විදු නැන නුවණ – Science Literacy for All

කෑමට ගත යුත්තේ කුමක්දැයි බඩවැල බැක්ටීරියා අපට කියන හැටි

කෑමට ඇති ආශාව යටපත් කිරීමෙන් හෝ උද්දීපනය කිරීමෙන් ක්ෂුද්‍ර ජීවීහු ශරීරයට ‘‘අවශ්‍ය’’ මොන ආහාර දැයි තීරණය කිරීම පිණිස මොළයට උදව් කරති. අපේ ආහාර ජීරණ පද්ධතිය තුළ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ තුළනය අප ආහාරයට ගන්නා දෑ අනුව වෙනස්විය හැකි බව විද්‍යාඥයෝ දශක ගණනාවක් තිස්සේ දැන සිටියහ. දවල් ආහාරය සඳහා තෝරා ගන්නේ සැන්විචයක් ද නැතහොත් යෝගට් එකක් ද යන්න අනුව  සමහර බැක්ටීරියා ගණන ඉහළ යා හැකි අතර තවත් සමහරක සංඛ්‍යාව හීනවිය හැකිය. එලෙස ඔවුන්ගේ සාපේක්ෂ සංඛ්‍යා වෙනස් වන විට ඒවා ස‍්‍රාවය කරන්නේ (එකිනෙකට) වෙනස් ද්‍රව්‍යයන්ය; ක‍්‍රියාකාරී කරවන්නේ වෙනස් ජානය; අවශෝෂණය කරගන්නේ වෙනස් පෝෂකය.

එමෙන්ම, එකී ආහාර තේරීම් අතර  අනොන්‍ය වශයෙන් සම්බන්ධතාවක් තිබිය හැකියි. බඩවැල් වල ජීවත්වන ක්ෂුද්‍ර ජීවීන් භෝජන හා චර්යාව මෙන්ම කාංසාව(anxiety), විෂාදය(depression), අධි-චිත්තවේගී ආතතිය හෙවත් අධ්‍යාතිය(hypertension) මෙන්ම තවත් අනෙකුත් විවිධ තත්ත්වයන් කෙරෙහි බලපෑම් ඇති කරයි. එසේ වුවද, සාමුහිකව ක්ෂුද්‍ර බියෝමය(microbiome) ලෙස හඳුන්වනු ලබන ටි‍්‍රලියන ගණන්වන මේ ක්ෂුද්‍ර ජීවීන් අප ආහාරයට ගන්නේ මොනවා දැයි යන්න ගැන අප ගන්නා තීරණ කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න අභිරහසකි.

දැන් මේ සම්බන්ධයෙන් යම් හෙළිදරව්වක් කර ගැනීමට නියුරෝන විද්‍යාඥයෝ සමත්ව සිටිති. සිය ආහාරවල අඩංගුව නැත්තේ කුමන පෝෂක දැයි ධාරක සත්වයාට සොයා ගැනීමට ආධාරවන එමෙන්ම ඉන් පසුව ධාරක සත්වයා ඇත්ත වශයෙන් ම එම පෝෂක වලින් කොපමණ ආහාරයට ගත යුතු දැයි සියූම්වඅනුමාපනය(titrate) කිරීමට ආධාර වන බඩවැල ක්ෂුද්‍රජීවී සුවිශේෂී වර්ග ඔවුන් විසින් සොයා ගෙන තිබේ. ‘‘වාහනයේ ටැංකියට තවත් පෙට‍්‍රල් එකතු නොකර වාහනයට කොපමණ දුර යා හැකි දැයි මැන බලනවා වගේ වැඩක් තමයි කුසගින්න වෙනුවෙන් බැක්ටීරියා ඉටු කරන්නේ ’’ අධ්‍යනයේ ජේ්‍යෂ්ඨ කතෘ කාලෝස් රිබෙයිරෝ කියයි. හෙතෙම Drosophila melanogaster නම් පළතුරු  මැසි වර්ගයේ ආහාර චර්යා ගැන අධ්‍යයනයක නිරතව සිටියි. මේ මැසි වර්ගයේ පෝෂණ තීරණ කෙරෙහි ක්ෂුද්‍ර ජීවී බියෝම කොතරම් බලපෑමක් කෙරෙන්නේ ද යන්න ගැන රිබෙයිරෝ සහ කණ්ඩායම PLoS Biology සඟරාවේ පළ වූ වාර්තාවක් මගින් විස්තර කර දී ඇත.

මේ පරීක්ෂාව සඳහා ඔවුන් පළතුරු මැසි වර්ගයක කණ්ඩායම් තුනකට වෙන්කර එක කණ්ඩායමකට අවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ල ද දෙවැනි කණ්ඩායමට සමහරක් ඇමයිනෝ අම්ල ද තුන්වැනි කණ්ඩායමට ඇමයිනෝ අම්ල නොමැතිවම ද  ආහාර වේල් ලබා දුනි. පැය 72 කට පසුව මොවුන් සියල්ලටම ඔවුන්ගේ සාමාන්‍ය සීනිමය සාන්ද්‍රණය සමග ප්‍රෝටීන් සරු යීස්ට් සැපයනු ලැබීය. පෝෂණයේ අඩුව සපුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල රහිත ආහාරය ලැබූ මැසි පිරිස යීස්ට් සඳහා තදබල ආශාවක් පෙන්නුම් කළහ. එහෙත් එම මැස්සන්ගේ බඩවැල සිටින Lactobacillus plantarum, L. brevis, Acetobacter pomorum, Commensalibacter intestini සහ  Enterococcus faecalis යන බැක්ටීරිය පස්   වැඩිකළ විට වැඩියෙන් ප්‍රෝටීන ලබා ගැනීමට තිබූ තදබල ආශාව ඔවුන්ගෙන් පහව ගියේය. මේ මැස්සන්ට අවශ්‍ය පෝෂකය නොලැබුණේ වී නමුදු බඩවැල බැක්ටීරිය පරිවෘත්තීජය(metabolites) රසායන නිපදවමින් ඇමයිනෝ අම්ල නැතුවාට වගක් නැත යන පණිවුඩය ධාරක සත්වයාට දෙන්නට ඇතැයි පර්යේෂකයෝ අනුමාන කරති. ක්ෂුද්‍රජීවින්ගේ මෙම  රැවටිල්ලෙහි ප‍්‍රතිඵලයක් ලෙස මැස්සන්ට අඛණ්ඩව ප‍්‍රජනනය කිරීමට හැකිවේ. ‘‘මොළය විසින් පෝෂණ තොරතුරු වල මෙම සමථය නැතිනම් තුලනය හසුරුවන ආකාරය ඇත්තටම සිත වසඟ කරන සුළුයි. ඒ වගේම (ධාරක) සත්වයා කළ යුත්තේ කුමක්දැයි දැනුම් දීමේ දී ක්ෂුද්‍ර ජීවී බියෝම වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බව අපේ අධ්‍යයනය පෙන්වා දෙනවා.’’ යයි රිබෙයිරෝ පවසයි.

ක්ෂුද්‍ර ජීවීන් සහ (ඔවුන්ගේ) ධාරකයන් සහ-පරිණාමය(coevolution) පිළිබඳ නව දැක්මක් හෙවත් පර්යාලෝකයක් මෙම අධ්‍යයනයෙන් එක්වෙයි. ‘‘මෙම සොයා ගැනීම් වලින් (ප‍්‍රධාන) කාරණා දෙකක් පෙන්නුම් කරනවා. සත්වයින් සහ ඔවුන්ගේ බඩවැල් වල ලැගුම්ගෙන සිටින බැක්ටීරියා අතර සුවිශේෂී ගමන් මගක් සහ-පරිණාමය වී තිබීම සහ ආහාරය ගැන පහළ සිට ඉහළට සංනිවේදනයක් සිදුවන බව එම කාරණායි’’ ජේන් පොස්ටර් නැමැති මෙම අධ්‍යයනයට සහභාගී නොවූ, ඔන්ටාරියෝ හි මැක්මාස්ටර් විශ්ව විද්‍යාලයේ නියුරෝන විද්‍යාඥවරියකි. මෙකී සංනිවේදන යාන්ත‍්‍රණය කුමක්දැයි නිශ්චිතව අධ්‍යයනයෙන් දැක්වුනේ නැති වුවද, රිබෙයිරෝ අදහස් කරන්නේ එය විවිධ ස්වරූප ගත හැකි බවයි. අධ්‍යයනයෙන් මතුවන ප‍්‍රබල සාක්ෂිවලින් හැඟවෙන්නේ ක්ෂුද්‍ර ජීවීමය හටගන්නා පරිවෘත්තිකයන් බඩවැලෙහි සිට මොළය දක්වා තොරතුරු ගෙන යමින් ධාරක සත්වයාට අවශ්‍ය සුවිශේෂී ආහාර වර්ග මොනවාදැයි දක්වන බවයි. “මිනිස් අපට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නිපදවීමට ඇති හැකියාව අහිමි වී ගියේ මන්ද යන්න පරිණාමීය වශයෙන්  මහා අභිරහසක්,” රිබෙයිරෝ පෙන්වා දෙන අතර “මෙකී පරිවෘත්තිකයන්, මෙකී පෝෂක වලින් ස්වාධීන වීමටත් ඇතැම් අවස්ථාවල ඒවා නැතුව ක‍්‍රියා කිරීමටත් හැකියාව සතුන්ට ලබා දෙන්නට ඇතැ” යයි  කියයි. මොළය සමග සංනිවේදනය සඳහා ක්ෂුද්‍ර ජීවීන්ටම විශේෂ වූ පරිණාමීය හේතූන් තිබිය හැකි බව ඔහු පෙන්වා දෙයි. ඒවා ධාරක සත්වයා ආහාරයට ගන්නා දෙයම අනුභව කරති; ඒවාට පැතිරීමට සුදුසු වාතාවරණයක් ද ධාරකයන්ගෙන් බලාපොරොත්තු වේ. පර්යේෂණ,  දැනට සතුන්ට සීමා වුවත් බඩවැල හා මොළය අතර සන්නිවේදනය මතු දවසේ මිනිසුන්ට ප‍්‍රතිකාර කිරීමේ ක‍්‍රියාමාර්ග වලට මග පෑදිය හැකි යයි රිබෙයිරෝ කියා සිටියි.

Scientific American හි පළවූ How Gut Bacteria Tell Their Hosts What to Eat යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: