විදු නැන නුවණ – Science Literacy for All

පුරාණ උල්කාෂ්මයක් වසර මිලියනයක් තිස්සේ පෘථිවිය මත පිපිරීම් ඇති කරයි

 

මෙයට වසර බිලියන දෙකකට පමණ පෙර පෘථිවිය මත ගැටුණු දැවැන්ත උල්කාෂ්මයක් විද්‍යාඥයන් කලින් සිතා සිටියාට වඩා වැඩි පිපිරීම් සහිතව  දිගුකාලයක් පැවති යමහල් විදාහරණයන්ට මඟ පාදා ඇති බව නව අධ්‍යයනයකින් හෙළිවෙයි. එම අධ්‍යයනයේ පර්යේෂකයන් කියා සිටින්නේ, මුල් අවස්ථාවේ පෘථිවිය උල්කාෂ්ම කඩාවැටීම් වර්ෂාවන් මගින් ප‍්‍රබල ලෙස පරිණාමයට ලක් කරන ආකාරය ගැන මෙම හෙළි දරව්ව යම් එළියක් විහිදුවන බවයි. උල්කාෂ්ම කඩා වැටීම හේතුවෙන් ලොව පුරා යෝධ ආවාට නිර්මාණය වී තිබේ. නිදසුනක් ලෙස මෙයට වසර මිලියන 66 කට ඩයනසෝර යුගය අවසන් කිරීමට හේතු විනැයි විද්‍යාඥයන් විශ්වාස කරන උල්කාෂ්ම ඝට්ටනය හේතුවෙන් ඇති වූ  ආවාටය ලෙස සැලකෙන  මැක්සිකෝවේ චීක්ෂේලූබ් නගරය අසල ආවාටය පළලින් කිලෝමීටර 180 කි (සැතපුම් 110 කි).

පෘථිවිය ට අමතරව සෞර ග‍්‍රහ මණ්ඩලයේ ඉතිරි වස්තුවල ද  මේ ආකාරයේ අති යෝධ ආවාට දැකිය හැකිය. ඝට්ටන කියා ඇති වූ මෙවැනි ආවාට ගැන මෑතක සිදු කල  අධ්‍යයනයන්වලින් පෙනී යන්නේ චන්ද්‍රයා මෙන්ම බුද, සිකුරු හා අඟහරු  ග‍්‍රහයන් මත ද   උල්කාෂ්ම ගැටීම් වලින්  යමහල්  කි‍්‍රයාකාරිත්වයට මුල පිරීමේ  හැකියාව දක්වන  බවයි. කෙසේ වුවද, වසර මිලියන ගණන් ගතවෙද්දී පෘථිවිය මත පුරාණ ඝට්ටන ආවාට බොහොමයක්  භූවිද්‍යාත්මක කි‍්‍රයාකාරිත්වය හේතුවෙන් මැකී ගොස් ඇත. උල්කාෂ්ම පාත්වීම් මගින් පෘථිවිය මත යමහල් කි‍්‍රයාවන්ට මුල පිරුවේ ද යන්න ගැන පර්යේෂණ පැවැත්වීම මේ හේතුව නිසා සීමාවිණැයි අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කර්තෘ බැල්ස් කැම්බර් සහ සගයෝ ප‍්‍රකාශ කරති. කැම්බර්, අයර්ලන්තයේ ඩබ්ලින් හි ටි‍්‍රනිටි විද්‍යාලයෙහි භූරසායනඥවරයෙකි.

යෝධ උල්කාෂ්ම මගින් පෘථිවි පෘෂ්ටය මත ඇතිවන බලපැම සොයා බැලීම පිණිස පර්යේෂකයෝ පෘථිවිය මත ඇති ආදිතම උල්කාෂ්ම ආවාටයක් වන කැනඩාවේ, සඞ්බරි ද්‍රෝණියේ වසර බිලියන 1.85 ක් පැරණි ආවාටය විශ්ලේෂණයට ලක් කළහ. මෙය තමයි පෘථිවිය මත වඩාත්ම සුරක්ෂිතව පවතින ආවාට අතුරෙන් මෙන්ම විශාලතාවයෙන් දෙවැන්න. එහි විෂ්කම්භය කිලෝමීටර 150 සිට 260 ක් අතර වේ(සැතපුම් 93-161) .  2015 වසරේ සිදු කළ අධ්‍යයනයකින් ඇස්තමේන්තු කළ අන්දමට එකී ආවාටය හට ගන්නට ඇත්තේ කිලෝ මීටර 15ක් පමණ පළල ධූම කේතුවකිනි.

සඞ්බරි ආවාටය පිර වූ කිලෝමීටර 1.5 ක ඝනකම පාෂාණ තට්ටුවේ සාම්පල නව අධ්‍යයනයට සම්බන්ධ විද්‍යාඥයෝ 2013 සිට 2014 දක්වා කාලය තුළ  එකතු කර ගත්හ. ආවාටයේ ස්ථාන 75කින් එකතු කර ගත් සාම්පල 139 ක් පරීක්ෂාවට ලක් කෙරිණ. ඔවුන් ඒවා විශ්ලේසණය කළ විට පෙනී ගියේ ධූමකේතුව ඝට්ටනයවීමේදී ඇති වූ තාපයෙන් උණු වී ගිය පාෂාණ පමණක් නොව ඒවායේ විසිරුනි යමහල් පාෂාණ ඉතා කුඩා කැබලි මෙම සාම්පලවල අඩංගුව තිබූ බවයි.  මේ යමහල් පාෂාණවල කකුළු අඬු සිහියට නංවන බෙහෙවින් කැපී පෙනෙන කෝණික හැඩ ඇති බව පර්යේෂකයෝ නිරීක්ෂණය කළහ. මේ හැඩ තල සෑදෙන ආකාරයඔවුහු  මෙලෙස පැහැදිලි කරති: “උණුවුණු පාෂාණවලදී වායු බුබළු ප‍්‍රසාරණයවීමෙන් පසුව විපර්යාසාත්මකව පුපුරා යනවා. මෙය, අයිස්ලන්තයේ ග්ලැසියරවල දැකිය හැකි මාදිලියේ  ජලය සම්බන්ධවී සිදුවන ප‍්‍රචණ්ඩකාරී විදාරණයන්ගේ අංගයකින්”.  මෙකී සඞ්බරි කෝණික යමහල් පාෂාණ හට ගත්තේ මුහුදු ජලය ආවාටයේ පතුලට ක‍්‍රමයෙන් හෝ ක්ෂණිකව ගලා ඒමෙන් බව ඔවුහු පෙන්වා දෙති.

An Image of the basin taken from Space Shuttle Challenger in 1984/1985. It is the second-largest known impact crater or astrobleme on Earth, as well as one of the oldest.

මීට අමතරව, ස්වභාවය අතින්  මෙම යමහල් පාෂාණ ශේෂයන්ගේ සංයුතිය වෙනස් වන බව පර්යේෂකයන්ට පෙනී ගියේය. සමහරක් උණු වූ කබොල්ලෙන් හට ගත් ඒවා වන අතර අනෙක් ඒවා හට ගෙන ඇත්තේ වඩා ගැඹුරින් පිහිටි මැග්මා මූලයකිනි. “මෙකී පාෂාණ නිර්මාණය කළ යමහල් කි‍්‍රයාකාරිත්වය කාලයත් සමගම වෙනස් වන්නට ඇති, ඒ කියන්නේ  ඒවා දිගු කාලයක් පවතින්න ඇති බවයි” කැම්බර් කියයි.

ඉතින් මේ උල්කාෂ්මවලින් මුල පිරුණ යමහල් කි‍්‍රයාකාරිත්වය කොපමණ කාලයක් පවතිනු ඇද්ද? “මට හිතෙන්නේ වසර මිලියනයක් උපරිම සීමාව  වෙන්න පුළුවන්” කැම්බර් පෙන්වා දෙයි,  “වසර සිය දහස් ගණන් යන්න වඩාත් සාධාරණ ඇස්තමේන්තුවක් මෙම සොයාගැනීමේ මූලාශ‍්‍රයේ පෘථිවිය පරිණාමය කෙරෙහි බලපෑම් කළ ආකාරය ගැන එළියක් සැපැයිය හැකියි”.

වසර බිලියන 3.8 සිට 4 දක්වා කාලයකට පෙර අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තර කොටස(inner solar system) විශ්වයෙන් කඩා වැටෙන වස්තුන් කන්දරාවකට මුහුණ දුන් බව අපි දන්නෙමු. මේවා රළ ආකාරයේ සිදු වුණි නම් අවසාන රැල්ලෙහි මුදුන පැමිණ කාලය හා පෘථිවියෙහි පැරණිතම පාෂාණවල කාලය සම්පාතවේ. “ඒත් ඒ පැරණි තම පාෂාණ,  මේ කඩාවැටීම් හේතුවෙන් යම් ආකාරයක හානියක් සිදුවී  තිබෙනවා. මිහිතලය මත මූලාකෘතික පාෂාණ පූර්ණ වශයෙන් ඇතිවීමේදී ප‍්‍රමාණවත් හානියක් සිද්ධ වන්නට ඇත්තේ මෙකී කඩාවැටීම්වලින් නොව එම කඩාවැටීම්වලින් මුල පිරුණු අතිරේක විදාරණයන් මූලාකෘතික පාෂාණ යටකරගෙන ඒවා නැවත ප්‍රාවරණය(mantle) වෙතට යවන්නට ඇති” යයි කැම්බර් කියයි.

පර්යේෂකයන් සොයා ගත් ආවාටයෙන් ගැඹුරු මැග්මා (ලෝදිය)  පැමිණියේ කබොල්ලේ ගැඹුරු තැනින් ද නැතහොත් පෘථිවි අභ්‍යන්තරයේ  කබොල්ල යටින්ම  ඇති ප‍්‍රාවරණ ස්ථරයෙන්ද යන්න ඔවුහු සොයමින් සිටිති. දැනට සිදු කර ඇති සොයා ගැනීම් Geophysical Research: Planets නම් සඟරාවේ අපි‍්‍රයෙල් 22 කලාපයේ විස්තර කර ඇත.

Live Science හි පළ වූ Ancient Meteor Strike Triggered Eruptions Lasting Up to a Million Years යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: