විදු නැන නුවණ – Science Literacy for All

පෘථිවි ආසන්නයේ ග‍්‍රහක සොයා යාම

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික තාරකා විද්‍යා හා අභ්‍යවකාශ පරිපාලනය හෙවත් (වැඩි දෙනා දන්නා පරිදි) නාසා ආයතනයේ අරමුදල් උපයෝගී කරගනිමින් පර්යේෂණ කටයුතු වල නිරත තාරකා විද්‍යාඥ කණ්ඩායම් කිහිපයක් උපද්‍රව දායක පෘථිවි ආසන්න වස්තූන්(hazardous near-Earth objects) ගැන නිරන්තරයෙන්ම සෙවිල්ලෙන් සිටිති. වාරිකව නැතිනම් සැරින් සැරේ පෘථිවි කක්ෂයට සැතපුම් මිලයන 30 පමණ ආසන්නයට පැමිණෙන මෙම වස්තූන්, ග‍්‍රහක (asteroids) සහ ධූමකේතු (comets) වේ. නාසා ආයතනයේ ග‍්‍රාහීය ආරක්ෂක සම්බන්ධීකරණ කාර්යාලය මේ වස්තු ගවේෂණ වැඩසටහනට සහාය සලසන අතර සිදුවිය හැකි ග‍්‍රහක ඝට්ටන වලට දක්වන යම් ප‍්‍රතිචාර සැලසුම් කිරීම හෝ සම්බන්ධීකරණය සිදු කරයි. මේ කාර්යාලයේ ප‍්‍රධානියා ලින්ඞ්ලි ජොන්සන්ය. “පෘථිවි-ආසන්න වස්තූන් සොයා ඒවායේ ගමන් මග ගැන සෙවිල්ලෙන් සිටිමින් ගවේෂණ කරන නාසා අරමුදලින් නඩත්තු වන වැඩසටහන් කිහිපයක්ම අපි අධීක්ෂණය කරනවා” යයි හෙතෙම කියා සිටියි, “සේවයට කැපවුණු මේ තාරකා විද්‍යාඥයන් නිසාවෙන් මෙන්ම මෑතක වසරවල යාවත්කාලීන කෙරුණු ටෙලස්කෝප හේතුවෙන් ග‍්‍රහක සොයා ගැනීමේ අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගිහින්.”

පෘථිවි ආසන්න වස්තු අධ්‍යයන කේන්ද්‍රය

 

පෘථිවි ආසන්න වස්තූන් ගැන එකතු කරගන්නා දත්ත නාසා ජෙට් ප‍්‍රචාලන පර්යේෂණාගාරයේ පෘථිවි ආසන්න වස්තු අධ්‍යයන කේන්ද්‍රය මගින් විශ්ලේෂණය කොට, සොයා ගනු ලැබූ ග‍්‍රහක සංඛ්‍යාව හා වර්ග පිළිබඳ නවතම තොරතුරු ප‍්‍රකාශයට පත් කරන්නේ නාසා ග‍්‍රාහීය ආරක්ෂක ක‍්‍රමෝපායේ කොටසක් ලෙසය. ජොන්සන් පවසන අන්දමට වසර 20 ක් පමණ කාලයක් තුළ සිදුකල සෙවිල්ලේ ප‍්‍රතිඵලයක් ලෙස, කිලෝමීටරයකට (සැතපුම් .62 කට) වඩා විශාලත්වයකින් යුත්, පෘථිවි ආසන්න වස්තූන්ගෙන් 93% කට වැඩියෙන් දැනටමත් සොයාගෙන අවසන්ය. දැන් අවධානය යොමු වී ඇත්තේ මීටර් 140 කට (අඩි 450 කට) වැඩියෙන් විශාල වස්තූන්ගෙන් 90% ක් සොයා ගැනීම කෙරෙහිය. “මේවායින් 7,700 ක පමණ දැන් නිරික්සමින් තිබෙනවා. ඒත් අපි හිතන්නේ ඔය වගේ දෙගුණයක් පමණ තවත් සොයා ගැනීමට තියෙනවා කියලයි” ජොන්සන් කියයි.

නාසා ආයතනය ග‍්‍රහක සොයා ලූහු බඳිමින් සිටිනවා පමණක් නොව ඒවායින් ගැලවී ගන්නා ආරක්ෂක ක‍්‍රම විධි ගැන ද කටයුතු යොදමින් සිටියි. අභ්‍යවකාශයේ ස්වභාවික හා කෘතිම දේහවල චලනය ගැන අධ්‍යයනයේ යෙදෙන පෘථිවි ආසන්න වස්තු අධ්‍යයන කේන්ද්‍රයේ ගතික තාරකා විද්‍යාඥයන්(Astro-dynamicists) මෙම වස්තුවල කක්ෂයන් අනාගතයේ ශත වර්ෂයක කාලයක කෙසේ වේදැයි පුරෝකතනය කරන්නේ ඝට්ටනයක අවධානම ඇත්දැයි නිර්ණය කිරීම පිණිසය.

‘‘ග‍්‍රහක ඝට්ටන කලින් කිව හැකිවා මෙන්ම වළක්වා ගත හැකියි. ඒවා ඝට්ටනය වීම පෙර සොයා ගැනීමට අපිට හැකි නම්, ඒවායේ ගමන්මග මෙන්ම, සිදුවීමට ඉඩ ඇති ඝට්ටනයක කාලවේලාව නිශ්චිතවම පුරෝකතනය කරන්න පුළුවනි.’’ ජොන්සන් පෙන්වා දෙයි. ‘‘ඒ වගේම ඒවා වෙනත් මගකට යොමු කිරීමට අවශ්‍යය අභ්‍යවකාශ තාක්ෂණයන්  දැන් අපි සතුව තිබෙනවා.’’ මේ එක් තාක්ෂණයක් ගැන නිදසුනක් දක්වන්නේ නම්, පෘථිවිය වෙත එන ග‍්‍රහකයන් ප‍්‍රමාණවත් තරමට කල් වේලා ඇතිව සොයා ගැනීමට අපට හැකි වූ විට, විශාල අභ්‍යවකාශ යානයක් ‘ගුරුත්ව ට‍්‍රැක්ටරයක්’ ලෙස යොදාගෙන එහි (ග‍්‍රහකයේ) ගමන් මග වෙනස්කළ හැකියි. විශාල අභ්‍යවකාශ යානය සැලකිය යුතු කාලයක් තිස්සේ ග‍්‍රහකය හා  එක පෙළට ගමන් කරමින් ස්වභාව ධර්මයේ ‘අදින රැහැන’ වන ගුරුත්වය යොදා ගනිමින් පෘථිවිය වෙත එන ගමන් මගින් හෙමින් සීරුවේ ඉවත් කළ හැකිය.

මේ අන්දමේ තවත් තාක්ෂණ ක‍්‍රමයක් වන්නේ නිසි වේලාවට පෘථිවිය වෙත එන වස්තුවේ ගමන් මග වෙත අධිබරැති, අධිවේග අභ්‍යවකාශ යානයක් යවා ඝට්ටනය වීමට සැලැස්වීමයි. චාලක ඝට්ටනකය(kinetic impactor)   ලෙස හඳුන්වනු ලබන මෙම තාක්ෂණ ක‍්‍රමය මගින් ග‍්‍රහකයේ ගමන මන්දගාමී කරමින්  හෝ වේගවත් කරමින් හෝ පෘථිවිය වෙත ගමන් මගින් ඈත්කර එය වෙනත් ගමන් පථයකට යොමු කළ හැකිය.

Image result for kinetic impactor

මීට අමතරව හොලිවුඞ් චිත්‍රපටවල එන මාදිලියේ  විකල්පයක් ද ඇත. ‘‘මේ විකල්පය  ඇත්තටම අන්තිමට ගත හැකි පියවරක්’’ ජොන්සන් පෙන්වා දෙයි. ‘‘බලගතු, රොක්ට්ටුවකින් ඇතිකරන්නාක්  වැනි තල්ලූවක් ඇති කරමින් ග‍්‍රහකයේ සුපිරි ලෙස රත් වූ පෘෂ්ට ද්‍රව්‍ය පුපුරුවා යවන ආකාරයට එය (ග‍්‍රහකය) ආසන්නයේ පුපුරුවා හැරීමයි. (ඝට්ටනයක් වළක්වා ගැනීම පිණිස අපට ලැබෙන) කාලය ඉතා සීමිත නම් මේ ක‍්‍රමය ඉතා ඵලදායී වුවත් එය ඉතාමන් මනා සම්බන්ධීකරණයකින් සිදු කළ යුතු වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නොව අන්තර්ජාතික ප‍්‍රජාවගේ අවසරය ද ගතයුතු වේ. මේ නිසා, ඇත්තටම හැකි තරම් ඉක්මණින් ඝට්ටනය සොයා ගත යුතු වන්නේ එය අපට වඩාත් සැර බාල ක‍්‍රම යොදා ගැනීමට මග පාදන හෙයිනි.

මේ තාක්ෂණ ක‍්‍රමවේද සියල්ලම ගතහොත් ඒවා එක්කෝ තවමත් අධ්‍යයනය කිරීමේ යම් මට්ටමක හෝ නැතිනම් සැලසුම් කිරීමේ යම් මට්ටමක පවතී. මේ අතර විපත්තිදායක විභවයක් සහිත ග‍්‍රහක සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ. ‘‘නාසා ආයතනයේ ඉන්න අපට නම් වසරේ සෑම දිනයක්ම ‘‘ග‍්‍රහක දිනයක්’’(Asteroid Day) යයි ජොන්සන් පවසයි.

[පෘථිවි වට පිටාවෙහි හෝ එහි අවට ඇති වස්තූන් ගැන උනන්දුවක් දක්වන අයට science.nasa.gov වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩි විස්තර දැන කියා ගත හැකිය].

NASA Science හි පළවූ The Hunt for Asteroids  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: