විදු නැන නුවණ – Science Literacy for All

අපේ ආහාර රටාව වෙනස් කර ගැනීමෙන් වනසතුන් නෂ්ටප‍්‍රාප්ත වීම වළක්වා ගත හැකිය

ගවමස්, ඌරු මස් සහ වෙනත් බහුලව ගොඩ බිම වසන සතුන්ගේ මස් සඳහා අපේ කෑදරකම පාලනය කර නොගතහොත් නිවර්තන කලාපීය සත්ව විශේෂ අතුරෙන් තුනෙන් එකක්ම නෂ්ටප‍්‍රාප්ත වීමේ තර්ජනයට මුහුණ පෑමට හැකිය. ඊට බලපා ඇත්තේ නිවර්තන කලාපයේ විශාල ප‍්‍රදේශ ගොවීබිම් බවට පරිවර්තනය කිරීමයි.  ලතින් ඇමරිකාවේ සහ උප සහරා හෙවත් සහරාවෙන් දකුණේඇති ප්‍රදේශවල  දැනට ඉතිරිව ඇති වනාන්තර සහ තණබිම් වලින්, වන සතුන් බොහෝ සේ අතුරුදන්ව යා හැකි බව නව පර්යේෂණයක් දක්වයි. සත්ව විශේෂ වැඩිම හානිය සිදුවිය හැක්කේ පේරු රටේ ඇමසන් නදී ද්‍රෝණියෙහිය. කෘෂිකාර්මික සංවර්ධනය හේතුවෙන් එහි සත්ව විශේෂ 317 ක් තරම් ප‍්‍රමාණයක් වඳ වී යා හැක. ජර්මනියේ හැම්බෝල්ඩ්ට් බර්ලින් විශ්ව විද්‍යාලයේ මෙම පර්යේෂණ කණ්ඩායම මිනිසුන්ගේ ආහාර පරිභෝජනය, ඉඩම් පරිහරණය මෙන්ම ඒ දෙකම වනජීවීන් කෙරෙහි බලපාන අන්දම ගැන සිදුකළ මේ පර්යේෂණ වාර්තාව ජූලි 17 දා Nature Ecology and Evolution සඟරාවෙහි පළවිය.

1970 සිට මිනිස් ජනගහණය දෙගුණ වී ඇති අතර, පක්ෂීන්, ක්ෂීරපායියන්, උරගයන් සහ උභය ජීවීන් සංඛ්‍යාවගතහොත්,  භාගයකට වැඩියෙන්  අඩු වී තිබේ. මෙකී පුළුල්ව පැතිරුණ විනාශයේ මුල ලෙස ඇත්තේ සත්ව විශේෂයක් වශයෙන් මානවයන්ගේ වර්ධනය සහ එම ජනගහණය පවත්වාගෙන යාම සඳහා ආහාර පරිභෝජනය ඉහළ දැමීමයි. අනාගත සංරක්ෂණ ප‍්‍රයත්න මත දේශගුණ විපර්යාස මගින් ඇතිවිය හැකි බලපෑම ගැන සැක සංකා මතු කළ ද වන ජීවීන්ට එල්ලවන තර්ජන අතර ප‍්‍රමුඛස්ථානය හිමිවන්නේ ගොවිතැනටයි. මේ මහ පොළොව මත අයිස්  වලින් නොවැසුණු භූමියෙන් සියයට 75 ක්ම පමණ මානව වර්ගයා විසින් වෙනස් කරනු ලැබ ඇත. අප දැනට මේ ගමන් කරන මාර්ගයේම දිගටම යන්නේ නම් මාංශ සහ පශු නිෂ්පාදන වැනි සම්පත්-සඵල ආහාර වැඩි වැඩියෙන් ඉල්ලා සිටින, සීඝ‍්‍රයෙන් වර්ධනය වන ජගත් ජනගහනයකට ආහාර සැපයීම සඳහා අපේ භෝග  නිෂ්පාදනය දෙගුණ කළ යුතු වේ.

මෙම අධ්‍යයනයේ සොයා ගැනීම් අනුව පෙනී යන්නේ කෘෂිකාර්මික සංවර්ධනයේ අහිතකර බලපෑම්වල අවදානමට උප සහරා අප‍්‍රිකාව සුවිශේෂීව ලක්වන බවයි. මෙම කලාපය ආර්ථික, ජනගහන සහ කෘෂිකාර්මික සංවර්ධනයේ මංසන්ධියකට පිවිස ඇති අතර එහි කෘෂිකාර්මික ක‍්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීම හදිසි අභියෝගයකි. මෙය තවත් අසහනාකාරී කරවන වෙනත්  කාරණාවක් ද ඇත. ඒ, දැනට  අවදානමට ලක්ව ඇති ඉඩම් (ඒ කියන්නේ ස්වභාවික එහෙත් වගා කළ හැකි ඉඩම්) ප‍්‍රතිශතය සහ අනාගත සංවර්ධනයට ලක්වීමේ අවදානමෙන් මිදුණු නැති ඉඩම් සැලකිල්ලට ගනිද්දීය. උප සහරා අප‍්‍රිකාවේ ගොඩබිම් ව්‍යාප්ත වීමේ අවදානමට ලක් වූ මේ ප‍්‍රදේශවලින් පහෙන් හතරක් අනාරක්ෂිතය. මෙය ලතින් ඇමරිකාවේ ආරක්ෂිත 43% න් අඩකට වඩා අඩුය.

ප‍්‍රදේශබද ජනතාව සාගින්නේ පසු වුවද ගොවිතැන් කටයුතු වලින් ඉඩම් බේරා ගැනීම, වනජීවී වාසස්ථාන සංරක්ෂණය කිරීමක් හැටියට ඇතැම්හු දකිති. එහෙත් සිදුවිය යුත්තේ අරමුණු දෙකම ඉටුවීමයි. අරමුණ විය යුත්තේ පෝෂ්‍යදායී ආහාර විපුලව සපයන අතර ඒ සමගම පෘථිවියේ වඩාත්ම ජෛවී විවිධත්වය ඇති හා සුවිශේෂී ස්ථාන සංරක්ෂණය  කිරීමයි. උත්සාහ කරන්නේ නම්, ඇත්තටම මෙය කළ හැක්කකි. අවදානමට වඩාත්ම ලක්ව ඇත්තේ කුමන ප‍්‍රදේශ දැයි කලින්ම දැන හඳුනාගැනීම, වඩාත් ධරණීය අනාගතයක් වෙනුවෙන් මනාව සැලසුම් කිරීමට අපට මග සැලසේ.

ඉඩම් සංරක්ෂණයට අමතරව ජෛවී විවිධත්වයට කිසි හානියක් නොමැතිව ආහාර වගා කළ හැක. කුඩා ඉඩම් හිමියන්ගේ  කෘෂි-පරිසර විද්‍යාත්මක ගොවිතැන මීට නිදසුනකි. මෙහිදී අනුගමනය කෙරෙන වගා ක‍්‍රමවේද අනුව රසායනික පොහොර සහ පළිබෝධ නාශක යෙදෙන්නේ අඩුවෙනි. ඒ අනුව වන ජීවීන්ට හානියක් නොමැතිව හෝ අවම හානියකින් යුතුව පෝෂ්‍යදායී ආහාර විශාල ප‍්‍රමාණයන්ගෙන් නිපදවිය හැකිය. එහෙයින්, කෘෂි-පරිසර විද්‍යාත්මක ගොවිතැන පිළිබඳ දැනුවත් කිරීම වැඩි කළ යුතු අතර ප‍්‍රදේශබද ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කළ යුතුය. මෙය, තනි භෝග වගා ගොවිතැන(monoculture farming)  සඳහා විශාල විදේශ සමාගම් ඉඩම් මිළ දී ගැනීම වළක්වාලීමේ තීරණාත්මක පියවරකි. කෘෂි-පරිසර විද්‍යාත්මක ක‍්‍රමවේද අනුගමනයට ප‍්‍රජාවන් එළඹීම දෙපාර්සවයටම  ජය ගෙනෙන (ජය- ජය) පියවරකි. මෙය, වන ජීවීන් වඳ වී යාමට ඉඩ සලස්වන්නේ නැතිවම ලොව වසන මිනිසුන්ට ආහාර සැපයීම දැරිය හැකි ලෙස ඉටුකරගැනීමෙහිලා  වැදගත් වන්නකි.

අපට කළ හැක්කේ කුමක් ද?

මෙයට පිළිතුරු වශයෙන් කිව හැක්කේ, (පවුලේ ළමුන් සීමා කිරීම හැර) වෙනත්  ඕනෑම පියවරකට වඩා මේ මොහොතේ අප තබනා එක් සුළු පියවරකින් විශාල බලපෑමක් ඇති කරන බවයි: ධාන්‍ය කවා පොවා සතුන් මසට හැදීම නතර කිරීම ඒ පියවරයි.

කුකුල්, ගව ඌරු වැනි සතුන්ට ධාන්‍ය ආදී ආහාර කන්නට දී ඇති කර ඔවුන්ගේ මස් මිනිස් අප ආහාරයට ගැනීම අකාර්යක්ෂම, වියදම් අධික, මිහිතලයේ සම්පත් මත දැඩි බලපෑමක් ඇති කරන ක‍්‍රියා මාර්ගයකි. නිදසුනක් දක්වතොත්, ඇමරිකා එක්සත් ජනපදයේ ගවමස් කිලෝවක් නිපදවීමට ධාන්‍ය කිලෝ 25 ක් ද, ඌරු මස් කිලෝවකට ධාන්‍ය කිලෝ 9 ක් ද කුකුල් මස් කිලෝවට ධාන්‍ය කිලෝ 3 ක් ද වැය වේ. මේ කාරණාව ප‍්‍රසිද්ධියට පත්වන්නේ නම්,  (මාධ්‍ය මගින්) හරිහැටි එළියට දමන්නේ නම් එය කෙතරම් මුග්ධ ක‍්‍රියාවක් ද යන්න මුළු ලෝකයටම පෙනී යනු ඇත. එහෙත්, අප නොදැනුවත්වම සිදුවන්නේ සම්පත් අධිකව යොදා ගන්නා මස් අනුභවයට ගැනීමයි. මසට සතුන් ඇති නොකළ යුතු යයි මින් අදහස් නොකෙරේ.  පරිසර හානියකින් තොරව පශූ පාලනයෙහි යෙදෙන ක‍්‍රම විධි කොතෙකුත් තිබේ. එහෙත් අද මහා පරිමාණයෙන්,  අධික සම්පත් ප‍්‍රමාණයක් යෙදවමින් සිදු කෙරෙන මසට සතුන් ඇතිකිරීමේ වාණිජ ක‍්‍රියාවලීයෙන් තමයි මේ හානිය සිදුවන්නේ. කරුණු නරක අතට යොමු කරන තවත් කාරණාවක් ඇත. වාණිජ මට්ටමින් මසට ඇති කරන සතුන් උදෙසා ආහාරය පිණිස ධාන්‍ය වගාව නිවර්තන කලාපවල  කැලෑ හෙළි කිරීමට බලපාන ප‍්‍රධාන සාධකයකි. එම සතුන් මහා බඩගිනිකාරයෝය. ගවයන්, ඌරන් සහ කුකුළන් ආදිහු අප වගා කරන සියලූ භෝග වලින් 1/3 ක් ගිල දමති. ඇමරිකාවේ පමණක් මසට හදන සතුන්ට දෙන ධාන්‍ය වලින් තවත් අතිරේක මිලියන 800 ක් මිනිසුන් අහරින් පෝෂණය කළ හැක. එය වර්තමානයේ ලොව ජීවත්වන සාගින්නෙන් පෙලෙන  මිනිසුන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි ප‍්‍රමාණයකි.

මෙලෙස පශු සම්පත් පාලනය හේතුවෙන් සිදුවන වන විනාශය ෆාම් වගාව වෙනුවෙන් සිදුවන හානියට වඩා 10 ගුණයකින් වැඩි වුවත් ඊට මාධ්‍ය අවධානය යොමු නොවේ.  ධරණීය නොවන ෆාම් වගාව අධෛර්යමත් කළ යුතු බවට විවාදයක් නැතත්, මිහිපිට සම්පත් අධිකව යොදා හදන සතුන්ගේ මස් කෑම නතර කිරීම වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සංරක්ෂණ උපාය මාර්ගයක් විය හැකිය. වඩාත් හොඳ ඉදිරි දැක්මකින් , මනා ඉඩම් පරිපාලනයකින්  මෙන්ම අපේ ආහාර රටාවේ සුළු වෙනස්කම් සිදු කිරීමෙන් මිහිපිට සම්පත් සංරක්ෂණයට මෙන්ම වනජීවීන් හා වනාන්තර සුරක්ෂිත කොට අනාගත පරපුරට උරුම කරදීමට මග පෑදිය හැකිය.

 

The Conversation හි පළවූ How changing your diet could save animals from extinction   යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: