විදු නැන නුවණ – Science Literacy for All

ගංවතුර හටගැනීම ගැන විද්‍යාත්මක පැහැදිලිකිරීමක්

ජල ගැලීම දේව කෝපයක්, දේව ශාපයක් එසේත් නැතිනම් මිනිසුන්ගේ හෝ රටේ අවාසනාවට සිදුවන්නක් ලෙස සිතන්නට පුරුදුව සිටි කාලයක් ද පවතින. එහෙත් එය ස්වභාවික සංසිද්ධියක් ලෙස අද අප අතර බොහෝ දෙනා පිළිගනිති. ජල ගැලීම් නැතිනම් පිටාර ගැලීම් පිටුපස විද්‍යාව මේ ලිපියෙන් විමසා බැබලේ.

අප බොහෝ විට ගංවතුර ලෙස හඳුන්වනු ලබන පිටාර ගැලීමට බහුලව බලපාන සාධකය අධිකව වර්ෂාවයි. කෙසේ වෙතත්, පිටාර ගැලීමට තවත් හේතු ඇති බව දැන සිටීම වැදගත්.

වර්ෂාව පොළව මත පතිත වන විට එක්කෝ එය භූමියට කාන්දුවීම මගින් උරා ගනී. නැතහොත් භූමිය මතුපිටින් ගලා යයි( runoff = අපධාවය හෙවත් දිය දෝර). පස, පාරගම්‍ය නම් ඒ කියන්නේ කාන්දු වී ජලයට විනිවිද යාහැකි එමෙන්ම  ජල භරිතව (waterlogged) නොපවතී නම් එවිට,  (පතිතවන) වර්ෂාව පහළට වෑස්සී, භූගත ජල මට්ටම (underground water table) දක්වාම ගමන් කරයි.  භූගත ජල මට්ටම වශයෙන් සැලකෙන්නේ වැඩි කාලයක් ජලයෙන් සන්තෘප්තව හෙවත් පිරී පවතින පසෙහි කොටසයි. කෙසේ වුවද,  වර්ෂා පතනය වුවමනාවට වඩා වැඩිවන අවස්ථාවල භූමියේ මතුපිට (පෘෂ්ඨය) දක්වා ළඟාවෙන තුරු භූගත ජලමට්ටම ඉහළට නැගිය හැකිවේ. මේ අවස්ථාවට පැමිණියාට පසුව, මතුපිටට වැටෙන ජලය(වර්ෂණය) ඇතුළට යා නොහී මතුපිටම රැඳෙයි. සෑහෙන තරම් වර්ෂාව ඇති කල නැතිනම් කාලවල මෙම තත්ත්වය පිටාර ගැලීමට මග පාදයි. නිදසුනක් දක්වතොත්, අතිරේක ජලය ඒකරාශීවීමෙන් ප‍්‍රදේශයක ජලමාර්ගවල  ජලය ඉවුරුතලා පිටාර ගලයි. (දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල ඇති ගංවතුර තත්ත්වය ගැන සැලකිල්ල දක්වමින් මෙම කාරණාව ධාරණය කර ගැනීමට  උත්සාහ කළ හැකියි).

ආපධාවය හෙවත් දිය දෝර ගැන ඉහත සඳහන් කළෙමු. දිය දෝර ඇති වන්නේ වර්ෂා ජලය පසට කාන්දු නොවන විටයි. ඉහතින්ද දැක්වූ පරිදි භූමිය දැනටමත් ජලයෙන් සන්තෘප්තව ඇත්නම් පොළව මතුපිට දියදෝර ගලා යයි. එමෙන්ම, ජලය ඇතුළට කාන්දු වීමට නොහැකි ලෙසින් පාරගම්‍ය නොවන විට ද මෙය සිදු විය හැකිය. පාරගම්‍ය නොවන හෙවත් ඇතුළට කාන්දුවීමට නොහැකි තත්ත්වයක් පස ඉතා ඝනව පවතින විට හෙවත් තදින් අඩුක් වී තිබෙන විට ඇතිවේ. මතුපිටින් ගලා යන මේ ජලය හෙවත් දිය දෝර ගංගා ඇල දොල විල් වැනි යම් ජලමාර්ගයක්(a waterway) හෝ ජලකඳක් හමුවෙනතුරු හෝ පාරගම්‍ය පසක් සහිත ප‍්‍රදේශයක් කරා හෝ ගලා බසී.

දිය බෙත්ම යනු ගංගා, සාගර හා විල් වෙත ජලය බසින ස්ථානයි

පිටාර ගැලීම් වඩාත් බහුලව ඇතිවන්නේ ජල කඳන්වල ජලය උතුරා යාමෙනි. ගංගාවන්, ඇල දොළ,  ජලාශ හෝ විල් සහ අනෙකුත් ජලකඳන් අසල ප‍්‍රදේශ තමයි පිටාර ගැල්මේ බල පෑමට වඩාත් සුලබව හසුවන්නේ. ලෝකයේ බොහෝ තැන් දියබෙත්මෙන් (watersheds) වැසී ඇත. දිය බෙත්ම යනු ගංගා, සාගර හා විල් වෙත ජලය බසින ස්ථානයි. දොළ, ඔය වැනි කුඩා දිය පහර අතු ගංගා වෙත ගලා බසියි. ඒවා  ගලා බසින්නේ මහා ගංගාවලටය. ජලමාර්ග(waterways) බොහෝ විට භූගත ජලයෙන්ද පෝෂණය වේ. මේ දිය බසින ක‍්‍රම දිය බෙත්ම හෝ ගංගා ධරය හෙවත් ගංගා ද්‍රෝණිය(river basin) ලෙස දැක්වේ. සාමාන්‍යයෙන් පිටාර ගැලීම ඇතිවන්නේ,  බැස යාමට සැලැස්වීමට ඒවාට නොහැකි වන තරම්ම ජලය දියබෙත්මවලට පැමිණි විටය. එවිට දියබෙත්ම වටපිටාවේ ඇති ප‍්‍රදේශ ජලයෙන් යට කර දමයි. අධික වර්ෂාව,  දියබෙත්ම යටපත් කර ගනිමින් පිටාර ගැලීමට හේතු වෙයි.

පිටාර ගැල්මට පොදුවේ හේතුවන විවිධ වැහිකුණාටු(rain storms) වර්ග ඇත.  සෙමින් ගමන් කරන එක් තනි අකුණු කුණාටුවක් (thunderstorm) මගින් වුවත් සාපේක්ෂව කුඩා ප‍්‍රදේශයක් මත අති විශාල ජලප‍්‍රමාණයක් පතිත කළ හැකිය. ගංවතුර ඇති කිරීම හේතුවන  තවත් කුණාටු රටාවක් හැඳින්වෙන්නේ කෝච්චි පෙට්ටි පෙළ ගැස්වීම(‘training’) යනුවෙනි. දුම්රියක පෙට්ටි එකක් පසුව එකක් පැමිණෙන්නාක් මෙන් එකක් පසුව එකක් අකුණු කුණාටු පෙළට ඇතිවීම මෙයින් අදහස් කෙරේ. එකට එක් වූ විට එම කුණාටු පෙළ මගින් අති විශාල ජල ප‍්‍රමාණයක් පතිත කිරීමෙන් ගංවතුර ඇතිවේ. තවත් කුණාටු රටාවක් හැටියට ‘පසුපස ගොඩ නැඟීම’(back building) දැක්වීමට පුළුවන. මෙහිදී සිදුවන්නේ, කුණාටුවේ ඉදිරි කොටස ඉස්සරහට ඇදෙද්දී පසු කොටස හෙවත්  කෙළවර දිගටම වර්ධනය වෙමින් පැවතීමයි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ අතොරක් නොමැතිව දිගු කාලයක් වැසි වැසීමයි. කෙටියෙන් දක්වන්නේ නම් කෙටි කාල පරාසයක් තුළ සෑහෙන ප‍්‍රමාණයක වර්ෂාපතනයක් ගෙනෙන  ඕනෑම කුණාටු රටාවක් මගින් පිටාර ගැලීම් ඇති විය හැකියි.

පිටාර ගැලීම් ඇතිවීමට හේතුවන අනෙකුත් කුණාටු පද්ධති වන්නේ නිවර්තන වාසුළි සහ සැඩ කුණාටුය(tropical cyclones and hurricanes). සැඩ කුණාටු මගින් වෙරළබඩ ප‍්‍රදේශවල පිටාර ගැලීම ඇති කළ හැකිය. ඒ දැඩි සුළඟින් සාගර ජලය වෙරළට ගෙන ඒමෙනි. වෙරළබඩ පිටාර ගැලීම් භූ ගත භූමිකම්පා කි‍්‍රයාකාරිත්වය මගින්ද ඇති විය හැකිය. සුනාමි හානිය එවැන්නකි.

ශුෂ්ක කලාපවලට ද පිටාර ජල ගැල්මෙන් ප‍්‍රශ්න ඇති කරයි. ශුෂ්ක වියළි ප‍්‍රදේශවල පස බොහෝ විට තද වීම හේතුවෙන් ජලය උරා ගැනීම වළකී. එවිට වැසි වසින විට දිය දෝර ගලයි. මේවා තාවකාලික දිය මං ඔස්සේ ගලා බසියි. (තාවකාලික දිය මං, ලෝකයේ විවිධ රටවල විවිධ නම් වලින් හදුන්වනු ලැබේ).  එමගින් ක්ෂණික ගංවතුර ඇති විය හැකියි. කැනියම වල ඇතිවන ක්ෂණික ගංවතුර මාරාන්තික ප‍්‍රතිඵල ගෙන එයි.

මිනිසුන් විසින් තනන ලද වේලි කැඞීයාමෙන් හෝ ජලය රඳවාගෙන සිටීමට අපොහොසත් වීමෙන්ද පිටාර ගැලීම ඇති විය හැකිය. අතිවිශාල ජල ප‍්‍රමාණයක් ඉතා සුළු කාල පරාසයක් තුළ මෙමගින් මුදා හැරීමට පුළුවන. දෙදෙහසකට පමණ මරු කැඳවමින් 1963 ඉතාලි අල්ප්ස්හි, වෙයියොන්ට් වේල්ල(Vaiont Dam) බිඳීම හොඳම නිදසුනකි.

Vaiont Dam 1963

පිටාර ගැලීමට හේතුවන තවත් සාධක ලෙස අයිස්හිරවීම් (ice jams) සහ ඛාදනය(erosion) දැක්විය හැකිය. සීතල දේශගුණික තත්ත්වයක් යටතේ ශීත ඍතුවේදී දිය බෙත්මවල අයිස් ඒකරාශී වේ. මේවා වසන්තයේදී හා ගිම්හානයේදී දියවේ. එසේ දියවෙන අයිස්,  ජලමාර්ග ඔස්සේ කුට්ටි වශයෙන් පහළට ගලා බසිද්දී ජලමාර්ගයේ පටු තැන්වල හිරවිය හැකිය. ජල පහර හිරවීමෙන් පිටාර ගැලීම සිදුවේ. මිනිසුන් විසින් සාදන ලද වේලි, පාලම්වලද අයිස් කුට්ටි හිරවිය හැකිය.

Ice jams

ඛාදනයට ලක්වන පස් සේදී ගංගා පද්ධතියට එක්වෙයි. ගංගාවේ ජලය සෙමින් ගලා බසින තැන්වල මේවා තැන්පත් විය හැකිය. මෙලෙස ගංගාපතුලෙහි  පස් තැන්පත්වීමෙන් ගංගා ගැඹුර අඩුවී ඉවුර තලා පිටාර ගැලීමට ඇති ඉඩ කඩ වැඩි කරයි.

ජල ගැලීම යනු මහ ව්‍යසනයක්, රටක ජනතාවට ඉමහත් දුකට පත්කරුණක් ලෙස සැලකීම  බොහෝ රටවල පුරුද්දක්. ජල ගැලීම් හේතුවෙන්  ලොව පුරා මිලියන ගණනක් මරණයට පත්කර ඇති අතර ගේ දොර ඉඩ කඩම් භවබෝග, හා සතුන්ද විශාල සංඛ්‍යාවක් විනාශයට පත් කර තිබෙන බව ඇත්තකි. එසේ වුවද, ජලගැලීම්වලින් ජනතාව වාසි නොසැලසෙන්නේද නොවේ. ජලගැල්මෙන් සිදුවන ජීවිත හා දේපළ හානිය වැඩිවීමට හේතුව ගංවතුරට බඳුන් විය හැකි ප‍්‍රදේශවල විශාල ජනගහනයක් විසීමයි. එවැනි ප‍්‍රදේශවල ඒ සා විශාල පිරිසක් ජීවත් වන්නේ ජල ගැලීම පස සරුකිරීමට උපකාරී වී තිබීම නිසාවෙනි. පස සරුවන්නේ , ගංවතුර ගෙන එන රෙන් මඩ තැන්පත් වීමෙනුයි.  නයිල්. මිසිසිපි, ටයිග‍්‍රිස් – යුප‍්‍රටිස්, ඉන්දු-ගංගා, යැංසිකියැන් මිකොන්ග් සහ අනෙකුත් මහා ගංගා අසබඩ මහා ශිෂ්ඨාචාර ගොඩ නැගෙමින් විශාල ජනතාවක් පදිංචිව සිටින්නේ එහෙයිනි. පිටාර තැන්න සරුබැවින් යුක්තයි. එහෙයින් එහි පදිංචිව සිටින පිරිසද වැඩියි.

 

actforlibraries.org  වෙබ් අඩවියෙහි   පළවූ A Scientific Explanation of how Floods Occur යන ලිපිය ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: