විදු නැන නුවණ – Science Literacy for All

පොලිතීන් දුෂණය පිටු දැකීමට ජෛව විද්‍යාත්මක පිළියමක්

මාළු ඇම ලෙස වානිජ මට්ටමෙන් විකිණීමට බෝ කරන දළඹු විශේෂයකට පොලිඑතිලින් ජෛවිහායනය() හෙවත් වියෝජනය කිරීමේ හැකියාව ඇති බව විද්‍යාඥයෝ සොයා ගනිති. පොලිඑතිලින් වඩාත්ම බහුල ලෙස යොදා ගන්නා ප්ලාස්ටික් වර්ගයයි. මේ අතරින් ‘‘සිලි සිලි’’ බෑග් “ෂොපින් බෑග්” ආදී ලෙස වඩාත් ප‍්‍රකට පොලිතීන් බෑග් ප‍්‍රධාන තැනක් ගනී. කානු, අගල් වැනි ජලප‍්‍රවාහන පද්ධති අවහිර කරමින් භාවිතා කර ඉවත දමන මේවායින් සිදුවන හානිය සුළු පටු නොවේ. මෙයට විසඳුම් වශයෙන් පොලිතීන් වියෝජනය කිරීමට සමත් දළඹු විශේෂයක් අහම්බෙන් සොයා ගැනීමට විද්‍යා පර්යේෂණ කණ්ඩායමක සාමාජිකාවකට හැකි වී තිබේ.

ස්පාඤ්ඤුයේ, කැන්ටැබ්‍රියා ජෛව වෛද්‍ය විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනයේ ෆෙඩරිකා බර්ටොචිනි විනෝදාංශයක් ලෙස මී මැසි පාලනයේ යෙදෙයි. ඇගේ මීවද වලින් පරපෝෂිතයන් ඉවත් කරමින් සිටින අතර වාරයේ ෆෙඩරිකා එහි සිටි දළඹුවන් තාවකාලිකව බහාලූයේ එදිනෙදා ජීවිතයේ භාවිතයට ගන්නා පොලිතීන් බෑගයකය. පසුව බලනවිට එම බෑගයෙහි හිල් සෑදී ඇති බව ඇයට පෙනී ගියේය. බෑගයට දමන ලද්දේ සුලභ කෘමියෙකු වන Galleria mellonella ගේ හෙවත් wax moth  මී ඉටි සලබයන්ගේ කීටයන්ය. මී ඉටි සලබයන් යුරෝපය පුරා මී වද වනසන්නෙකි. ඔවුන්ගේ දළඹුවන් (කීට අවස්ථාව) පරපෝෂිතයන් ලෙස මී වද තුළ වැඩෙති. සලබයන් මී වද ඉටිවල බිත්තර දමන අතර ඒවායින් පිටවන කීටයෝ වදය තුළ වර්ධනය වෙති.

බෑගයේ හිල් සාදන්නට ඇත්තේ දළඹුවන් බව තේරුම් ගත් ෆෙඩිරිකා, කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ ජෛව රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ පාවෝලෝ බොම්බිලි හා ක‍්‍රිස්ටෝපර් හෝව් යන සගයන් හා එක්ව පර්යේෂණයක් කිරීමට තීරණය කළාය. ඒ අනුව, සුපිරි වෙළඳ සැලකින් ගත් ප්ලාස්ටික් බෑගයකට ඉටි දළඹුවන් සියයක් පමණ දමනු ලැබීය. යාම්තම් විනාඩි 40 ක් ගතවෙද්දී බෑගයේ හිල් පෙනෙන්නට පටන් ගත්තේය. පැය දොළහකට පසුව බෑගයේ ප්ලාස්ටික් ස්කන්ධයේ මිලිග‍්‍රෑම් 92 ක අඩුවක් දක්නට ලැබිණ.

 

විද්‍යාඥයන් පවසන්නේ ජෛව විද්‍යාත්මක වියෝජන වේගය මෑතක සොයා ගනු ලැබූ වෙනත් ප‍්‍රයත්නයන්ගේ ජෛවිහායන හෙවත් වියෝජන අනුපාතයට වඩා බෙහෙවින් වේගවත් බවයි. බැක්ටීරියා යොදා ගෙන පොලිතීන් වියෝජනය කිරීම ගැන පසුගිය වසරේ දී වාර්තාව ආකාරයේ නව සොයා ගැනීම් වලින් වියෝජනය වන්නේ දිනකට මිලිග‍්‍රෑම් 0.13 වැනි තරමේ වේගයකින් පමණකි. ‘‘මෙම ක‍්‍රියාදාමයට වගකිව යුත්තේ එක් තනි එන්සයිමයක් නම් ජෛව තාක්ෂණ ක‍්‍රම යොදාගෙන මහා පරිමාණයකින් ප‍්‍රතිනිෂ්පාදනය කිරීමේ හැකියාව ඇතැයි’’ අධ්‍යයනයේ පළමුවැනි කතෘ කේම්බි‍්‍රජ් සරසවියේ බොම්බෙලි Current Biology සඟරාවේ පළ කෙරුණු වාර්තාවෙහි සඳහන් කරයි. ‘‘කුණු කසල දමා ඉඩම් ගොඩ කරන ස්ථානවල , දිය පහරවල, සාගරවල ආදී තැන්වල එක්රොක් වන පොලතීන් ඉවත් කර ගැනීමේ දී මේ සොයා ගැනීම වැදගත් මෙවලමක් විය හැකියි.’’

පොලිඑතිලීන් වැඩිකොටම භාවිතා කෙරෙන්නේ ඇසුරුම් (packaging) කර්මාන්තයේදී ය. යුරෝපය පුරා ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලූමෙන් සියයට 40 ක් පොලිඑතිලීන් සඳහාය. යුරෝපයේ ඉඩම් ගොඩ කිරීමේ දී සියයට 38 ක් සමන්විත වන්නේ ඉවතලන ප්ලාස්ටික්ය. සෑම වසරකම ලොවපුරා ජනතාව ප්ලාස්ටික් බෑග් ටි‍්‍රලියනයක් භාවිතයට ගනියි. පොදුවේ ගතහොත් ප්ලාස්ටික් බිඳ දැමීමට ඉතා අපහසුය. එසේ බිඳ දැවෙන විට පවා කුඩා කැබලි පරිසර පද්ධති හිර කරන්නේ, ඒවා දිරාපත් නොවන හෙයිනි. මින් ඇතිවන පරිසර හානිය අති විශාලය.

කෙසේ වෙතත් මේ තත්ත්වයට පිළියමක් ස්වභාවය (nature) මගින්  සැපයීමට ඉඩ ඇත. මී ඉටි කීටයන් වර්ධනයවන  මී වද ඉටි සමන්විත වන්නේ අතිශය විවිධත්වයකින් යුත් ලිපිඩ සංයෝග වලිනි : මේද, තෛල සහ ඇතැම් හෝමෝන ඇතුළුව සජීවී සෛලවල තැනුම් ඒකක අණු මගිනි. මී ඉටිවල ජෛවී වියෝජනය පිළිබඳ අණුක විස්තර ගැන තව දුරටත් කරුණු හැදෑරිය යුතු අතර පර්යේෂකයන් කියා සිටින්නේ සමාන ආකාරයේ රසායනික බන්දන බිඳ දැමීම,  මී ඉටි මෙන්ම  පොලිඑතිලීන් ජීර්ණය වීම හා සම්බන්ධ වන බවයි.  ‘‘මී ඉටි කියන්නේ බහු අවියවකයක් (polymer).  එක්තරා අන්දමක ස්වභාවික ප්ලාස්ටික්. එමෙන්ම එහි ඇත්තේ පොලිඑතිලීන් වලට අසමාන නැති රසායනික ව්‍යුහයක්” යයි ෆෙඩරිකා කියා සිටියි. අධ්‍යයනයේ ප‍්‍රධාන කතුවරිය ඇයයි. ප්ලාස්ටික් වල රසායනික බන්ධන බිඳ වැටෙන බව පෙන්වීම පිණිස පරීක්ෂකයෝ   වර්ණාවලීක්ෂ  විශ්ලේෂණයක් (spectroscopic analysis)සිදු කළහ. විශ්ලේෂණයෙන් පෙනී ගියේ දළඹුවන් විසින් බන්ධනය නොවූ ඒකවයවක අණු නියෝජනය කරමින් පොලිඑතිලීන්, එතිලීන් ග්ලයිසෝල් වලට(ethylene glycol) හරවන බවයි.  ‘‘පොලිඑතිලීන් ප්ලාස්ටික් වල බහු අවයවක දාමයන් දළඹුවන් විසින් ඇත්තටම බිඳ දමනු ලබනවා’’ ෆෙඩරිකා කියයි. ‘‘රසායනික බන්ධනය බිඳ දමන යමක් දළඹුවන් විසින් නිපදවනු ලබනවා. බාගදා ඒ ඔවුන්ගේ ඛේට ග‍්‍රන්ථිවල හෝ බඩවල්වල සිටින සහජීවී බැක්ටීරියා(symbiotic bacteria) මගින් විය හැකියි. අපගේ මීළඟ පියවර වනුයේ මේ ප‍්‍රතිචාරය තුළ අණුක ක‍්‍රියාදාමයන් හඳුනාගෙන බලපෑම ඇති කරන එන්සයිමය වෙන්කර ගැනීමයි.’’

ක‍්‍රියාදාමයේ අණුක විස්තර දැන ගැනීමට හැකිවෙන විට, එය පොලිඑතිලීන් කසළ කළමණාකරණය සඳහා කර්මාන්ත මට්ටමේ ජෛවී තාක්ෂණ පිළියමක් සැලසුම් කිරීමේ දී භාවිතා කළ හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ‘‘ප්ලාස්ටික් ඒකරාශී වීමේ අනිවාර්ය ප‍්‍රතිඵලයක් ලෙස අපේ සකල පරිසරයම ඇති විය හැකි විපතින් බේරා ගැනීමේ අරමුණින් ප්ලාස්ටික් කසළ ඵලදායී ලෙස ඉවත් කිරීමේ ක‍්‍රම ගැන සොයා බැලීමට අප සැලසුම් කරනවා.’’ ෆෙඩරිකා කියයි.

Phys.org හි පළවූ Caterpillar found to eat shopping bags, suggesting biodegradable solution to plastic pollution යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: