර වේ. ඇස්පිරින් විශ්මයජනක ඖෂධයක් විය හැකිය ; එහෙත් එය කෝකටත් හරියන ප‍්‍රතිකාරයක් නොවේ.

Scientific American හි පළවූ  Aspirin May Prevent Cancer from Spreading, New Research Shows යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: