විදු නැන නුවණ – Science Literacy for All

පිළිකාව හටගන්නේ කෙනෙකුගේ ‘අවාසනාව’ නිසාද?

පිළිකාව හට ගැනිමේදී ‘අවාසනාව’ ඉටු කරන කාර්ය භාරයක් ඉටු කරනවා ද? එසේ නම් ඒ  කුමක්ද? සම්මානනීය සඟරාවක් වන Science හි, මේ ගැන ඇමරිකානු පර්යේෂකයන් දෙදෙනෙකු විසින් සිදුකරන ලද පසුගිය මාර්තු වේ පළ වූ අධ්‍යයන වාර්තාවක් මහත් ආන්දෝලනයකට තුඩු දී ඇත.  බැල්ටිමෝර්හි ජෝන් හොප්කින්ස් සරසවියේ පර්යේෂකයන් වන කි‍්‍රස්ටියන් ටොමැසෙටි සහ බර්ට් වොගල්ස්ටීන් පෙන්වා දෙන්නේ (ජානමය පෙර නැඹුරුවක් වන) ආවේණිය සහ (දුම්බීම හෝ ඇස්බැස්ටෝස් වලට නිරාවරණය වීම වැනි) පාරසරික අවදානම් මත පිළිකාවේ රඳා පැවැත්ම, අපගේ ජීවිත කාලය තුළ සෛල බෙදී ප‍්‍රජනනය කරද්දී  ඒවායේ ස්වභාවිකවම ඇතිවන (DNA ප්‍රතිගුණන දෝෂ වැනි) අහඹු විකෘතීන් මත රඳාපැවත්ටම වඩා අඩු බවයි. වෙන වචනවලින් කියතහොත් වාසනාව අවාසනාව විශාල කාර්යයක් ඉටු කරයි. Science සඟරාවෙහිම 2015 වසරේ පළ කළ ඔවුන්ගේ වාර්තාවකට අනුව මිනිස් සිරුරේ විවිධ පටකවල පිළිකා සෑදෙන වාර ගණන ගණනය කර ඇත. නිදසුනක් ගතහොත්, ජීවිත කාලය තුළ පෙනහළු පිළිකාව අවදානම 6.9%කි. තයිරොයිඞ් පිළිකාව 1.08% කි. සංසන්දනාත්මකව ගත් කල මොළ සහ වෙනත් පිළිකා අවදානම තවත් අඩුය.

වාර ගණන ගතහොත් මහාන්ත‍්‍රකයෙහි පිළිකා කුඩා අන්ත‍්‍රයට වඩා වැඩිය. මේ වෙනස්කම් සාමාන්‍යයෙන් පවරනු ලබන්නේ දුම්පානය, මද්‍යසාරය හා පාරජම්බුල කිරණ වැනි සාධකවලට සුවිශේෂී පටක වැඩියෙන් නිරාවරණය වීමටයි. එහෙත්, ජීරණ පද්ධතිය, නිදසුනකට මහාඅන්ත‍්‍රය  අනෙකුත් අවයවවලට වඩා බලපෑමට ලක්වන්නේ මන්දැයි මින් පැහැදිලි නොවේ. ඇත්ත වශයෙන්ම, (ආමාශය හා මහාඅන්ත‍්‍රය අතර ඇති) කුඩා අන්ත‍්‍රය, මොළ සෛලවලට වඩා විකෘතීන් හටගන්නා ද්‍රව්‍යවලට බෙහෙවින් නිරාවරණය වන නමුත් මස්තිෂ්ක ටියුමර(අර්බුද) තුන් ගුණයකින් සුලබය.

මේ විරුද්ධාභාසය උරුමගත තවත් ආවේණික පිළිකාවන්ට ද පොදුය. මහාන්ති‍්‍රකයට  ගුදහයට අදාළ (colorectal) ටියුමර මෙන්ම ආන්ත‍්‍රක ටියුමර(intestinal tumours) යන දෙකම සඳහා වගකිව යුත්තේ එකම ජානමය විකෘතිය වුවද. ආන්ති‍්‍රක ටියුමර වඩාත්  දුලභය. කෙසේවෙතත්, මේ විකෘතිය සහිත මීයන් ගතහොත් ප‍්‍රවණතාවය අනෙක් අතටය. ඔවුන්ගේ කුඩා අන්ත‍්‍රයෙහි, මහාන්ත‍්‍රයෙහිට වඩා වැඩි වාරගණනක් ටියුමර වර්ධනය වේ. ඒ අනුව ටොමැසෙටි සහ වොගල්ස්ටීන් යන  දෙදෙනා කල්පනා කරන්නේ පියවි සෛල (stem cell) විභාජනයේදී ස්වයං සිද්ධව සිදුවන විකෘතිවීම මීට හේතුවන බවයි. මිනිසුන් ගතහොත් පියවි සෛල කුඩා අන්ත‍්‍රයේදීට වඩා මහාන්ත‍්‍රයේදී වඩා ඉහළ අනුපාතයකින් යළි පණ ගැන්වේ. මීයන් සම්බන්ධයෙන් ගතහොත් මෙහි අනික් පැත්තය. සෛල විභේදනය නිතර නිතර සිදුවන විට  (ඉහළ අනුපාතයකින් සිදුවන විට) DNA පිටපත් කිරීමේ කි‍්‍රයාදාමයේ දී දෝෂ ඇතිවීමේ අවදානම ඉහළය. ආවේනික මෙන්ම පාරිසරික අවදානම්වලට එක සමානව නිරාවරණය වන අවයවවල හටගන්නා පිළිකාවන්ගේ සීඝ‍්‍රතාවයෙහි වෙනස්කම් මින් පැහැදිලි කිරීමට හැකිය.

 

ආවේණිය හා පාරිසරික යන අනෙකුත් පිළිකා අවදානම් සාධකවලින් ඇතිවන ස්වයං සිද්ධි විකෘතිවීම් බලපෑම් හුදකලා කොට හඳුනාගැනීමට පර්යේෂකයෝ සමත් වූහ. ඔවුන් පෙන්වා දෙන්නේ පිළිකා බහුතරය ඇතිවන්නේ ‘අවාසනාව’ නිසාය යනුවෙනි. ඒ කියන්නේ අහඹු ස්වයං සිද්ධ විකෘතීන් මගින් සිදුවන බවයි. දුම්බීමෙහි ඇති සම්බන්ධය වැනි පාරිසරික සාධක මනාව තහවුරු වූ පිළිකාවලදී පවා ‘වාසනාව’ යම් කාර්යභාරයක් ඉටු කරයි. මෙලෙස බලන විට, දුම්පානය අත්හැරීම මෙන්ම එළවළු හා පළතුරු වැඩියෙන් ආහාරයට ගැනීම වැනි කලක් වැදගත් යයි සැලකුණු සෞඛ්‍ය මිතුරු පිළිවෙත් අනුගමනයට ජනතාව පෙළඹවීම එතරම් වැදගත් නොවැතැයි යන්න විශ්වාස කිරීමට මෙම මතය මගපෑදීමට ඉඩ තිබීම නිසා පර්යේෂකයන්ගේ සොයා ගැනීම් දැඩි මතභේදයට ලක්ව ඇත. ඔවුන්ගේ දත්ත වෙනත් කණ්ඩායමක් මගින් සමාලෝචනය කිරීම ද සිදු වූ අතර එහි දී පෙනී ගියේ අවාසනාව / වාසනාව එතරම් කාර්යභාරයක් ඉටු නොකරන බවයි.

පිළිකා පර්යේෂණයට අදාළ වුවත් නැතත්, ක්ෂුද්‍ර ජීවවිද්‍යාවට සම්බන්ධ විද්‍යාත්මක ලිපි ලේඛනවල විකෘතිවීම් සහ DNA හානිය ගැන නොයෙකුත් සඳහන් කිරීම් ඇත. ඔක්සිකාරක ප‍්‍රත්‍යාබලයෙහි(oxidative stress) බලපෑම් විග‍්‍රහ කරන විට ඒවා පිළිකා ජනක ද්‍රව්‍යයන්ට සම්බන්ධ කෙරුණු ඒවාට වඩා පවා වැදගත් බව පෙනී ගියේ යයි ඇමරිකානු  විද්‍යාඥ ලෝරන්ස් මානෙට් ක්‍රි.ව. 2000 දී පළ කළ වාර්තාවක දැක්වේ. තවද DNA හානියේ එකම හේතුව ඔක්සිකාරක ප‍්‍රත්‍යබලය නොවන බව රොයෙල් ද බොන්ට් සහ නිකලස් වෑන් ලරේබෙකේ 2004 දී පෙන්වා දුන්හ.

ඇන්තනි ටබ්ස් සහ ආන්ද්‍රේ නසෙන්ස්වෙයිග් දෙදෙනා මේ වසරේ මුල පළ කළ ලිපියකින් අවධාරණය කරන්නේ සෑම මනුෂ්‍යයෙකුගේම සෛලවල සෑම දිනකම රිෂ්ටයන්(පැලීම්=lesions) 70,000ක් සිදු වන බවයි. මේ දෝෂ නිවැරදි කිරීමට ශරීරයට මගක් නොමැති වී නම්, විශේෂයෙන්ම  ඒවා ටියුමර හැටියට වර්ධනයවේ නම් අපට වැඩි කලක් ජීවත් විය නොහැක. ටියුමර හටගන්නේ,  ශරීරයේ පාලන යාන්ත‍්‍රණ කිහිපයක්ම අසාර්ථක වීමෙන් පසුව පමණකැයි මතක තබා ගැනීම වැදගත් වන්නේ  එහෙයිනි. ඒ අනුව, අභ්‍යන්තර හෝ පිටස්තර විකෘති කාරකවලට සෛල අනාවරණයවීම ටියුමරයක් වර්ධනය වීමට පෙර ඇතිවන දීර්ඝ දෝෂ වැළක එක් පියවරක් පමණයි.

සෛලයක් පිළිකාමය බවට පත්වීමේ සෑම පියවරක්ම ප‍්‍රත්‍යබලයට හා ප‍්‍රත්‍යාබල හෝමෝනවලට සංවේදීය. එහෙයින් වර්තමානයේ  මානසික ආතතිය මගින් ප‍්‍රධාන වශයෙන් හටගන්නා නිදන්ගත ශාරීරික ආතතිය පිළිකා සාදන ඍජු හේතුවක් ලෙස සැලකිය හැකි යයි ලිපියේ කතුවර යෙන් වියා පවසයි. එහෙත් මේ ගැන මතභේද ඇති බවද ඒ එක්කම ඔහු සඳහන් කරයි. ටොමැසෙටි සහ වොගල්ස්ටීන් දෙදෙනාගේ පර්යේෂණය ආශි‍්‍රත විවාදය අපට සිතන්නට යමක් ඉතිරි කර ඇත. එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ සංවිධානයට අනුව පිළිකාවලින්  42%ක්ම පාරිසරික හා ජීවන රටා වෙනස්කම් මගින් මගහරවා ගත හැකි බව පෙන්වා දෙනු ලබේ. ප්‍රංශයේ ජාතික පිළිකා ආයතනයද මීට සමාන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරයි. ඒ කියන්නේ ඉතිරි 60%ට පමණ සම්බන්ධයෙන්  කළ හැකි දෙයක් නැත යන්නද? ටොමැසෙටි සහ වොගල්ස්ටීන් යන දෙදෙනා ‘අවාසනාවට’ එරෙහිව යා හැකි මගක් දක්වති.  වෙනත් කාරණා අතරම පිළිකා වළක්වා ගැනීමේ දී ප‍්‍රතිඔක්සිකාරක(antioxidants) භාවිතය ඔවුහු අනුදකිති. ආතතිය මගින් මුදා හැරෙන  හානිකර කි‍්‍රයාදාමයන් සලකන විට මානසික යහගුණය රැකගැනීම ද පිළිකාවට එරෙහි ඵලදායි අවියක් විය හැකිය. (මෙහි මුල් ලිපිය ප‍්‍රංශ බසින් පළ විය).

The Conversation Global හි පළවූ Is cancer just a question of ‘bad luck’? යන ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: