මහා පිපිරුමේ සිට වත්මන දක්වා මානව වංශ කතාව

Posted by

මානව වර්ගයාගේ සම්භවය පිළිබඳව පහසුවෙන් අවබෝධ කරගත හැකි සංසක්ත කතන්දරයක් ගොඩ නැගීම මීට දශක කිහිපයකට පෙර නම් අසීරු කාර්යයක් විය. එහෙත් එය ඉටු කිරීමට හැකිවීම නූතන විද්‍යාවේ නිහඩ ජයග‍්‍රහණයකි. තාරක විද්‍යා භෞතික විද්‍යාවේ, පරිණාමීය ජීව විද්‍යාවේ, අණුක ජාන විද්‍යාවේ, භූ විද්‍යාවේ මෙන්ම පුරා මානව විද්‍යාවේ  නව සොයා ගැනීම් හමුවේ මහා පිපිරුම (ලෙස හඳුන්වනු ලබන විශ්වයේ සම්භවයේ) සිට ආරම්භ වන අඛණ්ඩ කතන්දරයක් ඉස්මතු වී ඇත. එම සම්භව සිද්ධිය ඇති වී වැඩි කලක් නොගොස්,  එනම් විශ්වය වසර 380,000 වයස් ගත වූ තැන එය කෙල්වින් 3,000 ක් (ෆැරන්හයිට් අංශක 4,940 ක්) පමණ දක්වා සිසිල් විය. එම උෂ්ණත්වය, ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටීන් වෙත ඇදී අතිශය සැකෙබුණු(highly excited) අවස්ථාවන්හි උදාසීන පරමාණුක ද්‍රව්‍ය සෑදීමට තරම් ප‍්‍රමාණවත් මට්ටමක සිසිල් වීමකි. මහා පිපිරුම සිදු වී වසර මිලියන 400 ක් පමණ ගිය තැන ප‍්‍රථම වරට න්‍යෂ්ටික වියලනය (හා වීම nuclear fusion) දල්වමින් හයිඩ‍්‍රජන් වළාවන් තාරකා බවට එකට බැඳීම ආරම්භ කිරීමට ගුරුත්වයට ප‍්‍රමාණවත් තරමට විශ්වය සිසිල්ව තිබුණි.

ප‍්‍රථම තාරකා බිහිවීම, විශ්වයේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් සලකුණු කළේය. ග‍්‍රහලෝක පද්ධති වටකර ගත් තාරකාවන් ගෙන් පිරි මන්දාකිණි සමගින් අද අප විශ්වය තුළ දකින ගති ලක්ෂණ විශ්වයට ඇතුල් වන්නේ එම ලක්ෂයේ සිට ඉදිරියටයි. සකල ලෝක ධාතුව(cosmos)තුළ තාරකාවෝ වඩාත්ම වැදගත් කාර්ය භාරයක් ඉටු කරති : ඒවා හයිඩ‍්‍රජන් වලට වඩා බැර මූල ද්‍රව්‍ය නිපදවයි; තමන්ගේ ප‍්‍රභවයෙහි ම කොටසක් ලෙස ග‍්‍රහලෝක නිර්මාණ කරයි; එමෙන්ම අපේ තාරකාව(සූර්යයා) අපේ ග‍්‍රහයා(පෘථිවිය)) වෙත සපයන ආකාරයට ඒවා (තාරකා) ග‍්‍රහලෝක වෙත ශක්තිය සපයයි.

ද්‍රව ජලය හා ජීවය පැවතිය හැකිවන පරිදි යෝග්‍ය තැනක පිහිටි(අපේ පෘථිවිය මෙන්)  කදිම, පාෂාණමය ග‍්‍රහලෝක සංවිධිතව පිහිටා තිබෙන වෙනත් තාරකා පද්ධති නිශ්චිතවම සොයා ගැනීමට තාරකා විද්‍යාඥයෝ තවමත් අසමත් වෙති. (exoplanets හෙවත් පෘථිවි සමාන බහීර් ග‍්‍රහයන් පිළිබඳ තතු නිතර ලිපි පළ කර ඇත. පිටුවෙහි උඩ අභ්‍යවකාශ ගවේෂණය ප‍්‍රවර්ගය ක්ලික් කර ලේඛනාවලිය පිරික්සා කියවන්න). ඇත්තටම අපේ පෘථිවි ග‍්‍රහයාට හිමි නියම ස්ථානය හෙවත් තත්ත්වය කුමක් ද?

මෙයට වසර කිහිපයකට පෙර (2013 නොවැ 26) පර්යේෂකයන් අපේ ක්ෂීරපාය  මන්දාකිණියේ පමණක් පෘථිවි සමාන ග‍්‍රහලෝක බිලියන 8 ක් හෝ බිලියන 9 ක් – ඒ කියන්නේ අපේ මන්දාකිණියේ තාරකාවලින් සියයට 5 ක් පමණ – ඇතැයි ගණන් බැලූ අවස්ථාවෙහි මාධ්‍යය මගින්  ඒ ගැන දැඩි උනන්දුවක් ඇති කළේය. මන්ද, පෘථිවියෙන් බාහිරව බුද්ධිමත් ප‍්‍රාණීන් සිටීමේ විභවය ඉතා ඉහළ නැංවෙන බැවිනි. එසේ වුවද, එවන් ජීවය හෝ ඒ පිළිබඳ නිශ්චිත සාක්ෂි පෘථිවියෙන් පිට මෙතෙක් ලැබී නැත. එහෙයින්, (මේ විශ්වය තුළ) පෘථිවිය කෙතරම් දුලබ හෝ සුලබ වස්තුවක් ද මානව වර්ගයා කොපමණ සුවිශේෂී ද යන්න ගැන තවමත් තීන්දුවක් දිය  නොහේ.

පෘථිවිය මත ජීවය පිළිබඳ පැරණිතම සාක්ෂි ලැබෙන්නේ ග‍්‍රීන්ලන්තයේ ඉසුආ (Isua) ප‍්‍රදේශයෙන් සොයාගනු ලැබූ පුරාණ පාෂාණවලිනි. ඒවා වසර බිලියන 3.85 ක් පැරණි යයි දින නිර්ණය වී ඇත. මේ පාෂාණවල අන්තර්ගතව ඇත්තේ ඇත්තම ක්ෂුද්‍ර ජීවීන්ගේ ෆොසිල නොවේ; එහෙත් ඒවා අන්තර්ගතව ඇත්තේ පාෂාණ වල රසායනමය වෙසෙසි  ලකුණු ලෙසය: එනම් අණුක ෆොසිල(molecular fossils) ලෙසය. මෙම පාෂාණ විශ්ලේෂණය කල කල්හී පෙනී ගිය කාරණාවක් වූයේ, (අතිරේක නියුට්‍රෝනයක් අඩංගු) කාබන් -13 සමස්ථානික හා සංසන්දනය කරද්දී සාමාන්‍ය මට්ටමට වැඩි මට්ටමක කාබන් -12 සමස්ථානික පැවති බවයි. සජීවීන් කාබන් (කාබන්ඩයොක්සයිඞ්= CO2 ලෙස) ඇතුළට ගනිද්දී ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ කාබන් -12 කෙරෙහිය. එම හේතුව නිසා අජීවීන් හා සැසඳීමේ දී සියළුම සජීවීන් සතුව කාබන් -12 අනුපාතිකව ඉහළ මට්ටමේ පවතී. ඉතින් ඉසුආ පාෂාණවල කාබන් -12 අනුපාතිකව ඉහළ මට්ටමේ පැවතීම පැහැදිලි කළ හැක්කේ ආදිකල්පිත ජීවය (එහි)පැවතියේ ය යන්නෙන් පමණකි. මෙයින් තේරුම් යන්නේ DNA හෝ යම් පූර්වගාමී අණුවක් එම ලක්ෂ්‍යයේ දී එකලස් වී ජීවයේ පරිණාමය මෙහෙයවමින් අනවරතව එහි ස්වයං අනුපිටපත් තැනීම(self-replication) ආරම්භ කළ හැකිව තිබූ බවයි.

එහි පැවැත්ම පිළිබඳ වඩාත්ම විශාල අර්බුදයට පෘථීවිය මත ජීවය මුහුණ දෙන්නේ මෙයට වසර බිලියන 2.5 කට පමණ පෙරය. ඒ කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමුඛ තත්ත්වයේ      සිට වායුගෝලය ඔක්සිජන් බහුල තත්ත්වයකට වෙනස්වීමත් සමගය. කාලයේ එම ලක්ෂ්‍ය තෙක් ජීවය යනු ප‍්‍රාග් න්‍යෂ්ටික හෙවත් බැක්ටීරිය වැනි වූ CO2 අතර ඒවා යහතින් වැජබිණ. එසේ වුවද, ප‍්‍රභාසංස්ලේෂණයේ යෙදෙන බැක්ටීරියා CO2 සියල්ල පරිහරණයට ගත්  අතර — එකී බැක්ටීරියාවලට විෂ සහිත වූ– ඔක්සිජන් (O2) නිපදවිය. අවසානයේ දී අනුෂාංගිකව ඔක්සිජන් වලින් වායුගෝලය පිරී ගියේය. මේ කාරණාවෙහි බරපතලකම තවත් දරුණු අතට යවමින් වායුගෝලීය CO2 පහළ වැටීමෙන් පෘථිවිය දැවැන්ත හිම මිදීමකට ඇද වැටුණේය.

Snowball Earth

මෙය හඳුන්වනු ලබන්නේ ‘හිම බෝල සිද්ධිය’ (Snowball Earth Event) ලෙසටය. මෙහිදී සමකය ආසන්නයේ කොටසක් හැරුණු කොට සමස්ත පෘථිවියම ඝන අයිස් තලාවලින් (sheets of ice) වැසී ගිය අතර අඳුරු සාගරවල ජිවය නෂ්ටප‍්‍රාප්ත වීම ආසන්නයට පැමිණියේය.

එසේ වුවද, මේ දෙබිඩි අර්බුදයෙන් පසුව නව එමෙන්ම වඩාත් සංකීර්ණ ජිව ස්වරූප පැන නැංගේය : එනම් සුන්‍යෂ්ටිකයන්ය(Eukarya).  ඇමරිකානු පරිණාමීය න්‍යායවේදී, ජෛව විද්‍යාඥ ලින් මාගුලිස් 1967 දී ප‍්‍රථම වරට නව අදහසක් ඉදිරිපත් කළාය. ඇතැම් ප‍්‍රග්න්‍යෂ්ටික ජීවීන් එකට එක්ව සහයෝගීතා ක‍්‍රියාදාමයකට පිවිසීමෙන් හිම බෝල පෘථිවි අර්බුදය ජයගෙන පැවතීමට ආධාර වූ බව ඇය හඳුනා ගත්තාය. ඈ මේ ක‍්‍රියාදාමය නම් කළේ අන්තඃසහජීවිතාව (endosymbiosis) යනුවෙනි. සත්ව සෛලවල  මයිටොක්‍රොන්ඩියා සහ ශාක සෛලවල හරිතලව(chloroplasts),  සුන්‍යෂ්ටිකමය ඉන්ද්‍රයිකාවන් (organelles) ලෙස රාශි භූතවීමට පෙර කලක් තනි ජීවීන් වශයෙන් සිටින්නට ඇති බව අපි දැන් අවබෝධ කරගෙන සිටිනෙමු. තවද මේ ඉන්ද්‍රයිකාවන්, සුන්‍යෂ්ටිකයන් ලෙස කල්ගත කළ යුගයේ තිබූ ආදි ජෙනෝම(genome = ජීවියක ප‍්‍රවේණි ද්‍රව්‍ය) තවමත් පවත්වා ගෙන යන බවද දන්නෙමු. සුන්‍යෂ්ටිකමය ජීවය ඉස්මතුවීම මානවයන් ද ඇතුළුව පසුව පැමිණි ඉහළ ජීව ස්වරූප හට ගැනීමට දොර විවර කර දුන්නේය. අපෘෂ්ඨටවංශිකයන්(කොඳු නාරටි රහිත සත්ත්වයන්),  පෘෂ්ඨවංශිකයන් (කොඳු නාරටි සහිත සත්ත්වයන්), මෙයට වසර මිලියන සිය ගණනකට උඩ මිසෝසොයික සමයේ දී පෙරට ආ ඩයිනොසෝරයන් ඇතුළු උරගයන් ආදී වශයෙන් එන්ට එන්ටම වඩාත් සංකීර්ණ ස්වරූපවලින්  ජීවය පරිණාමය වන්නට විය.

වසර මිලියන 200 කට ආසන්න කාලයක් මුළුල්ලේ මෙලොව නතු කරගෙන සිටියේ ඩයිනොසෝරයන්ය. ඉන් අනතුරුව, හදිසියේම, මෙයට වසර මිලියන 65 කට පමණ පෙර ඔවුහු මිහිතලයෙන් අතුරුදහන් වූහ. අවසානයේ දී පර්යේෂකයන්ට යුකටාන් අර්ධද්වීපයේ චික්කුලබ්  අසල (යමක් පෘථිවිය හා ඝට්ටනය වීමෙන් ඇති වු)  ආවාටයක් හමුවිය. එය ඩයිනොසෝරයන්, මෙන්ම මහ පොළොව මත බොහොමයක් ජීවිය නෂ්ටප‍්‍රාප්ත කළ කාල වකවානුවට පමණ අයත් එකකි. පසුව සිදු කළ පර්යේෂණයන්ගෙන් හෙළි වුනේ ආවාටය නිර්මාණය වීමට මග පෑදු  ධුමකෙතුව හෝ ග‍්‍රහකයෙහි විශ්කම්භය කිලෝමීටර 10 සිට 15 ක් (සැතපුම් 6 සිට 9 ක්) පමණ වන්නට ඇති බවත් එය ඝට්ටනය වන අවස්ථාවේ පැ.කි.16,000 ක පමණ වේගයෙන් ගමන් කරන්නට ඇති බවත් එම සිද්ධිය බොහෝ විශාල ගිනි හට ගන්නට,  ගෝලීය වශයෙන් සීත සෘතුවක් ඇති කරන්නට මෙන්ම ගොඩබිම ශාක හෝ සත්ව බොහොමයක් මෙන්ම  මුහුදු ජීවය මුළුමනින්ම වාගේත් විනාශව යාමට මග පාදමිනි. කෙසේ වෙතත්, බිම හාරා ජීවත් වූ ලෝම සහිත කුඩා ක්ෂීරපායින් බොහොමයක් ව්‍යසනයෙන් ගැළවිණ. ඩයිනොසෝරයන් ලොව රජ කල සමයේ ඔවුන් මේ මිහිතලය මත දිගටම ජීවත් වූයේ ඩයිනොසෝරයන් සෙවනැල්ල යට සැඟවී ගෙනය. එහෙත් ඩයිනොසෝරයන්ගේ අතුරුදන්වීමත් සමගම ඔවුහු වැජඹෙන්නට පටන් ගනිමින් ප‍්‍රමාණයෙන් විශාල වූහ. පෘථිවිය මත නව පාලකයන් බවට පත් වූයේ ඔවුන්ය. අන්තිමේ දී, ක්ෂීරපායි පරම්පරාව ප‍්‍රිමාවේස් බවටත් අනතුරුව මහා වානරයන් බවටත් ඊටත් පසුව හොමිනිඩායි  බවටත් අවසානයේ  මනුෂ්‍යයන් බිහිකළ හෝමෝ පරම්පරාව ලෙසටත් පරිණාමය වූහ. මෙයට වසර මිලියන 65 කට පෙර අහම්බෙන් සිදු වූ ධූමකේතු හෝ ග‍්‍රාහක සංඝට්ටනය  නොවන්නට මේ මිහිතලය මත මිනිසුන් ඇතිවේ දැයි යන්න සැක සහිතය.

මෙම ලිපියේ ඉතිරි කොටස හෙට තතු හි පළවේ. අර්ථලාභය සඳහා නොවරදවා කියවන්න.

 

Live Science හි පළවූ Humanity’s Journey, from the Big Bang to the Present ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.