විදු නැන නුවණ – Science Literacy for All

ලැව්ගිනි දුම දේශගුණය මත දිගුකාලීන බලපෑම් ඇති කරයි

ඇමරිකා එක්සත් ජනපදයේ 2017 ලැව්ගිනි වාරය ආරම්භ වී ඇත්තේ ජෝර්ජයාවේ සහ ෆ්ලොරිඩාහි අක්කර දහස් ගණන් ගිනි රකුසාට බිලි වෙමිනි. නාසා ආයතනයේ ගුවන්ගත විද්‍යා මෙහෙයුම අතරතුර එකතු කර ගනු ලැබූ දත්ත යොදා ගනිමින් සිදුකළ නව පර්යේෂණ පෙන්නුම් කරන්නේ මේ ආකාර ලැව්ගිනි වලින් නැගෙන දුම ලොව පුරා වායුගෝලය හා දේශගුණය කෙරෙහි අප කලින් සිතා සිටියාට වඩා බරපතල ආකාරයෙන් බලපෑ හැකි බවයි. මෙම අධ්‍යයනය මෙහෙයවනු ලැබුවේ ජෝර්ජියා තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් විසිනි. පිළිස්සෙන ගස් සහ අනෙකුත් ඵෙන්ද්‍රීය ද්‍රව්‍යය වලින් අහසට මුදා හැරෙන දුඹුරු කාබන් අංශු අප කලින් සිතා සිටියාට වඩා වායුගෝලයේ ඉහළ මට්ටම් කරා ගමන් කිරීමේ හැකියාව වැඩි බව අධ්‍යයනයේ දී සොයා ගැණින. එම මට්ටමේදී ඒ අංශු සූර්යයාගේ කිරණ හා ගැටී සමහර අවස්ථාවල වාතය සිසිල් කිරීමටත් සමහර විට උණුසුම් කිරීමටත් බලපායි.

මුදා හැරෙන දුඹුරු කාබන් බොහොමයක්ම වාතයට පහළ වායුගෝලයේ රැඳී තිබෙන නමුත් පර්යේෂකයන්ට පෙනී ගියේ ඉන් කොටසක් ඉහළ වායුගෝලය වෙත ගමන් කරන බවයි. ‘එහිදී පෘථිවියේ  විකිරණ තුල්‍යතාව කෙරෙහි සමානුපාතික නොවන අන්දමට විශාල බලපෑමක් ඇති කරයි. ඔව්, ඒවා සියල්ල පෘථිවි පෘෂ්ඨයේ දී  තිබෙනවාට වඩා විශාල බලපෑමක් ඇතිකරනවා’ යනුවෙන් රොඞ්නි චෙබර් පවසයි. හෙතෙම ජෝර්ජියාවේ තාක්ෂණ ආයතනයේ පෘථිවි සහ වායුගෝලය විද්‍යා පාසලේ මහාචාර්යවරයෙකි.

අධ්‍යයනය සඳහා පර්යේෂකයන් යොදා ගනු ලැබුවේ, වර්ජිනීයා හැම්ප්ටන්හි නාසා ලෑන්ග්ලි පර්යේෂණ මධ්‍යස්ථානයෙහි පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව සිදු කළ ගුවන් ගත විද්‍යා මෙහෙයුම් දෙකක් මගින් එකතු කරන ලැබූ වාතයේ සාම්පලයි. මින් පළමු වැන්න 2012 දී සිදු කළ ගැඹුරු සංවහන වලාකුළු සහ රසායන මෙහෙයුමයි(Deep Convective Clouds and Chemistry (DC3) mission). දෙවැන්න 2013 විමෝචන හා වායුගෝලීය සංයුතිය,  ප‍්‍රාදේශීය සමීක්ෂණ මගින් වළාකුළු හා දේශගුණ ඈදීම මෙහෙයුමයි(Studies of Emissions and Atmospheric Composition, Clouds and Climate Coupling by Regional Surveys (SEAC4RS) mission). පළමු වැන්නෙන් මධ්‍යම ඇමරිකා එක්සත් ජනපදය ද දෙවැන්නෙන් ගිණිකොණ හා බටහිර ඇමරිකා එක්සත්  ජනපදය ද නිරීක්ෂණය කෙරිණ.

(පෘථිවි පෘෂ්ඨයේ සිට සැතපුම් හතක්  පමණ උඩ පිහිටි) ඉහළ පතිවර්ති ගෝලයෙහි (upper troposphere) තිබී ලබාගත් සාම්පල තුළ පර්යේෂකයන්ට පුදුමය දනවන ආකාරයේ දුඹුරු කාබන් ඉහළ මට්ටම සොයා ගත හැකි විය. එහෙත් කළු කාබන් හමු වූයේ ඉතා අඩුවෙනි. දැවෙන ෆොසිල හෝ ජෛවස්කන්ධ ඉන්ධන මතින් උඩට නැගෙන කළු පැහැ දුම් ගොටුවල කළු කාබන් දැක ගත හැකි වුවද දුඹුරු කාබන් හට ගන්නේ ලැව් ගිනි වල සාමාන්‍යයෙන් සිදුවනවා මෙන් තණ, දැව හෝ වෙනත් ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය ගිනිදැල් රහිතව සෙමින් දැවෙන විට සිදුවන අසම්පූර්ණ දහනය හේතුවෙනි.  වායුගෝලයේ ඇති අංශුමය ද්‍රව්‍ය (particulate matter)  ලෙස ගත් කල දෙකම සූර්ය විකිරණය හා මැදිහත් වන්නේ සූර්ය කිරණ  අවශෝෂණය හා  විසරණය (විසිරීම) කරමිනි.

මෑතක නාසා ආයාතනය සිදු කළ වෙනත් පර්යේෂණ අනුව ඇමරිකා එක්සත් ජනපදය පුරා සෑම වසරකම පැතිර යන, දුඹුරු-හා -කළු කාබන් -නිපදවන ලැව්ගිනි  පෘථිවිය උණුසුම් වීමේ ලක්ෂණයකි. 2015 සිදු කළ වසර 35 ක කාලගුණ විද්‍යා දත්ත විශේලේෂණයකින් සනාථ කෙරුණේ ගිනි ඇතිවන වාර ඡේද එන්ට එන්ටම දික්වන බවයි. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය පුරා ඉදිරි වසර 30 සිට 50 දක්වා කාලය තුළ ලැව් ගිනි පවතින වාර ඡේද,  කාලය වශයෙන් දික්වන සහ ප‍්‍රබලත්වයෙන් වැඩිවන බවයි. මෙකී ගිනි මගින් මුදා හැරෙන කාබන් අංශුමය කොටස් වායුගෝලයේ ඉහළට සංක‍්‍රමණය වෙද්දී, කාලගුණය ඒවාට වඩා සංවේදී බවට පත්වේ. පර්යේෂකයන්ට පෙනී ගියේ, දුඹුරු කාබන් කළු කාබන් වලට වඩා බොහොමත් වැඩියෙන් වාතය හරහා   වායුගෝලයේ වඩාත් ඉහළට ගමන් කරන බවත් එහිදී ඒවාට කාලගුණය කෙරෙහි වැඩි බලපෑමක් ඇති කළ හැකි බවත්ය.

‘‘දුඹුරු කාබන් පිට කරන විට කාලයත් සමග ඒවා නැතිව යනවා කියලා තමයි මිනිස්සු හැමදාමත් හිතුවේ’’  ඇතනසියොස් නෙනෙස් පවසයි. හෙතෙම, ජෝර්ජයාවේ තාක්ෂණ ආයතනයේ පෘථිවි හා වායුගෝල විද්‍යා පාසලේ මහාචාර්යවරයෙකි. දුම් ගොටු මගින් දුඹුරු කාබන් පහළ වායුගෝලය වෙත ගෙන ගිය පසු එය වළාකුළු හා මිශ‍්‍රවේ. අනතුරුව දුඹුරු කාබන් සංවහන ධාරාව ඔස්සේ වළාකුළුවල ඉහළ දිසාවට යමින්   ඉහළ වායුගෝලය වෙත ගමනක යෙදෙයි. මෙය කෙසේ සිදුවේ දැයි පැහැදිලි කිරීමට පර්යේෂකයන්ට නොහැකි වුවද මෙකී ඉහළ දිසාවට යන ගමනේ දී කළු කාබන් හා සංසන්දනාත්මකව ගත්කල සාපේක්ෂව දුඹුරු කාබන් වඩාත් සාන්ද්‍රණ ගතවේ. ‘‘ මේක තරමක පුදුමයක්.සමහර විට අප කලින් නොදැන සිටි දුඹුරු කාබන් නිපදවීමක් වළාකුළු තුළ සිදුවනවා වෙන්නැති’’ නෙනෙස් පවසයි.

තවත් අතිරේක අධ්‍යයන සිදුකළ යුතු බවට මෙයත් හොඳ හේතුවක් ලෙස  පෙන්වා දෙන ලෑන්ග්ලි හි වායුගෝලීය විද්‍යාඥ බෲස් ඇන්ඩර්සන් ‘‘මෙකී වායව ක්ෂුද්‍ර අංශු (aerosols)    සෑදෙන්නේ කෙලෙසද යන්න ගැන අපට වඩාත් හොඳ තොරතුරු අවශ්‍ය වෙනවා. ඒවායේ විකිරණශීල බලපෑම් මොනවාද, ඒවා වායුගෝලයෙන් ඉවත් කෙරෙන්නේ කෙසේද එමෙන්ම ඒවා පාලනය කිරීම සඳහා අපට කළ හැකි යමක් වේද? යන්න දැන ගන්න  ඕන’’ යයි ඇන්ඩර්සන් වැඩි දුරටත්  කියා සිටියි.

නව සොයාගැනීම් ගැන වාර්තාව මෑතක Nature Geoscience සඟරාවෙහි පළවිය.

NASA Science හි පළවූ   Smoke from Wildfires Can Have Lasting Climate Impact යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: