විදු නැන නුවණ – Science Literacy for All

මානසික රෝග අප දැන සිටියාට වඩා බෙහෙවින් සුලබයි

ජීවිතයේ කිසියම් අවස්ථාවක අප සෑම දෙනාම මානසික ආබාධයකට ගොදුරු වන බව නව පර්යේෂණයක් දක්වයි. එහෙත්, බොහෝ දෙනෙකුට එම තත්ත්වය තාවකලිකය. බෙලහීන කරවන මානසික රෝගයකට ගොදුරුව වරක් හෝ පීඩාවට පත්වූ අඩු තරමින් එක් පුද්ගලයෙකු ගැන හෝ අප අතරින් වැඩිදෙනා දැන සිටින්නෙමු. කෙසේ වෙතත්, පෙනී යන පරිදි මානසික ආබාධ මේසා සුලබ වුවත්  පුද්ගලයන්ට  ඇතිවන එවන් සිදුවීම් සාමාන්‍යයෙන් සැලකෙන්නේ අසාමාන්‍ය ඇතැම්විට ලැජ්ජා සහගත ජවනිකා හැටියටයි.

මානසික රෝග කොතරම් සුලබද කියතහොත්,  ලොව පුරා සිදු කෙරෙන නව පර්යේෂණ වලින් පෙන්නුම් කරන්නේ අප හැම දෙනාම පාහේ ජීවිත කාලය තුළ එක් අවස්ථාවක හෝ මානසික රෝගයක් හැටියට නිර්ණය කිරීමට හැකි තරම්  තත්ත්වයකට මුහුණ පාන බවයි. මෙම පුද්ගලයන්ගෙන් බොහෝ දෙනා කිසිදිනක ඒ සඳහා ප‍්‍රතිකාර ලබාගන්නේ නැත. ඔවුන්ගේ සම්බන්ධතා, රැකියා කාර්ය සාධනය මෙන්ම ජීවිතයේ  සන්තුෂ්ටිය එහෙයින් හානියට පත්වේ.

මේ අතර, කිසිදිනක මානසික රෝගාබාධයක් වර්ධනය නොවෙතැයි පෙනී යන සුළු පිරිස, මනෝ විද්‍යාවට නව අධ්‍යයන අවස්ථා සපයයි. මන්ද, අසාමාන්‍ය ලෙස, චිරස්ථායි ලෙස හා මානසිකව ‘හොඳින්’ සිටීමට ඔවුනට හැකියාව ලැබුනේ කෙසේ දැයි යන්න දැන ගැනීමට පර්යේෂකයන්ට ඔවුන් මග පාදන හෙයිනි.

කිසියම් නිශ්චිත මොහොතක් ගතහොත් ජනගහනයෙන් සියයට 20 සිට 25 දක්වා පිරිසක් මානසික රෝගාබාධයකට ලක්වන බව දළ වශයෙන් විද්‍යාඥයන් දිගු කලක් තිස්සේ දැන සිටි කාරණාවකි. එසේ ලක්වීමෙන් කියැවෙන්නේ, රාජකාරී කටයුතු වලදී, පාසලේ දී හෝ අන්තර් සම්බන්ධතාවල දී සිය ක‍්‍රියාකාරීත්වයට බාධා පමුණුවීමට ප‍්‍රමාණවත් මට්ටමින් බලවත් ආකාරයකට මානසික වේදනාව අත්විඳින බවයි. 1990 දශකයේ මැද සිට 2000 ගණන් වල මුල් අවධිය දක්වා සිදු කෙරුණු පුළුල් ජාතික සමීක්ෂණ කියාපාන්නේ  වඩාත් ඉහළ ප‍්‍රතිශතයක් ඒ කියන්නේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් තම ජීවිත කාලයේ කොයියම් මොහොතක හෝ මානසික රෝගයක් අත්විඳින බවයි.

මෙම සමීක්ෂණ බෙහෙවින් විශාල ඒවා විය. දහස් ගණන් ඒවාට සහභාගී වූ අතර වයස, ලිංගිකත්වය, සමාජ පංතිය හා වාර්ගිකත්වය අතින්  ගත් කල ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහණයේ  නියෝජනයක් විය. කෙසේ වෙතත්, එම  සමීක්ෂණවල  පිළිතුරු සැපයීම පිණිස සහභාගී වුවන්ට මාස, අවුරුදු සමහර විට දශක ගණන් පවා හැඟීම් හා චර්යා මතකයට නගාගැනීම් සිදුවිය. මිනිසුන්ගේ මතකය වරදින සුළුය. තවද, නූතන විද්‍යාව ප‍්‍රදර්ශනය කර ඇත්තේ තමන්ගේම මානසික සෞඛ්‍යය ගැන වාර්තා කිරීමේ දී පුද්ගලයන් අසංගත බවයි. එහෙයින් මේ සමීක්ෂණ වල නිවැරදි භාවය විවවාද සම්පන්නය.

ඩියුක් සරසවියේ පර්යේෂකයන් දෙදෙනෙකු වන ඒරන් රියුබන් සහ ජොනතන් ෂපාර් විසින් මෙහෙයවනු ලැබූ නව අධ්‍යයනය, මේ වසරේ මුල Journal of Abnormal Psychology  සඟරාවේ පළ විය. රෝගයෙහි පීඩාව තක්සේරු කිරීමේ දී ඔවුන් ගත්තේ වෙනත් ප‍්‍රවේශයකි. තම ජීවිතයේ වසර ගණනාවක් අතීතයට ආපසු ගොස් මතක් කරන්නැයි පුද්ලගයන්ට පැවසීම වෙනුවට ඔවූහු එකම පිරිසක් ගැන උත්පත්තියේ සිට මැදවයස් වනතෙක් අඛණ්ඩව සොයා බැලූහ. ඒ සඳහා තෝරා ගැනුනේ එකම නගරයක උපන් නවසීලන්ත ජාතිකයන්ය. පරීක්ෂාවට ලක්වූවන් අතුරෙන් මැදිවයස වන තෙක් යම්තමින් හෝ මානසික රෝගාබාධයකට ලක් නොවුනේ සියයට 17 ක් පමණකි. සෑම අවුරුදු කිහිපයකට වරක් මොවුන්ව ඇගැයීමකට ලක් කෙරුණ ද ඇගයීම් දෙකක් අතර කාලයේ කිසිවිටකත් මානසික රෝගාබාධයක් ලක් නොවිණැයි ස්ථීරවම පර්යේෂකයන්ට කිව නොහැකි නිසා මෙකී අනුපාතය තවත් කුඩා වන්නට පුළුවන. වෙනත් වචනවලින් කියතහොත් දියවැඩියාව, හෘදයාබාධ හෝ  (ඕනෑම වර්ගයක) පිළිකාවක් යන  මේ ආබාධ සියල්ල  එකට එක්කර ගත්තද ඉන් එකක් හෝ හට ගැනීමට ඇති ඉඩකඩට වඩා මානසික රෝගාබාධයකට ලක්වීමේ හැකියාව වැඩි බවයි පර්යේෂකයන්ගේ අදහස. මෙකී සොයා ගැනීම් නවසීලන්තයේ සමාන කණ්ඩායම් මෙන්ම ස්විට්සර්ලන්තයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ කණ්ඩායම් සම්බන්ධ කරගෙන සිදු කළ අධ්‍යයන දත්ත වලින් ද  තහවුරු කෙරිණ.

මනෝ විද්‍යාත්මක රෝගාබාධයකට කොයියම් අවස්ථාවක හෝ ගොදුරු වුවහොත් බොහෝ දෙනෙකු උපකල්පනය කරන්නේ එය ජීවිත කාලයටම පවතීය යනුවෙනි. වඩාත් සුලබ මානසික ආබාධ ගතහොත් මෙය කෙළින්ම බොරුවක් බවයි නවතම පර්යේෂණ කියාපාන්නේ. මෙය කා අතරත් පතුරුවා හැරිය යුතු ප‍්‍රයෝජනවත් පණිවුඩය කැයි ක්ලේයාර් මොන්ට් උපාධි සරසවියේ සමාජ මනෝ විද්‍යා මහාචාර්යවරයෙකු යන ජේසන් සීගල් පවසයි. ‘‘තම මිතුරාගේ හෝ වැඩබිමේ සගයාගේ මානසික සෞඛ්‍ය ප‍්‍රශ්නය තාවකාලික එකක් බව දැන ගත්තාහම පුද්ගලයන් වඩාත් සානුකම්පිත වීමට, උපකාරීවීමට පෙළඹෙනවා.’’ඔහු තව දුරටත් සඳහන් කරයි. මානසික රෝගයට ලක් වන්නන්ට සහයෝගය ලබාදීම අවශ්‍යය. කෙටි කාලීන වුවත් ස්වයං සීමා වුණත් එවැනි රෝගාබාධ කෙනෙකුගේ ජීවිතයට වියවුල් ගෙන එයි.

අවසානයේ දී අළුත්ම පර්යේෂණයෙන් ඉදිරිපත් කෙරෙන වඩාත් වැදගත් යෝජනාව වන්නේ මානසික සෞඛ්‍ය ගැටළු මුළු ලෝකයටම පාහේ සාධාරණ බවයි. මේවා, අස්ථි බිඳීම්, මුත‍්‍රා ගල් හෝ සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාව තරමටම පොදු ආබාධ ලෙස සැලකීමට සමාජය පුරුදු විය යුතුය. එවිට එම රෝග සොයා ගැනීම, ප‍්‍රතිකාර කිරීම හා වළක්වා ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් ලෙස සම්පත් යෙදවිය හැකිය. අනික, එවැන්නක් අපටම හටගත් විට අපට හෝ අපේ කිට්ටුවරයන්ට ඒ ගැන වුවමනාවට වඩා බරපතල නොවන ආකාරයෙන් මුහුණදීමට ද  එය සහාය වනු ඇත.

Scientific American Blog Network හි පළවූ Mental Illness Is Far More Common Than We Knew  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: