විදු නැන නුවණ – Science Literacy for All

මානවයන්ගේ සම්භවය යුරෝපයේ ද?

මානව වර්ගයාගේ(hominini) තොටිල්ල අප‍්‍රිකාව යන්න පොදු පිළිගැනීමයි. ඒත් යුරෝපයේ විද්‍යාඥයන් පිරිසක් මෑතක වාර්තාවක් සපයමින් පොදුවේ පිළිගත් මේ මතයට පටහැනි නව මතයක් ඉදිරිපත් කරති. නැගෙනහිර යුරෝපයෙන් (ග‍්‍රීසියේ හා බල්ගේරියාවෙන්) ප‍්‍රාග්-මානවීය අවශේෂයන් පිළිබඳ සාක්ෂි ලැබී ඇතැයි ඔවුහු කියා සිටිති. මේ ෆොසිල අයත් වන්නේ Graecopithecus freybergi නම් විශේෂයටයි. එමෙන්ම ඒවා වසර මිලියන හතකට මදක් වැඩිය. ඒ අනුව මේවා ලොව පැරණිතම හොමිනින් ෆොසිල වේ.

Graecopithecus freybergi

 

මේ මතය පිළිගන්නේ නම් මානව පරිණාමීය වෘක්ෂය අප‍්‍රිකා භූමියෙන්  ගලවා නැවත නැගෙනහිර යුරෝපයේ සිටුවීමට  සිදුවේ. එපමණක් නොව මානව වර්ගයේ සම්භවය අප‍්‍රිකාවේ සිදු වූ බවට ඇති අති විශාල සාක්ෂි තොගය  ඉවතලෑමට ද මෙය මග පාදයි.  කෙසේ වෙතත් මේ මතය විද්‍යාඥයන් සියළු දෙනාගේ පිළිගැනීමට ලක්ව නැත. පුරා තත්ත්ව විද්‍යාඥ (palaeontologist) හා පුරා ජීව විද්‍යාඥ ආචාර්ය ජුලියන් බෙනොඉට් The Conversation (Africa) සඟරාව සමග පැවැත් වූ සම්මුඛ සාකච්ජාවක් අද තතු මගින් ඉදිරිපත් කෙරේ. (ආචාර්ය බෙනොඉට් ඉහත සඳහන් යුරෝපිය පර්යේෂණ කණ්ඩායමට අයත් නොවිය)

ප‍්‍ර : අප‍්‍රිකාව නොව ග‍්‍රීසිය මානව වර්ගයාගේ තොටිල්ල ලෙස සැලකිය යුතු යයි නව පර්යේෂණයෙන්   කියැවේ. මෙය නිවැරදි යයි ඔබ සිතනවාද?

පි : අති විශේෂ ප‍්‍රකාශන සනාථ කිරීම සඳහා අති විශේෂ සාක්ෂි අවශ්‍ය වෙනවා. මානව වර්ගයාගේ(Hominini)   සම්භවය අප‍්‍රිකාවේ සිදු වූ බව සනාත කිරීමට සහාය පළකරන ඉතා වැදගත් සාධක දෙකක් වර්තමානයේ තිබෙනවා. මුල්ම අප‍්‍රිකානු හොමිනිනි ෆොසිලය 1924 දී දකුණු අප‍්‍රිකාවෙන් සොයා ගැනීමෙන් පසුව අප‍්‍රිකා පොළොවෙන් දහස් ගණන් හොමිනින් ෆොසිල සොයාගෙන තියෙනවා. ඉන් අනතුරුව දැනට ශත වර්ෂයකට ආසන්න කාලයක් ෆොසිල සොයා ගැනීම සිදුවෙනවා. අප‍්‍රිකානු පොළොව මත හොමිනින් විශේෂයෙහි සම්පූර්ණ පරිණාමය ඒවායින් නිරුපණය වනවා. මේ ෆොසිල පරාසයට නූතන  චැඩ් රාජ්‍යයෙහි වසර මිලියන හයත් හතත් අතර කාලයක විසූ Sahelanthropus සිට නැගෙනහිර අප‍්‍රිකාවේ මුල්ම හෝමෝ සේපියන් ෆොසිල අයත්වෙනවා.

දෙවනුව, අපේ සමීපතම ඥාතීන් වන චිම්පන්සි සහ ගෝරිල්ලා ද අප‍්‍රිකාවට අයත්. අපේ අවසන් පොදු පූර්වජයා ජීවත් වූයේ මෙයට වසර මිලියන අටත් දොළහත් අතර කාලයකයි. මෙයින් ප‍්‍රබල ලෙස කියැවෙන්නේ මානව වර්ගයාගේ සම්භවය අප‍්‍රිකා පොළොවෙහි තදින් මුල් බැසගෙන ඇති බවයි. මේ අනුව යුරෝපීය සම්භවයකට ඇති ඉඩකඩ ඇහිරෙනවා. මේ පොදු එකඟතාවට පටහැණි වන  ඕනෑම අධ්‍යයනයක් තම මතය සනාථ කිරීමට ප‍්‍රබල සාක්ෂි මෙන්ම සුසාධිත ක‍්‍රමවේදයක් ද සපයන්න  ඕනි. එහෙත් ඔය කිව් ලිපිය එවැනි නිර්ණායක වලට අනුකූල වෙන්නේ නැහැ.

ප‍්‍ර : ඇයි එහෙම නැහැ කියන්නේ ?

පි : මුලින්ම කියන්න තියෙන්නේ සාක්ෂි ලෙස ඉදිරිපත් කෙරුණු ෆොසිල මනාව සංරක්ෂණය වී නොමැති බවයි. එය වැඩිකොටම සමන්විත වන්නේ හොඳින් සංරක්ෂිත දත් නොමැති හනුවකින්. මේක ගැටළු සහගතයි. මොකද, මිනිසුන් ඇතුළු  ඕනෑම ප‍්‍රිමාටේස් වර්ගීකරණයේ දී වඩාත්ම වැදගත් මූලිකාංගය වනුයේ දතෙහි ව්‍යවච්ජේදීය ලක්ෂණ වන නිසයි. නව අධ්‍යයනයේ කතෘවරු කියා සිටින්නේ හනුවේ හතරවැනි පුරශ්චාර්වක (premolar) දත් මූලය හොමිනින්ගේ එම දතට සමාන බවයි. හොමිනින් සියල්ලටම එක සමාන දන්ත මූල නැහැ. පුරා මානව විද්‍යාවේ දී මේ ලක්ෂණය සම්ප‍්‍රදයාණුකූලව සැලකිල්ලට ගන්නේ නැත්තේ ඒකයි. කතෘවරයනුත්  ඒ බව පිළිගන්නවා. ඉතින් එහෙනම් වර්ගීකරණය විශ්වාසදායක නැහැ.

තවද, (දන්ත මුලයෙන් හැඟවෙන අන්දමට) ෆොසිලයේ  රදනක(canine) දත්වල කුඩා ප‍්‍රමාණය ගත්තාහම එය හොමිනින් පුරාණයට නෑකම් කියන බවක් කතුවරු පෙන්වා දෙනවා. මෙතනදී ඔවුන් උපකල්පනය කරන්නේ කුඩා රදනක දත් ඇති වානරයින් හොමිනින් පමණක් බවයි. මෙයත්  වැරදියි. ෆොසිල වාර්තා බෙහෙවින් සුලබ යුරෝපයේ ෆොසිල අතරේ ඉන්නවා Oreopithecus යන කුඩා රදනක තිබෙන වානරයෙක් කොහොමටවත් මානවයන්ට නෑ සබඳකමක් නැති.

මෙය ඇත්තටම (ඥාති සබඳතාවයක් නොමැතිව එක් විශේෂයක් අනෙකකට සමානතා පරිණාමය වීම සිදුවන) ස්වාධීන, සමාන්තර පරිණාමය පිළිබඳ නිදසුනක්. ඩොල්ෆින් සතුන්,   මසුන් වගේ පෙනුනාට   ඔවුන් මත්ස්‍යයන් නොවේ. බාගවිට, Graecopithecus හා හොමිනින් අතර සම්බන්ධතාව මේ වගේ වෙන්නැති.

අවසාන වශයෙන් මේ අධ්‍යයනයට වංශ ප‍්‍රවේණික (phylogenetic analysis)  විශ්ලේෂණයක් යොදා ගෙන නැහැ. මෙය විශ්වාසය තැබිය හැකි පරිණාමීය වෘක්ෂයක් යළි නිර්මාණය කිරීමේ සංඛ්‍යාලේඛනමය ක‍්‍රමයක්. මෙවැන්නක් නොකර ෆොසිල වලින් දැක්වෙන විශේෂයක්,  මුල් කාලීන හොමිනින් යයි කීම කුම ආකාරයක් දැයි හරියට කීවොත් ගණිතමය විසඳුම් පියවර නොදක්වා  සමීකරණයක ප‍්‍රතිඵල දක්වනවා වගේ වැඩක්.

ප‍්‍ර : යුරෝපීය සම්භවය පිළිබඳ සිද්ධාන්තය සනාථ හෝ අනාථ කිරීම සඳහා තව දුරටත් සිදු කළ යුතු පර්යේෂණ සහ පැහැදිලි කිරීම් මොන වාගේ ද?

පි : වංශ ප‍්‍රවේණික විශ්ලේෂණයක් තීරණාත්මකයි. විශේෂයන්ගේ පරිණාමීය වෘක්ෂය  ප‍්‍රති නිර්මාණය කරන්නත්, ඒ වගේම විශේෂයන්  අතර කිසියම් සබඳතාවක් පිළිබඳ උපකල්පිතයන් ගැන සොයා බලන්නත් ඒක තමයි ක‍්‍රමය. ප‍්‍රිමාටේස් පරිණාමීය වෘක්ෂය තුළ ෆොසිලයේ හනුවට හිමිවන සැබෑ තත්ත්වය තක්සේරු කිරීමට වගේම Graecopithecus  සහ හොමිනින් අතර නිරීක්ෂිත සමානතා ස්වාධීනව අත්පත් කර ගත් ඒවාද නැතිනම් සැබෑ පොදු පූර්වජයෙකුගෙන් උරුම කරගත්තා ද යන්න ඇත්තටම පරීක්ෂා කර බැලීමට ද එමගින් විද්‍යාඥයන්ට අවස්ථාව එළඹෙනවා.

ප‍්‍ර : හැබැයි ඉතින් නව අධ්‍යයනයෙන් කියැවෙන අදහස නිවැරදි බව ඔප්පු වුණොත් අපට ඉතිහාසය යළි ලියන්න අවශ්‍ය වේවි ද?

පි : මානව වර්ගයා ආරම්භ වූයේ යුරෝපයෙන් ය යන්න පැරණි සිද්ධාන්තයක්. 1924 දී දකුණු අප‍්‍රිකාවෙන් ප‍්‍රථම Australopithecus සොයා ගැනීමත් සමගම ඒ අදහස අත්හැර දැමුණා. එතැන් පටන් කොට  අප‍්‍රිකාව හා  අවටින් දහස් ගණන් ෆොසිල හමුවෙලා තියෙනවා. එය අප‍්‍රිකානු සම්භවය පිළිබඳ උපකල්පනයට විශාල රුකුලක්.  ඉතින් මේ ෆොසිල හොමිනින් විශේෂයක බව ඇත්තටම පෙනී ගියත් එය සාගරයක දිය බිඳක් සේ සුළු කාරණාවක්. දැනට තියෙන තත්ත්වය ඉන් වෙනස් කරන්නේ නම් ඒ ඉතා සුළු වශයෙන්. මොකද මානව වර්ගයා අප‍්‍රිකාවෙන් ආරම්භ වූයේය යන්න නිශ්ප‍්‍රභා කරන්න මීට වඩා බොහොම විශාල ප්‍රමාණයක  සාක්ෂි එමෙන්ම වඩාත් පිළිගත හැකි සාක්ෂි අවශ්‍යයි. නව අධ්‍යයන පර්යේෂණ පිළිබඳ නවතම කවුළු  විවෘත කිරීමට ඉඩ ඇතත් සම්මත  පෙළ පොත් සටහන් ඉන් වෙනස් වන්නේ නෑ.

 

The Conversation (Global edition) හි පළවූ There’s not enough evidence to back the claim that humans originated in Europe ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: