විදු නැන නුවණ – Science Literacy for All

සඳක් නොතිබුනා නම් මොකෝ වෙන්නේ?

 

යථාර්ථයත්, ප්‍රබන්ධයත් අතර ප්‍රතිපරිසිද්ධික(Counterfactual) ලෝකය

සඳ නොතිබුනා නම් මොකෝ වෙන්නේ? එහෙම වුණා නම් මුලින්ම කියන්න තියෙන්නේ අද රෑට (2017 මැයි 11 දා) අප හැමදෙනාටම වෙසක් සඳ බලන්න වෙන්නේ නැහැ. වෙසක් දිනට පමණක් නොවෙයි කිසිම පොහෝ දිනක චන්ද්‍රයා දැක බලාගන්න බැහැ. පොහෝ දින පමණක් මොකේ අනික් දිනවලටත් එහෙමයි. හැමදාම අමාවක. විදු ඇසින් බැලුවොත් ප්‍රතිපරිසිද්ධික තත්ත්වයන්  විද්‍යාත්මක සොයාගැනිමක තත්ත්වය  වගේම උනන්දුව දනවන සුළුයි. මන්ද කිවොත් දෙකටම විදු හුරු, බුද්ධිමය ප්‍රයත්න දැරිය යුතු නිසාවෙන්.

පෘථිවිය වටා කක්ෂ ගතව සිටින චන්ද්‍රයා කිසිදීනක සැකසී නොතිබුනේ නම් අපේ මේ මිහිතලය කෙබඳු වේදැයි ඇසීමෙන් මේ සාකච්ඡාව අරඹන්න පුළුවනි. විශ්වයෙහි  සිදුවිය හැකි  මෙවැනි වෙනස්කමක් අවබෝධ කර ගැනීමට චන්ද්‍රයා පැවතීම හේතුවෙන්  පසුගිය වසර බිලියන 4.5 ක තුළ පෘථිවියෙහි ඇතිවී  තිබෙන වෙනස්කම් සොයාබැලීම උපකාරී වෙන්න  පුළුවනි. 1897 දී ශ්‍රීමත් ජෝර්ජ් ඩාවින් පෙන්වා දුන් ආකාරයට චන්ද්‍රයා පෘථිවියෙන් සර්පිලාකාරව ඉවතට ඇදෙනවා. ඒ, චන්ද්‍රයා පෘථිවිය මත නිර්මාණය කරන සාගර උදම්වල බලපෑමෙන්. සඳ අපෙන් ඈතට යන බව 1969 ඉඳන් ගතවෙච්ච දශක කිහිපය තුළම යලි යලිත් ඔප්පුවී තිබෙනවා. 1969 දී ඇපලෝ 11  අභ්‍යාවකාශගාමින් සඳහා සඳ මත තබා ආ පරාවර්තක පෙළක් හෙවත් ආරාවක් වෙත පෘථිවියේ සිට යැවෙන ලේසර් කදම්භ පරාවර්තනය වී ආපසු පැමිණෙන වටගමනට ගතවන කාලය මැනීමෙන් විද්‍යාඥයන් නිර්ණය කරලා තියෙනවා චන්ද්‍රයා වසරකට සෙමි 3.83 කින් පමණ පෘථිවියෙන් ඈත්වෙනවා. මෙයින් අනික් පැත්තට ඔප්පුවෙන්නේ අතීතයේදී   පෘථිවිය හා චන්ද්‍රයා වඩාත් ළන්ව පිහිටා තිබු බවයි.

චන්ද්‍රයා පෘථිවියෙන් ආපස්සට යාමෙන් හඟවෙන්නේ චන්ද්‍රයා ශක්තිය වර්ධනය කරගන්නා බවයි. බෝලයක් උඩට යන්නේ ඊට ලැබෙන ශක්තිය මතනේ? චන්ද්‍රයාට මේ  ශක්තිය එන්නේ පෘථිවියෙන් — ඇත්තටම පෘථිවියෙ භ්‍රමණයෙන්. එත් අද පෘථිවිය භ්‍රමණය වෙන්නේ පෘථිවිය සැදෙන අවස්ථාවට වඩා සෙමින්. පෘථිවියෙ ශක්තිය හීනවෙන්නේ වේගයෙන් කරකැවෙන පෘථිවිය මත චන්ද්‍රයා උදම් ඇතිකිරීමෙන්. මේ උදම් ඇතිවෙන්නේ වස්තු දෙක අතර සෘජු රේඛාවක් දිගේ නොවෙයි.   ඒ වෙනුවට, චන්ද්‍රයාට ආසන්නම වඩදිය පෘථිවියේ භ්‍රමණය නිසා චන්ද්‍රයාට ඉදිරියෙන් ඇදෙනවා. අනෙක් අතට, එම වඩදියෙහි ජලය චන්ද්‍රයාගේ කක්ෂ ගත දිශාව දෙසට ගුරුත්වාකර්ෂණව චන්ද්‍රයා අදින්නේ   චන්ද්‍රයාට ශක්තිය ලබාදෙමිනුයි. හරියට අපි බෝලයක් නුලක ගැට ගහලා වටේට කරකවන කොට බෝලයට ශක්තියක් ලැබෙන්නා වගෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සර්පිලාකාරව චන්ද්‍රයා පිටතට ඇදෙයි. ඒ එක්කම පෘථිවියේ භ්‍රමණය ද හීනවන්නේ වඩදියෙහි ජලය හැ පෘථිවි කය අතර ඝර්ෂණය නිසයි.

පෘථිවිය තම අක්ෂය වටා මුලදී කොපමණ වේගයෙන් කරකැවුනේ ද යන්න තීරණය කල හැක්කේ චන්ද්‍රයා බිහිවන අවස්ථාවේ පෘථිවිය හා චන්ද්‍රයා කොපමණ ආසන්නයේ සිටියේද  යන්න මතයි. එම දුර තවම හරි හැටි දන්නේ නැහැ. මුල් කාලයේ පෘථිවිය වරක් කරකැවීමට පැය 5 සිට 10 කාලයක් ගත වෙන්නට ඇතැයි විද්‍යාඥයෝ ගණන් බල තියෙනවා, ජිහාඩ් ටවුමා සහ ජැක් විස්ඩම්  දක්වන අන්දමට මුල් කාලයේ පෘථිවි දවස පැය 5යි.

මේ කරුණු කාරනා සිතෙහි දරාගෙන දැන් අපි වෙනස් සෙනාරියක් ගැන බලමු. ඒ තමයි පෘතිය වටා කිසිදිනක සඳක් තිබුණේ නැති පරිදර්ශනය. එහෙම චන්ද්‍රයෙකු නොසිටියා නම් අපේ පෘථිවියේ භ්‍රමණය මන්දගාමී කරවන උදම් බලයක් ද තියෙන්න විදිහක් නැහැ. එත් පෘථිවියේ භ්‍රමණය මන්දගාමී කරවන තවත් උදම් මුලයන් මිහිතලය මත තියෙන්න පුළුවන් ද? උත්තරය ‘ඔව්’ යන්නයි. සුර්යයා සහ අනෙකුත් ග්‍රහයන්– විශේෂයෙන්ම බ්‍රහස්පති මෙහි උදම් ඇතිකරනවා. එත් ඒවායින් පමණක් පෘථිවියේ භ්‍රමණය මන්දගාමී වේද? මේ අර්ථයෙන් ගන්නා විට සුර්යයාගේ හැරුණු කොට අනෙකුත් වස්තුන් සියල්ලෙහි උදම් වැදගත් කමකින් යුක්ත නැහැ. අද පෘථිවිය මත උදම් වලින් තුනෙන් එකක්  බිහි කරන්නේ සුර්යයායි. එතකොට ගම්‍ය වෙන්න පුළුවන් චන්ද්‍රයා බිහිවුණායින් පසුවත් පෘථිවි භ්‍රමණය මන්දගාමී වීමට එම උදම් බලය හේතුවෙන්න ඇත කියා. එත් එය වැරදියි. පෘථිවියේ භ්‍රමණ ශක්තියෙන් වැඩි කොටස ඊට අහිමිවුණේ චාරුන චන්ද්‍රයා පෘථිවියට වඩාත් ලංව සිටි අවස්තාවෙයි. එහෙම ගත්තොත් චන්ද්‍රයෙකු  නොමැතිව පසුගිය වසර බිලියන 4.5 තුල සුර්යයා මිහිතලය මත ඇති කල උදම් හේතුවෙන් සිදුවුණු මන්දගාමි වීමෙන් අද දවසේ පෘථිවිය පුර්ණ වටයක් කරකැවීමට ගතවන කාලය පැය 7 සිට 12 කට වඩා වැඩිවෙන්න බැහැ .

සඳක් නොතිබුනා නම් මොකෝ වෙන්නේ? යන්න සලකා බැලීමේදී ඇතිවිය හැකිව තිබෙන එක බලපෑමක් ඉතින් මේ තමයි. හැබැයි ඉතින් මේ ප්‍රශ්නයට පිළිතුර වශයෙන් ඇත්තේ එකම උත්තරය මෙය නොවෙයි. තවත්  ඒවා අපි තවත් පුන්සඳ පායන දවසක කතා කරමු.

Scientific American හි පළවූ What If the Moon Didn’t Exist?: The Fun of Counterfactuals in Science ලිපිය ඇසුරෙනි

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: