විදු නැන නුවණ – Science Literacy for All

අප දුක ශෝකය එළි දක්වන්නේ කෙලෙසද?

                   මේ ලිපියේ මුල් කොටස ඊයේ තතු හි පළවිය. කියවන්න.
දුක ශෝකය යනු විප්‍රයෝගය(loss) අත්දකින විට අප ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්නයි. දුක ශෝකය යනු විප්‍රයෝගය ගැන දක්වන සාමාන්‍ය, ස්වාභාවික සහ නොවැළැක්විය හැකි ප‍්‍රතිචාරයකි. ඉංගී‍්‍රසියෙන් grief යන වදනට සිංහල තේරුම වශයෙන් කනස්සල්ල, සන්තාපය,  වීස්සෝපය, ඛේදය ආදී වදන්වලින් ද  දැක්වෙන දුක ශෝකය සම්බන්ධයෙන් අප ක්‍රියා කරන ආකාරය අද ලිපියේ සලකා බලමු.

අප දුක ශෝකය  එළි දක්වන්නේ කෙලෙසද?

සැවොම දුක ශෝකය ට පත් වන්නේ තම තමන්ට ආවේනික විලාසයෙනි. දුක්වීමට නිවැරදි හෝ වැරදි හෝ යනුවෙන්  නිශ්චිත ක‍්‍රමයක් නැත. සමහරු තම දුක ශෝකය  හුදකලාව විඳ දරාගන්න  අතර ප‍්‍රසිද්ධියේ එය පෙන්වීමට අකමැති වෙති.  එහෙයින් අපේ ඇසට පෙනෙන  දෙයින්ම මිනිසුන් දුක් වන්නේ කෙලෙසද යන්න කිව නොහැකිය. හැඬු කඳුලෙන් කතා බහෙහි යෙදීමෙන් තම ශෝකය ප‍්‍රකාශ කිරීමට ඇතමෙක්  කැමැත්ත දක්වති. තවත් අප ඒ ගැන කතා බහ කිරීමෙන් වැළකී වැඩ කටයුතුවල නිරතවෙමින් තම දුක ශෝකය ගෙවා දමති. එකම පවුලේ සාමාජිකයන් වුවද එකිනෙකාට වෙනස් ආකාරයට දුක ශෝකය  දැක්විය හැකිය. මිනිස්සු දුක ශෝකය  පළ කිරීමේදී එක එක අවස්ථාවල එක එක ආකාරයට එය දැක්වීමට පුළුවන. ඒ කොයික වුණත්, එකිනෙකා දුක ශෝකය  පළ කරන ආකාරයට අන් අය ගරු කිරීම වැදගත් වේ.

තමන්ටම උපකාර කර ගැනීම

දුක ශෝකය වනාහී අඥාත ගමනාන්තයක් (දැනුමක්, තේරුමක් නොමැති තැනක්) දක්වා යන ගමනක් වැන්න. මතු දැක්වෙන්නේ,  තමුන්ට පාලනය කිරීමට හෝ සැලසුම් කිරීමට වරම් නැති ඒ අසීරු සමය ගෙවා දැමීමට උපකාරි වෙතැයි සැලකෙන උපදෙස් කිහිපයකි. එසේ වුව ද, තමන් දුක්වන්නේ  තමන්ටම ආවේනික වූ ක‍්‍රමයකට බව මතක තබා ගැනීම වැදගත්ය.

තනි පංගලමේ පෞද්ගලිකව ඔබේ සිතුවිලි හා හැඟීම් ඔබ්බටම තබා ගැනීමට සමහර විට ඔබ කැමැත්තක් දක්වනවා විය හැකියි:

  • ඉතා ඉක්මනින් නැතහොත් කලබලයෙන් බරපතළ තීරණ ගැනීමෙන් වළකින්න උත්සාහ කරන්න.
  • ස්මාරකයක් සිහිවටනයක් නිර්මාණය කරන්න. වියෝ වූ පුද්ගලයා වෙනුවෙන් ගෞරව දැක්වීමට යම් දෙයක් කරන්න. නැතිනම් යමක් තනන්න.
  • වියෝ වූ පුද්ගලයා හා කතා කරමින්, ඡායාරූප බැලීමෙන්, විශේෂ වූ තැන්වල සැරිසරමින් එම පුද්ගලයා සමග තිබූ සබඳතාව අඛණ්ඩව පවත්වාගෙන යන්න.
  • ඔබේම වතාවත් ක‍්‍රම පිළියෙල කරගන්න. ඉටිපන්දමක් දැල්වීම, විශේෂ සංගීතයකට සවන්දීම, සිතට නගා ගැනීම පිණිස විශේෂ තැනක් තනාගැනීම ඉන් සමහරක් වියහැකියි.
  • ඔබේ සිතුවිලි හා හැඟීම් තනිපංගලමේ ප‍්‍රකාශයට පත්වෙන්න ඉඩ දෙන්න. දින පොතක් තබා ගන්න. චිත‍්‍ර අඳින්න. ඡායාරූප එකතු කරන්න.
  • ව්‍යායාම්වල යෙදෙන්න. ඇවිදීම, පිහිනීම, ගෙවතුවැඩ මේ ආදී ඕනෑම දෙයක් වෙනුවෙන් ඔබ තුළ හිර වී ඇති ශක්තිය යොදාගන්න.
  • ප‍්‍රයෝජනවත් වෙතැයි සිතේ නම් ආගමික හා අධ්‍යාත්මික විශ්වාසයන් වෙත යොමුවන්න.
  • අන් අයගේ (මෙටන්)අත්දැකීම් ගැන පොත පත ලිපි සොයාගෙන කියවන්න.
  • භාවනාව, සම්භාහනය හෝ සගන්ධ චිකිත්සාව(aromatherapy=සගන්ධ ශාක සාර හා තෙල් යොදා කරන ප‍්‍රතිකාරය) වැනි ස්වයං සත්කාර ගැන සිතන්න.

අන් අය සමග – දුක ශෝකය  කැටුව එන හුදකලාවීමේ හැඟීම හා පාළුව තනිකම යන සංවේදන අන් අය සමග බෙදා හදාගත් කළ ඒවායේ අඩුවක් දැනේ.

  • ඔබට පිහිටවීමට අන් අයට ඉඩ දෙන්න – වෙනත් අවස්ථාවක තවත් කෙනෙකුට උපකාරී වීමට ඔබට හැකිවෙයි.
  • පවුලේ අය සහ නෑ හිතවතුන් සමග කතා බහේ යෙදෙන්න. මතකයන් හා හැඟීම් බෙදා හදා ගැනීම සැනසිල්ලක් ගෙන ඒමට හැකිවෙයි.
  • සහන සේවා සපයන කණ්ඩායමක් සමග එක්වීම ගැන සැලකිල්ල යොමුකරන්න.
  • දිගින් දිගටම දුකින්, සන්තාපයෙන් ගත කළ යුතුව යයි නොසිතන්න. ඔබ ආශා කරන දෙයක් කිරීමට සිතට සිතුනොත්, එවැන්නක් කිරීමට උත්සාහ කර බලන්න.
  • ඔබේ සුවිශේෂී තත්ත්වය ගැන අවධානය යොමු කරනු වස් උපදේශකවරයකුට කතා කරන්න.

අනුනට උපකාරිවිම

දුක ශෝකය හේතු කොට ගෙන ඇතිවන සන්තාපය, වේදනාව නැති කිරීමට වෙන කිසිවකුටවත් නොහැකිය විය හැකිය. එහෙත්, තමන් ගැන අනෙක් අය සැලකිලිමත් වන බව දැනගැනීම දුක ශෝකය ට පත් කෙනෙකුට සැනසිල්ලක් අස්වැසිල්ලක් විය හැකියි. සිදු වූ දෙය යළි සකස් කිරීමට ඔබට නොහැකි වුවත් උපකාරී වීමට ඔබට පුළුවන.

සන්තාපයට පත් අයට  උපකාර වීමේදී ඔබට වැදගත් විය හැකි කරුණු කිහිපයක්:

  • දිගටම සම්බන්ධකම් පවත්වාගෙන යන්න. හුදෙක් අසා සිටීම පමණක් සිදු කිරීමට වුව සූදානමින් සිටින්න.
  • ඔබ උනන්දුවක් දක්වන බව, ඔබ ඇත්තටම සැලකිලිමත් වන බව විවෘතවම පෙන්වන්න.
  • ප‍්‍රායෝගික විධිවලින් උදව් කරන්න.
  • වියොවෙන් සිදු වූ පාඩුව ගැන ඔබේ කම්පාව පළකරන්න.
  • වියෝ වූ පුද්ගලයා ගැන කතාවේ යෙදෙන්න. සංස්කෘතික වශයෙන් උචිත වේ නම් ඒ අයගේ නම ම සඳහන් කරන්න.
  • කුඩා ළමුන්, සීයලා ආච්චිලා, නෑ හිත මිතුරන් ඇතුළුව බොහෝ දෙනෙකුම සන්තාපයෙන් පසුවන බව මතක තබාගන්න.
  • ප‍්‍රථම අවස්ථාවේ ප‍්‍රතිචාරයක් නොමැති වුවද නැවතත් සබඳතා ඇති කර ගන්න. සමහර අවස්ථාවල කතා බහට මිනිස්සු කැමති අතර සමහර වෙලාවට අකමැත්තක් දැක්විය හැකි බව සිහිතබාගන්න.
  • මතකයන් මෙන්ම ‘ඔවුනට අදාළ’ අතීත කතා සිහිපත් කරන්න.
  • උපන් දින, මිය ගිය දින සංවත්සර සහ අනෙකුත් විශේෂ දින මතකයේ තබාගන්න. ඒවාට උචිත ආකාරයෙන් ප‍්‍රතිචාර දක්වන්න.

සමහර අවස්ථාවල උපකාරී නොවන දේවල් ද ඇත. ඒවා අතර:

  • දුක ශෝකය ට පත්ව සිටින්නන් මඟහැරීම
  • (දුකට පත් අයවළුන්ගේ) කෝපය තමන් වෙත පෞද්ගලිකව එල්ල වූවක් ලෙස සැලකීම. බොහෝ විට එවැනි කෝපය හුදෙක් වේදනාව හා ශෝකයේ ප‍්‍රකාශනයක් පමණකි.
  • ‘මං දන්නවා ඔයාට දැනෙන දේ’ යයි කීම – දැනෙන දේ දන්නේ යයි සිතුවත්, ඇත්තටම එකිනෙකා සිතන ආකාරය වෙනස්ය.
  • ‘දුක ශෝකය දරා ගැනීමට කිසියම් නිශ්චිත ආකාරයක් ඇත’ ඒ අනුව කි‍්‍රයා කරන්නැයි ඔවුනට කීම.
  • ඕනෑ කමින්ම මාර්තෘකාව වෙනස් කිරිම හෝ දුකින් තැවෙන අය ආයාසයෙන් කෘතීම ආකාරයට ප්‍රබෝධමත් කිරීමට(cheer up), සතුටු කිරීමට වෙර දැරීම.
  • වියෝ වූ පුද්ගලයාගේ නම ඔවුන්ට මතක් කිරීමෙන් වැළකී සිටීම පිණිස ඕනෑ කමින්ම එය සඳහන් කිරීමෙන් වැළකී සිටීම. ඒ නම ඔවුන්ට කෙසේ අමතකවේද? අප නම සඳහන් කළොත් පමණක් මතක් වෙනවා නොව නම නිතර ඔවුන්ගේ මතකයන් රැඳී පවතී.
  • වියෝව නිසා ඇති වූ යම් ‘වාසියක්’ (ධනාත්මක දෙයක්) ගැන සෙවීම
  • මිය ගිය අය වෙනුවට ඒ තැන ගත හැකි අයෙකු ගැන සඳහන් කිරීම(‘දැන් ඉතින් ඔයාට තමයි බර කරට අරගෙන කරන්න වෙන්නේ’ වැනි කියමන්).

විචාර බුද්ධියෙන් කටයුතු කරන්න. ඔබ අතින් වැරදි දෙයක් සිදුවුවහොත් සමාව ගන්න. දුක නිවීමට ඉදිරිපත් වී ඥාති මිත‍්‍ර සබඳතා පළුදු කර ගන්න එපා. දුක තුනී කිරීමට ඔබ ගන්නා වෑයම අසාර්ථක වුවත් මිනිහෙකු තවකෙකු වෙත දක්වන දයානුකම්පාවෙහි අගය අවතක්සේරු කරන්න එපා.

කරකියා ගත හැකි දෙයක් නොමැතිව අන්ද මන්ද ස්වභාවයකට පත්වීම

දුක ශෝකයට පත්වූ විට එවැනි අන්ද මන්ද ස්වභාවයකට පත්වීමේ අවස්ථා ඇතිවිය හැකිය. සමහර වෙලාවට ඔබට ආධාර පැතීමට සිදු වේ. උපදේශන සේවාව එවැන්නකි. සහන සත්කාරක සේවාවක පිහිට පැතීම තවත් විකල්පයකි. දුක ශෝකය  පිළිබඳව හැඟීම ජීවිතයේ සාමාන්‍ය නොවැළැක්විය හැකි කොටසක් විය හැකි වුවත් සමහරුන්ට එය දරා ගත නොහැකි මට්ටමකට දැඩි වේදනාකාරී වීමට ඉඩ තිබේ. එවැන්නකට බඳුන් වුවහොත් වෘත්තීය මට්ටමින් උපකාර ලබා ගත යුතු යයි නිර්දිෂ්ටයි.

වෘත්තීමය උපකාරය අවශ්‍ය බවට පෙන්නුම් කරන ඇතැම් ලකුණු අතර:

කිසිවක තේරුමක් නැතැයි කාලයක් තිස්සේ  පවතින දැඩි හැඟීම

අනිද්‍රතාව (insomnia=නින්දනොයාම) ඉහළ මට්ටමක පැවතීම.

පෙර පැවති සම්බන්ධතා පවත්වාගෙන යාමට නොහැකි වීම.

වියෝ වූ පුද්ගලයා කෙරෙහි දැඩි ආශක්ත බව.

තද බල විෂාදය(depression) හෝ කාංසාව.

තමන්ට හානි කර ගැනීමට හෝ අනුන්ට හානි කිරීමේ සිතුවිලි පහළවීම.

සහන සත්කාර කරන සේවාවක්(Palliative Care) ඔබට උපකාරි විය හැකිය. පවුලේ වෛද්‍යවරයාට ඔබව එවැනි සේවාවකට යොමු කළ හැකියි.

 

Palliative Care Australia වෙබ් අඩවියෙහි Understanding grief යන ලිපිය ඇසුරෙනි.   මේ ලිපියේ මුල් කොටස ඊයේ තතු හි පළවිය. කියවන්න.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: