විදු නැන නුවණ – Science Literacy for All

එකවර රෝග කිහිපයකට ඔරොත්තු දෙන ලෙස සෑදු නව වී ශාකයක්

 

සිය බෝගවලට හානි පමුණුවන වෛරස, බැක්ටීරියාමය හා දිළීර ආක‍්‍රමණිකයන් ගණනාවකට විරුද්ධව සටන් වැදීම පිණිස ගොවීහු නිරතුරුවම පළිබෝධ නාශක යොදා ගනිති. පලිබෝධ නාශකවලින් ඇතිවන අතුරු ආබාධ සැලකිල්ලට ගන්නා විද්‍යාඥයෝ වසර ගණනාවක් තිස්සේ වෙනත් කි‍්‍රයාමාර්ග සොයා ගැනීමෙහිලා වෙහෙසෙමින් සිටිති.  ඒ ක්ෂුද්‍ර ජීවීන් මාර්ගයෙන් ඇතිවන ලෙඩ රෝග පෙළකටම ඔරොත්තුදීමේ  හැකියාව ඇති (ප‍්‍රත්‍යස්තිථික), ජානමය වශයෙන් ව්‍යුහය වෙනස් කිරීමේ තාක්ෂණය යොදා ගනිමින් දැඩි ශාක සකසිමෙනි. මෙතෙක් දරා ඇති ප්‍රයත්න බොහොමයක් සාර්ථක වී ඇත්තේ එක් තනි රෝගයකට පමණක්  එරෙහිව  ඔරොත්තුදීමේ ශක්තිය ලබාදීමටය. එහෙත් දැන් විද්‍යාඥයන් විසින් ව්‍යාධි ගණනාවකට එරෙහිව සටන්වැදිය හැකි වී ශාකයක් නිපදවනු ලැබ තිබේ. වී අස්වැන්නේ අඩුවක් වීමක් නොමැතිව මේ හාස්කම සිදු කර ඇත්තේ සුසුර කළ හැකි (ඉතා කාර්යක්ෂම තත්ත්වයට ගෙන ආ හැකි) වර්ධනයක්, ශාකයේ ප‍්‍රතිශක්ති  පද්ධතියට මෑනීමෙනි.

“මේ ක්ෂේත‍්‍රයේ මෙතෙක් මා දැක ඇති වඩාත්ම බලාපොරොත්තු තැබිය හැකි පර්යේෂණ කි‍්‍රයාදාමයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවනි” යයි එක්සත් රාජධානියෙහි නෝවිච් හි සේන්ස්බරි පරීක්ෂණාගාරයේදී ශාකවල ආරක්ෂක යාන්ත‍්‍රණ ගැන අධ්‍යයනයක යෙදී සිටින ජොනතන් ජෝන්ස් පවසයි.

ප‍්‍රතිශක්ති සෛල සංසරණය කිරීම(එහා මෙහා ගෙනයාමට) උදෙසා රුධිර ධාරාවක් ශාක සතුව නැත. ඒ වෙනුවට ශාක. ක්ෂුද්‍රජීවීමය ආක‍්‍රමණයක් සංඥා කරන අණු හඳුනාගැනීම පිණිස ඒවායේ සෛලවල පිටතින් ඇති ග‍්‍රාහක යොදා ගනී. එසේ හඳුනාගැනීමෙන් පසුව ශාක ප‍්‍රතිචාර දක්වන්නේ ප‍්‍රතික්ෂුද්‍රජීවී සංයෝග කන්දරාවක් මුදා හරිමිනි. න්‍යායාත්මකව ගතහොත්, මෙකී ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාරයට මුල පුරන ජාන හඳුනාගෙන ඒවායේ කි‍්‍රයාකාරිත්වය එක්තැන් කිරමෙන් සුපිරි ප‍්‍රබල ශාක සෑදිය හැකි විය යුතුය.

ඩර්හැම් හි,  ඩියුක් විශ්වවිද්‍යාලයේ ශාක ජීව විද්‍යාඥ ෂිනියන් ඩොං මෙයින් එක් ජානයක් වසර 20 ක් මුළුල්ලේ අධ්‍යයනය කරමින් සිටින්නෙකි. ඈ මෙම ජානය හඳුන්වන්නේ  . ශාක ආරක්ෂාවේ  ‘ප‍්‍රධාන හෙවත් ගුරු නියාමනකයක්’(master regulator) ලෙසය. බහුලව අධ්‍යයනය කරනු ලබන thale cress plant (Arabidopsis thaliana) නම් කුඩා කේඩෑරී ශාකයේ NPR1 නම් මෙම ජානය වී, තිරිඟු, ඇපල්, තක්කාලි සහ තවත් ශාකවල ප‍්‍රතිශක්ති පද්ධතිය නංවාලීමට උත්සාහ දරන විද්‍යාඥයන්ගේ ජනපි‍්‍රය ඉලක්කයකි. එහෙත් එය ඉහළ දැමීම ශාකය විපතට ලක් කරන නිසා කෘෂිකර්මාන්තයේදී එතරම් ප‍්‍රයෝජනයක් නොවන බව ඩොං පෙන්වා දෙයි.

මෙය තේරුම් ගැනීම පිණිස මානව ප‍්‍රතිශක්ති පද්ධතිය කෙරෙහි සැලකිල්ල යොමු කිරීම ප්‍රයෝජනවත්ය.  උණ උත්සන්න වී අවස්ථාවක රෝගී පුද්ගලයෙකු වැඩ කරන විට ඵලදායිතාව අඩුවන ආකාරයටම, ශාකද ඒවායේ ප‍්‍රතිශක්ති පද්ධතියට වැඩි බරක් පැටවී ඇති  අවස්ථාවල වැඩෙන්නේ දුර්වල ආකාරයකිනි. ඒ ආකාරයට NPR1 ජානය නිරතුරුව ඉහළට තබා ගැනීමෙන් ශාකයේ වර්ධනය කොපමණ  අඩාල වන්නේ ද යත්  ගොවීන්ට අස්වැන්නක් ලබා ගැනීම අසීරුවේ.

NPR1 වලින් ප‍්‍රයෝජනයක් ගැනීමට නම් පර්යේෂකයන්ට වඩාත් හොඳ පාලක ස්විචයක් අවශ්‍ය වේ.  එනම්,  ශාකය පලිබෝධ ප‍්‍රහාරයකට ලක්වූ අවස්ථාවල පමණක් ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාරය පණගන්වන, එහෙත් අනෙක් අවස්ථාවල ශාකයේ වර්ධනයට ඉඩ හරිමින් NPR1 පහළට යවන ස්විච්චයක්. Nature  සඟරාවේ මැයි මැද  පළ වූ ලිපි දෙකක් මගින් එවන් යාන්ත‍්‍රණයක් සොයා ගැනීම මෙන්ම යොදා ගැනීමේ හැකියාව විස්තර කර ඇත. චීනයේ හුආෂොන්ග් කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් හා ඒකාබද්ධව ඩොං ප‍්‍රමුඛ ඩියුක් කණ්ඩායම ඒවා ඉදිරිපත් කර තිබේ.

ශාකවල ජානමය කි‍්‍රයාකාරිත්වයන් ගැඹුරින් අධ්‍යයනය කරමින් සිදු කරන ලද මෙම පර්යේෂණවල ප‍්‍රතිඵලයක් ලෙස නව වී ශාකය  නිර්මාණය කිරීමට හැකි වී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ,  ව්‍යාධි ජනකයන් පළවා හැරීමට හැකි වන සේ එකවර ප‍්‍රතිකි‍්‍රයා දනවන ආකාරයට ප‍්‍රතිශක්ති පද්ධතිය ප‍්‍රබෝධ කිරීමටත් කලින් ව්‍යුහමය වෙනස්කම් කළ අවස්ථාවන්හිදී මෙන් වර්ධනය මන්දගාමිත්වය ඇතිවීම වැළැක්වීමට හැකි වන අන්දමටත්  එවන් ප‍්‍රතිකි‍්‍රයා කෙටි වීමය.

අංගමාරය, කොළපාළුව වැනි ලෙඩ රෝග ගනනාවකට වී පැළ භාජනය කරමින් පර්යේෂකයෝ ව්‍යුහමය වශයෙන් වෙනස්කම් සිදු කළ විට  වී පැළ ඒවාට ඔරොත්තු දෙන ආකාරය ක්ෂේත‍්‍රයේදී ප‍්‍රදර්ශනය කළහ. මේ වී වර්ග කෙතේ දී හොඳින් වැඩෙන අතර  අස්වැන්නෙහි අඩුවක් නැතැ යි ඩොං කියා සිටියි.

“මේ පර්යේෂණ යම්කිසි දවසක සංවර්ධනය වෙන රටවල ගොවීන්ට ආශිර්වාදයක් වනු ඇතැ” යි උතුරු කරොලිනා විශ්වවිද්‍යාලයේ ශාක ප‍්‍රතිශක්ති විශේෂඥයෙකු වන ජෙෆ්  ඩැන්ගල් පවසයි. හෙතෙම පර්යේෂණයට සහභාගී නොවුවෙකි. නිදසුනක් දක්වතොත් කොළ පාළුව හේතුවෙන්  ලොව පුරා වී අස්වැන්නෙන් සියයට 30ක් පමණ අහිමි වෙයි. නව වී වර්ගයට ඊට සාර්ථකව මුහුණ දිය හැකි විය. රිචර්සයිඞ්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ශාක ජීව විද්‍යාඥ පුලියා බේලි-සෙරප් පෙන්වා දෙන්නේ භෝග ගණනාවකටම මෙම තාක්ෂණය පහසුවෙන් යොදා ගත හැකි බවයි. ඇයද අධ්‍යයනයට සහභාගි නොවුවෙකි. මහා  පරිමාණ පරීක්ෂණ මගින් නව වී ශාකයේ සවිමත් බව තවම තහවුරු කර නැතත් නව පර්යේෂණ විශාල බලපෑමක් ඇති කරතැයි  අපේක්ෂා කළ හැකිය යි ඇය කියයි.

කෙසේ වෙතත්, NPR1 මගින් ලැබෙන උත්තේජනයෙන් ශාක කා දමන කෘමින් ගෙන් ආරක්ෂාවක් ඇති වෙතැයි සිතිය නොහැක. අනික, මේ පර්යේෂණයේදී සොයා බැලූවේ සජීවී ධාරක සෛල පරපෝෂණය කරන ක්ෂුද්‍ර ජීවීන් කෙරෙහි වී ශාකයේ ප‍්‍රතිචාරයයි. ආහාරය සඳහා සෛල මරා දමන වෙනත් කාණ්ඩයක ව්‍යාධිජනක එරෙහි ඒවායේ ප‍්‍රතිරෝධයේ පරීක්ෂාවට ලක් කළ යුතුව තිබේ.

එහෙත් ජෝන්ස් කියන්නේ ආරම්භ කර ඇති පර්යේෂණ අන්තිමේදී පළිබෝධනාශක භාවිතය නතර කිරීමට ඉවහල්වනු ඇති  බවයි. තව අවුරුදු 50ක් ගිය තැන මගේ මුණුබුරන් ‘ජාන විද්‍යාව තිබෙද්දීත් ඒ කාලේ අය රෝග පාලනය සඳහා රසායනික භාවිතා කළාද?’ යනුවෙන් මගෙන් අහන අවස්ථාවක් දක්වා  අප මේ වෑයම ඉදිරියට ගෙන යා යුතු බවයි.

 

American Association for the Advancement of Science(AAAS) SCIENCE හි පල වූ Rice plant engineered with a ‘tunable’ immune system could fight multiple diseases at once   නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: