විදු නැන නුවණ – Science Literacy for All

බොහොමයක් තාරකාවන්ට වඩා රස්නය ඇති ග‍්‍රහලොවක් සොයා ගැනේ

බ‍්‍රහස්පති ග‍්‍රහයා සමාන, අලූතෙන්  සොයා ගනු ලැබූ  ග‍්‍රහලොවක් එය කක්ෂගතව සිටින තාරකාව මගින් වාෂ්පීකරණයට ලක්වෙමින් පවතී.

දිවා කාලයේ ෆැරන්හයිට් අංශක 7,800ක් සහිත KELT-9b යනුවෙන් නම් කරනු ලැබ ඇති ග‍්‍රහලෝකය බොහොමයක් තාරකාවලට වඩා රස්නයකින් යුක්තය. එහෙත් එම ග‍්‍රහයා තක්ෂ ගතව ඇති නිල් A වර්ගයේ තාරකාව වන KELT-9 ඊටත් වඩා රස්නයකින් යුක්තය. කොපමණ නම් රස්නයක් ද කීවොත් ඇත්තටම එම තාරකාව, තමා වටා  කක්ෂ ගතව සිටින KELT-9b   ග‍්‍රහයා වාෂ්පීකරණය තුළින් සිඳ බිඳ දමමින් තිබේ. “මෙතෙක් සොයා ගනු ලැබූ වඩාත්ම රස්නය ඇති වායු යෝධයෙකු වන ග‍්‍රහලෝකය මෙයයි” යයි කොළම්බස් හි ඔහියෝ රාජ්‍ය සරසවියේ තාරකා විද්‍යා මහාචාර්ය ස්කොට් ගෞඩි කියා සිටියි.  මීට අදාළ අධ්‍යයනයේ නියමුවා ඔහුය.  සප්තවාර්ෂික නිවාඩු මත කැලිෆෝනියාවේ පසදෙනා හි නාසා ජෙට් ප‍්‍රචාලන පර්යේෂණාගාරය හා එක්වී හෙතෙම මේ පර්යේෂණයෙහි යෙදුනේය. මේ අසාමාන්‍ය ග‍්‍රහලෝකය ගැන Nature සඟරාවේ මෙන්ම පසු ගියදා පැවති ඇමරිකානු තාරකා විද්‍යා සංගමයේ ගිම්හාන රැස්වීමේදී ද විස්තර කෙරිණ.

KELT-9b ග‍්‍රහයා අපේ බ‍්‍රහස්පති ග‍්‍රහයා මෙන් 2.8 ගුණයක් විශාලය. එහෙත් ඝනත්වය ඉන් අඩකි. මේ ග‍්‍රහයා සතුව මීට වඩා අඩු අරයක් තිබිය යුතු යයි විද්‍යාඥයන් කල්පනා කළ ද එහි සත්කාරක තාරකාවෙහි සීමාන්තික විකිණරණය හේතුවෙන් ග‍්‍රහයාගේ වායුගෝලය බැලූමක් මෙන් පිම්බීමට හේතු වී ඇත. පෘථිවිය එහි චන්ද්‍රයාට උදම් වශයෙන් සිරවී ඇතිවාක් මෙන් KELT-9b ග‍්‍රහයාද එහි සත්කාරක තාරකාවට සිරවී ඇත. ඒ අනුව ග‍්‍රහයාගේ එක් පැත්තක් සැමවිටම තාරකාවට මුහුණ ලා ඇති අතර අනෙක් පැත්ත නිරන්තර අන්ධකාරයේ පවතී. ජලය, කාබන් ඩයොක්සයිඞ් හා මීතේන් ආදී අණු දිවා කල පැත්තේ හට ගැනීමට ඉඩක් නැත්තේ අපමණ පාරජම්බුල විකිරණයන්ට ගොදුරුවන හෙයිනි. KELT-9b ග‍්‍රහයාගේ අඳුරු පැත්තේ තිබෙන ගුණාංග තවමත් අභිරහසකි. අණු සෑදීමට ඉඩ ඇතත් ඒ බොහෝ විට තාවකාලික විය හැකියි.

“ස්කන්ධය පිළිබඳ සාමාන්‍ය අර්ථ විග‍්‍රහයන්ට අනුව එය ග‍්‍රහයෙක් තමයි. ඒත් එහි දිවා කල උෂ්ණත්වය සලකන කොට නම් එහි වායුගෝලය පැහැදිලිවම අප මෙතෙක් දැක ඇති කිසිම ග‍්‍රහයෙකුගේ වගෙ නෙවෙයි” යයි ගෞඩි පවසයි.

KELT-9 තාරකාවෙහි වයස මිලියන 300ක් පමණකි. තාරකාවක් ලෙස එය ඉතා තරුණය.  එය අපේ සූර්යයා මෙන් දෙගුණයකට වඩා විශාල වන අතර උෂ්ණත්වය ගත්තොත් දෙගුණයක් පමණ වේ. ග‍්‍රහයාගේ වායුගෝලය නිරතුරුවම එහි තරුවේ අධික මට්ටමක පාරජම්බුල කිරණවලට බඳුන් වන්නේය යන්න සැකිල්ලට ගන්නා විට ධූම කේතුවක ‘වලිගයක්’ මෙන් මේ ග‍්‍රහයාගේ වාෂ්පීකරණය වූ ග‍්‍රහලෝකමය ද්‍රව්‍ය වලිගයක් සේ ගලා යනවාද විය හැකිය.

“KELT-9  තාරකාව කොපමණ නම් පාරජම්බුල කිරණ විකිරණය කරන්නේද කිවහොත් එය  KELT-9b ග‍්‍රහයා සම්පූර්ණයෙන්ම  වාෂ්පීකරණය කර දමාවී”  යයි කීවන් ස්ටැසුන් පවසයි. ටෙනිසි නෑෂ්විල්හි වොන්ඩබිල්ට් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා සහ තාරකා විද්‍යා මහාචාර්යවරයෙකු වන ඔහු  ගෞඩි සමග අධ්‍යයනය මෙහෙයවීය. එහෙත් ඊට ප‍්‍රථම ග‍්‍රහයා ගිලගැනීමට ප්‍රමාණවත් තරමට තාරකාව වර්ධනය නොවෙතැයි මෙකී මතයෙන් උප කල්පනය කෙරේ. “තවත් වසර මිලියන සිය ගණනකදී KELT-9  තාරකාව පිම්බි රතු යෝධයෙකු බවට පත්වේවි” ස්ටැසුන් පෙන්වා දෙයි,  “ඉතින් KELT-9b ග‍්‍රහයා මත කල් යාමේදී ජීවය හෝ වාසයට සුදුසු බිමක් නිර්මාණය වීමට තිබෙන  හැකියාව බෙහෙවින් හීනයි”.

මෙම ග‍්‍රහයාගේ තවත් අසාමාන්‍යතාවක් වන්නේ එය සත්කාරක තාරකාවේ භ‍්‍රමණ අක්ෂයට ලම්භකව කක්ෂගතව ගමන් කිරිමයි. එය අපේ සෞර ග‍්‍රහ මණ්ඩල තලයට ලම්භකව  කක්ෂගත ග‍්‍රහයාට සාදෘශ්‍ය වන්නේය KELT-9b ග‍්‍රහයා මත වසරක් අපේ  ලෝකයේ දින  දෙකකට අඩුය.

මෙම ග‍්‍රහයා වාසයෝගී බවට කොහෙත්ම ළං වන්නේ නැහැ.  එහෙත් සීමාන්තික තත්ත්වයන් නිසා වාසයෝග්‍ය නොවන ග‍්‍රහලොක ගැන අධ්‍යයනය කිරීමට තරම් සාධාරණ හේතු ඇතැයි ගෞඩි පෙන්වා දෙයි. මෑතක සොයා ගැනීම් හේතුවෙන්  තාරකා විද්‍යාඥ ප‍්‍රජාව පැහැදිලිවම අවධානය යොමු කරන්නේ අපේ සූර්යයා බඳු, වඩා සිසිල් තාරකා වටා ගමන් කරන පෘථිවි සමාන ග‍්‍රහලෝක සොයා ගැනීමටයි.  ඒවා පහසු ඉලක්කයි. පොදුවේ ගත් කල ඉතා අඩු ස්කන්ධ සහිත තාරකා වටා කක්ෂගතව ඇති  වාසයෝග්‍ය හැකියාව සහිත ග‍්‍රහලෝක අධ්‍යයනයෙන් තවත් දේ උගෙන ගත හැකි බව ඇත්තකි. අනෙක් අතට වඩාත් විශාල හා වඩා රත් වූ තාරකා සහ ඒවා වටා කක්ෂගත ග්‍රහලෝක ගැන කරණු හැදෑරීම උදෙසා අතිශය රස්නය සහිත දැවැන්ත තාරකා වටා ග‍්‍රහ මණ්ඩල සෑදෙන ආකාරය උගෙනීමෙන්  අවස්ථාව සැලසෙනවා” යනුවෙන් ගෞඩි වැඩිදුරටත් සඳහන් කරයි.

nasa.gov.exoplanet වෙබ් අඩවියෙහි පළවූ Astronomers Find Planet Hotter Than Most Stars යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: