විදු නැන නුවණ – Science Literacy for All

සම රැක බලාගන්නේ කොහොමද?

අපේ ශරීරයේ  විශාලතම  අවයවය හෙවත් ඉන්ද්‍රිය කුමක්ද? මේ ප‍්‍රශ්නය කිහිප දෙනෙකුගෙන් ඇසුවොත් පිළිතුරු කිහිපයක්ම ලැබුණත්, ඒවා අතරින්  බාගවිට නිවැරදි පිළිතුර නොලැබෙන්න පුළුවනි. සිරුරේ විශාලතම අවයවය අපේ සමයි. එය අපේ සිරුරේ පිටතින් කාටත් පෙනෙන අයුරින් පිහිටා ඇති හෙයින්, සම සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාමට පමණක් නොව හොඳ පෙනුමකින් තබාගැනීමද අපි උත්සුක වන්නෙමු. විශේෂයෙන්ම වයස කුමක් වුවත් කාන්තාවන් අපේක්ෂා කරන්නේ පැහැදිලි සුපිරිසිදු හා දිදුලන සමකි.

කෙසේ වෙතත්, බොහෝ දෙනා තම සම ගැන සැලකිලිමත්වීමේදී සිදු කරන වරදක් වෙන්නේ තමන්ටම ගැලපෙන සමට සත්කාර කරන චර්යා රටාවක් අනුගමනය නොකිරීමය. ඔබ සැලසුම් කර ගන්න සත්කාරක චර්යා රටාව වසරේ කාලය, ඔබේ වයස, සහ ඔබේ ජීවන රටාවට ගැලපෙන ආකාරයට වෙනස් විය යුතුය. තවද ඔබේ මිතුරිය හෝ සහෝදරියට සාර්ථක වන සත්කාරක ක‍්‍රමය ඔබගේ සමට අවශ්‍යයෙන්ම සාර්ථක නොවන්න පුළුවනි.

ඒත් ඉතින් මෙලෙස කියාපාද්දී ගාම්භීර බවක්, බරපතල බවක් දැනෙන්නට   පුළුවන් වුව ද, සමට සත්කාර කරන චර්යා රටාවක් සකසා ගැනීමට වැඩි කාල වේලාවක් හෝ විශාල  ප‍්‍රයත්නයක් අවශ්‍ය වන්නේ නැත. සුලූ පියවර කිහිපයක්  අනුගමනය කිරීමෙන් තමන්ටම ආවේනික හා  සාර්ථක වන සත්කාරක රටාවක් සකසා ගත හැකි අතර කාලය ගෙවී යද්දී ඔබේ ජීවන රටාවෙහි  හෝ ඒ වන විට ඔබේ සමට සත්කාර කිරීමට ඇතිවන  අවශ්‍යතාවල හෝ වෙනසක් වී ඇත්නම් ඊට ගැලපෙන ආකාරයට සුළු වෙනස්කම් සිදු කර ගත හැකිය.

වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්නා හැකියාවක් ඇත්නම්, සත්කාරක රටාවක් සකසා ගැනීමට  ප්‍රවේශයක් ලබා ගන්න හොඳම ක‍්‍රමය තමයි හමේ රෝග විශේෂඥයකු මුනගැසීම.  විශේෂයෙන්ම, (කුරුලෑ හෝ ඇක්නිය, අව් හානිය, අසාමාන්‍ය ලෙස සම වියලීම හෝ අනෙකුත් චර්ම රෝග තත්ත්වයන් ආදී වශයෙන්) ඔබට ඇත්තේ ගැටලූ සහිත සමක් නම් මෙසේ චර්ම රෝග  විශේෂඥයෙකු මුන ගැහීම වටනේය. මෙය සෑම දෙනාටම  දරාගත හැකි වියදමක් නොවන්න පුළුවනි. එහෙත් එසේ කිරීමේ වටිනාකම  ඉන් අඩු නොවේ. එවැන්නෙකුගේ උපදෙස් හා නිර්දේශ පදනම් කර ගනිමින් සමට සත්කාර සඳහා ඔබේම චර්යා රටාව සකස් කර ගැනීම හෝ අවශ්‍ය පරිදි  සංශෝධනය කර ගැනීම සිදු කළ හැකිවේ. වෙළඳ ප‍්‍රචාරයන්ට හසු නොවී නියම ප‍්‍රතිකාරයන්ට මෙයින් යොමු විය හැකි නිසා ඔබ අසීරුවෙන් උපයාගත් ධනය අපතේ යාම වැළකීම තවත් වාසියකි.

මූලික කාරණා ගැන සැලකිල්ල යොමු කිරීමෙන් මේ කි‍්‍රයාදාමය අරඹන්න. සෑම උදයකම ඔබ අවදි වූ විට සහ නැවත වරක් නින්දට යාමට පෙර මුහුණ සෝදන්න. මොනයම් හේතුවක් නිසාවත් මුහුණ ඔප දැමීමට යොදා ගත් ද්‍රව්‍ය ඉවත් නොකොට නින්දට යාමෙන් වළකින්න. සමේ සිදුරු වැසී තිබීමෙන් අයහපත් ප‍්‍රතිඵල ඇතිවිය හැකියි. හොඳින්(නැණවත්ව) ආහාර ගන්න. ව්‍යායාමයෙහි යෙදෙන්න. එමෙන්ම ප‍්‍රමාණවත් තරම් විවේක ගන්න. විෂ ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට මෙන්ම  සජලනය  සඳහා ප‍්‍රමාණවත් තරම් ජලය පානයට පුරුදු වෙන්න. පළතුරු හා එළවලූ වැඩිපුර ආහාරයට ගන්න. දුම්පානයෙන් වළකින්න. අකාලයේ සම වයසට යාමට එය හේතු වේ. දිනපතා සම පිරිසිදු කිරීමට අමතරව හිරුකිරණාවරණයක් ආලේප කිරීමෙන් අකාලයේ හම රැළි වැටීම මෙන්ම  ලප හා චර්ම පිළිකාවේ අවදානම අඩුකර ගත හැකිය.

සමට සත්කාර කිරීම පිණිස ඔබට සුවිශේෂී වූ චර්යා රටාවක් සකසා ගන්න. මේ වන විට විශේෂඥ උපදෙස් ලබාගෙන ඇති හෙයින් ඔබගේ සියලූ සෞඛ්‍ය පුරුදු ප‍්‍රශස්ත මට්ටමක ගෙන ඒමට හැකිවන පරිදි මෙම චර්යා රටාව හැඩ ගස්වා ගන්න.  සරල පවිත‍්‍රකාරකයක්(cleanser),  සමේ තත්ත්වය දියුණුකිරීමට ගන්නා  කසටමය ටෝනරයක්(pore-cleansing toner) හා  සමේ  වියළි බව අඩුකිරීමට ගන්නා මොයිස්චරයිසක්  හෙවත් තෙත්කාරකයක්(moisturizer) වුව වාසි සැලසේ.

සමට සත්කාර කරන චර්යා රටාව සකසා ගැනීමේදී වසරේ ඒ ඒ කාලවල තත්ත්වය මෙන්ම තමන්ගේ සමෙහි අවශ්‍යතා සැලකිල්ලට ගත යුතුය. සීතල කාලවලදී සම වියළි බවට පත්වෙද්දී සතියකට එකවතාවක් මොයිස්චරයිසක් භාවිත කිරීම වටී. එමෙන්ම ගිම්හානයේදී දහඩිය හා කුණුවලින් සමෙහි සිදුරු වැසී යන හෙයින් ගැඹුරට පිරිසිදු කරන පවිත‍්‍රකාරකයක අවශ්‍යතාව මතුවේ.

දැන් ඔබට පෙනී යන පරිදි තමන්ගේ සම රැක බලා ගැනීමට ඒ හැටි කාලයක් හෝ වියදමක් දැරිය යුතු නොවේ. තමන්ට ගැලපෙන සමේ සත්කාරක චර්යා රටාවක් සකසා ගැනීමට සුළු වේලාවක් වැය කිරීම ඇත්ත වශයෙන්ම යහපත් ආයෝජනයකි. එලෙස  වර්ධනය කර ගන්නා ඔබට වඩාත්ම ගැලපෙන හුරුපුරුදු ගැන ඔබ අනිවාර්යයෙන්ම සතුටට පත්වනු ඇත. කලින්ද සඳහන් කළ පරිදි වෙනත් අයෙකු සාර්ථක ප‍්‍රතිඵල ලබාගත් පමනින්ම  ඔබටත් එය ගැලපේදැයි සිතා බැලිය යුතුය. රටාවක් හඳුනාගත් පසු  ඕන වන්නේ අවශ්‍ය වූ විට සුළු සංශෝධන සිදුකිරීම පමණකි.

ActForLibraries.org  වෙබ් අඩවියෙහි පළවූ   How to take Care of your Skin ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: