විදු නැන නුවණ – Science Literacy for All

6 වැනි මහා නෂ්ටප‍්‍රාප්තිය වෙනුවට 6 වැනි මහා උත්පත්තිය

වෙන කවරදාටත් වඩා වේගයෙන් නව ජීව විශේෂ ජන්මය ලබන්නේ මානවයන්ට පින්සිදු වෙන්නයි.

මෙයට වසර මිලියන 66 කට පෙර ඩයිනසෝරයන් නෂ්ටප‍්‍රාප්ත වීමෙන් පසුව මෙතෙක් නොවූ විරූ වේගයකින් සත්වයන් හා ශාක වඳ වී යන බවක් පෙනෙන්නට ඇත. ඉන් කියාපාන්නේ පෘථිවිය මත ජීවයෙහි මළගම යයි සැලකේ. රයිනොසිරස් සතුන් ආරක්ෂා කිරීමට අප ඉදිරිපත් නොවුවහොත් වැඩි කලක් යාමට මත්තෙන් ඔවුන් වඳ වී යනු ඇත. මැක්සිකෝවේ වැකුයිටා පොපසාවෝ ඉතිරිව ඇති අවසන් කිහිප දෙනාද මාළු දැල්වලට හසු වී මිය යමින් සිටිති. ඇමරිකාවේ යෝධ සික්වෝයා වර්ගයට () අයත් ප‍්‍රෑන්ක්ලින් ගස් දැන් ඇත්තේ පිට්ටනි හා උද්‍යාන වල පමණකි.

හානිය එසේ වුවද ඉන් බේරී ගත් (ශාක හා සත්ව) විශේෂ,  මිනිසුන් විසින් නිර්මිත නව අවස්ථාවන්ගෙන් වාසි ලබා ගනිමින් සිටියි. බොහොමයක් විශේෂ ලෝකයේ අළුත් ප‍්‍රදේශවලට ව්‍යාප්ත වෙමින් පවතින්නේ නව තත්ත්වයන්ට අනුගත වෙමින් සහ ඇතැම් අවස්ථාවල නව විශේෂයන් ලෙසට පවා පරිණාමය ද  වෙමිනි.  සමහර අංශ සළකන විට ජෛව විවිධත්වය මානව යුගයේ දී (the Anthropocene) ඇත්තටම ඉහළට යමින් තිබේ. ‘‘ලෝකයේ ජෛවි විවිධත්වය ගැන කතාකිරීමේ දී හානිය පමණක් සිදුවෙතැයි යන දෘෂ්ටියෙහි තව දුරටත් එල්බගෙන සිටීම වලංගු නැති ක‍්‍රියාවක්’’ යයි Inheritors of the Earth: How Nature is Thriving in and Age of Extinction යන අළුත් ග‍්‍රන්ථයෙහි කතෘ ක‍්‍රිස් ඞී. තෝමස් සිය කෘතියෙහි කියා සිටී.

ප‍්‍රතිලාභීන් අප වටා දැකිය හැකියි. බාර්ලි වගා කළ බිමකට යාබදව පොපී සහ සහ කැමොමිලේ ශාක අංකුරලයි. මේ දකුණු දිග යුරෝපීය ‘වල්පැල’ සිය වාසියට හරවාගෙන ඇත්තේ මිනිසුන් තැනූ වාස භූමියකි. මිනිසුන් තැනූ ප‍්‍රපාත වල පරෙවියෝ කූඩු තනති. (ඔවුන්ගේ ආදිතමයන් කැදලි තැනුවේ ගිරි දඹවලය).  පරෙවියන් දඩයම් කරන පෙරිග‍්‍රීන් ෆෝල්කන් කුරුලූ විශේෂය දැන් අහස සිඹින උස් ගොඩනැගිලිවල වාසය කරමින් හඬ නගනු ඇසිය හැක.

දේශගුණික විපර්යාස,  මහද්වීප යුරෝපීයෙන් , බි‍්‍රතාන්‍යයේ යෝක්ෂයර් වෙත බම්බ්ල්බි  විශේෂය ගෙනවිත් ඇත. ඔවුන් හා එක්වන්නේ,  මිනිසුන් විසින් දර්ශනීය ගෙවතු පැළ, සුරතල් සතුන්, බව භෝග හා පශු සම්පත් ලෙස ගෙනෙනු ලැබ හෝ හුදෙක් අහඹු ලෙස පැමිණි සත්ව ශාක විශේෂ්යන්ය. ‘‘මගේ වත්තේ ඉන්න හාවුන් හෝ රට හාවුන් එකෙක්වත්  බි‍්‍රතාන්‍යයට අවේණික නැහැ’’ යයි යෝක්ෂයර්හි වසන  කි‍්‍රස් තෝමස් කියයි. පාරිසරික සංරක්ෂණවාදීන් බොහොමයක්  සහ ආක‍්‍රමණික විශේෂයන්ට එරෙහි ඇතැම් ජීව විද්‍යාඥයෝ මේ ‘පිටස්තරයන්’ ගේ ප‍්‍රවාහය ගැන කම්පාවට පත් වෙති. “ඒත් ඉතින් ජීව  විද්‍යාත්මක ලෝකයේ හැටි එලෙසයි” තෝමස් පෙන්වා දෙයි.

පෘථිවියේ ඉතිහාසය පුරාවටම, තමන්ට යහතින් සිටීමට මග පාදන ස්ථාන කරා සංක‍්‍රමණය වීමෙන් සත්ව විශේෂ සිය පැවැත්ම සහතික කරගෙන ඇත. නිදසුනක් දක්වන්නේ නම් සිය නිජබිම වන ඉන්දුනීසියාවේ දී සිය ගහණය තව දුරටත් හීන වෙද්දී කහ කරමල කකටු ඕස්ට්‍රේලියානු ගිරා විශේෂය  හොංකොං හී යහතින් වැජඹෙයි.  එසේ වුවද මින් පෙර කිසිදා නොවූ විරූ අනුපාතයකින් අපි විශේෂ එහෙ මෙහෙ යවමින් සිටින්නෙමු.  ඒ ක‍්‍රියාදාමයේ දී එකිනෙකින් වෙනු වූ මහද්වීප හා  ද්වීප එක් තනි මහා ජීව විද්‍යාත්මක සුපිරි මහද්වීපයක් බවට පරිවර්තනය කරමින් සිටින්නෙමු. ඇත්ත වශයෙන්ම අප මේ නිර්මාණය කරන්නේ පෘථිවි ඉතිහාසය තුළ  වැලලී ගිය ජැංජියාවෙහි (Pangea) නව ස්වරූපයයි. පිටතින් ගෙන එන විශේෂ කිහිපයක් ඇතැම් වෙනත් විශේෂ නෂ්ටප‍්‍රාප්ත වීමට මග පාදන බව සත්‍යයකි. තමන් ඉදිරියේ ඇති තර්ජනය හරිහැටි අවබෝධ කර ගැනීමට අපොහොසත් වූ, පොළොව මත කැදලි සාදන, පියැඹීමට නොහැකි පරෙවී හා කොරලියා (රෙලුවා) යන පක්ෂීන්, මිනිසුන් හා කෘන්තකයන්  එක්ව එල්ල කළ මරු ප‍්‍රහාරය හමුවේ වඳ වී යාම නිදසුනක් ලෙස දැක්විය හැකිය.

එහෙත් මේවායේ බරපතලකම අඩු තක්සේරු නොකළ ද එවැනි සිදුවීම් සාමාන්‍යයෙන් දුලබය. පොදුවේ ගත් කළ ආගන්තුක විශේෂ, අනෙකුත් විශේෂ  කෙරෙහි සීමිත බලපෑමක් පමණක් ඇතිව අනුගත වෙති. මෙහි ශුද්ධ ප‍්‍රතිඵලය වනුයේ වඳ වී යනවාට වඩා බොහෝ විශේෂ පැළපදියම් වීමයි. බි‍්‍රතාන්‍ය පමණක් ගතහොත් පසුගිය වසර දහස හෝ දෙක තුළ අතිරේක විශේෂ 2000 ක් තම ගහනයන් එහි පිහිටුවා ගෙන ඇත.

නෂ්ටප‍්‍රාප්තිය සහ පරිණාමය

මානවයන්, තමන් අවට ඇති ලෝකය අභිමත පරිදි වෙනස් කරද්දී ඊට හැඩ ගැසෙමින් සත්ව, ශාක හා ක්ෂුද්‍ර ජීවීන් පරිණාමීය ක‍්‍රියාදාමය ද අඛණ්ඩව සිදු වෙයි. මසුන් ප‍්‍රමාණයෙන්  වඩාත් කුඩා වන්නට  එමෙන්ම වයසින් අඩු කාලවලදී බිජුලන්නට හුරුපුරුදු වී ඇත්තේ මසුන් මරන්නන්ගේ දැල් වලින් බේරීමේ උපක‍්‍රමයක් ලෙසටය. මානවයන් විසින් වෙනස් කරන ලද වාසභූමීවල සම්පත් ප‍්‍රයෝජනයට ගතහැකි පරිදි සමනල විශේෂ සිය අහර වෙනස් කරගෙන සිටිති. මීට අමතරව නව විශේෂ ද බිහිව ඇත. නව ලෝකයට යුරෝපීය යටත් විජිතවාදීන් ගෙන ආ පළතුරු ගස්වලට පින්සිදුවන්නට උතුරු ඇමරිකාවේ ‘ඇපල් මැසි’ විශේෂය පරිණාමය වී ඇත. තවත් උදාහරණ කොතෙකුත් දැක්විය හැක. ඒවායින් ද කියවෙන්නේ  තව දුරටත් අද පවතින්නේ පෘථිවිය මත මානවයන් පහළ වීමට පෙර තිබූ ලෝකයම නොවන බවයි.

සත්ව හා ශාක විශේෂ ඉතා ඉහළ වේගයකින් වඳ වී යාම ගැන සැක සංකා නැත. අප දැන් ඉන්නේ 6 වැනි ‘මහා නෂ්ටප‍්‍රාප්තිය’ අභිමුඛයේ  විය හැකිය. ඉන් නියෝජනය වන්නේ ජීව විද්‍යාත්මක විවිධත්වය අහිමිව යාමකි. එසේ වුවද පසුගිය වසර බිලියන භාගය තුළ සිදු වූ නෂ්ටප‍්‍රාප්තවීම් පහට පසුව අවසානයේ ජෛව විවිධත්වය වර්ධනය වූ බවද අපි දනිමු. මෙය නැවත සිදුවිය නොහැකි ද? එසේ සිදුවන බවයි පෙනෙන්නට ඇත්තේ. නව සත්ව හා ශාක පැවැත්ම පිණිස පැමිණෙන  වේගය අසාමාන්‍ය ලෙස ඉහළය -බාගවිට මෙතෙක්  ඉහළම ප‍්‍රමාණය විය හැකිය.

මේ නයින් බලන කල අපට මෙසේ කිව හැකිය: අප දැනටමත් ඉන්නේ හයවැනි උත්පත්තිය අභිමුඛවය. තවත් වසර මිලියනකින් හෝ පමණ, නූතන මානවයාගේ පරිණාමයේ ප‍්‍රතිඵලයක් හැටියට විශේෂ අඩුවීමක් නොව වැඩිවීමක්  ලොව දක්නට ලැබෙනු ඇත.

ස්වභාව ධර්මයා සහ මිනිසා අතර සබඳතාව ගැන නැවත ඇගයීමක් කිරීමට දැන් කාලයයි. විශේෂයන,  සිය පැවැත්ම රැකගෙන අවසානයේ  නව විශේෂ බවට පරිවර්තනය වන්නේ වෙනස්වීම හේතුවෙනි. දැනට සිදු වී ඇති හානිය ගැන වැළපෙමින් අතීතයේ මනඃකල්පිත ලෝකයක් යළි නිර්මාණය කිරීමට වෙර දැරීමට කාලය නාස්ති කල යුතු නොවේ. ඉතිහාසය ආපස්සට හැරවිය නොහැක. අනාගත ජීව විද්‍යාත්මක වාසි අත්පත් කර ගැනීම සඳහා ක‍්‍රියාකිරීම වඩා ඵලදායී විය හැක. එසේ කිරීමේ දී අප දැන සිටි ලෝකයෙන් ඈතට යනවා විය  හැක. එහෙත් අවසානයේ දී එය ඵලදායී වේ.

The Conversation හි පළවූ  Chris D Thomas ලියු The sixth mass genesis? New species are coming into existence faster than ever thanks to humans ලිපිය ඇසුරෙනි

,

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: