විදු නැන නුවණ – Science Literacy for All

ලොව ප‍්‍රථම ‘යෝධයා’ පුරාණ මිසර පාරාවෝ පාලකයෙකු විය හැකියි

සා – නක්ට් නම් ආදී මිසර පාරාවෝ  රජුගේ යයි සැලකෙන නෂ්ටාවශේෂ මෙතෙක් දැන සිටි පැරණිතම මානව යෝධයාගේ නෂ්ටාවශේෂ විය හැකි බව නව අධ්‍යයනයක් පෙන්නුම් කරයි.

ඊජිප්තුවේ තුන්වැනි රාජවංශසමයේ සා – නක්ට් නම් ආදී මිසර පාරාවෝ රජුගේ විය හැකි යයි සැලකෙන හිස් කබල විවිධ කෝණවලින්

පුරාණ කාලයේ සිටි යෝධයන් පිළිබඳ පුරාවෘත ලෝකයේ සෑම ප‍්‍රදේශයකින්ම පාහේ අසන්නට ලැබේ. පුරාණ ස්කැන්ඩිනේවියානු තුෂාර සහ ගිනි යෝධයින්ගේ සිට පුරාණ ගී‍්‍රක ජනපුරාණයේ සඳහන් දෙවියන් හා යුද වැදුණු ටයිටන්වරු දක්වා යෝධයන් ගැන විවිධ කතා එමටය. කෙසේ වෙතත්, යෝධයන් යනු හුදෙක් මිථ්‍යා ප‍්‍රබන්ධවල නිර්මාණයක්ම නොවේ. ශරීරයේ වර්ධන හෝමෝන වුවමනාවට වැඩියෙන්  ජනනය වන විට වෘහත්තාව (යෝධතාව = gigantism) යනුවෙන් හඳුන්වනු ලබන ස්වභාවය ලෙස දැක්වෙන වේගවත්ව හා අධිකව ශරීරය වර්ධනය වීමේ තත්ත්වය ඇති වීමට ඉඩ තිබේ. මෙය සාමාන්‍යයෙන් හට ගන්නේ මොළයේ පිටියුටරි ග‍්‍රන්ථියේ ටියුමරයක් (අර්බුදයක්) හේතුවෙනි.

කෙම්කඳන් (මමී යනුවෙන් සුලබව හඳුන්වනු ලබන පරිරක්ෂිත ශව = mummies) පිළිබඳව දැනට සිදුකරගෙන යනු ලබන පර්යේෂණයන්හි කොටසක් ලෙස විද්‍යාඥයෝ, 1901 වර්ෂයේදී වර්තමාන ඊජිප්තුවේ බෙයිට්ඛලාෆ් අසළ සොහොනක තිබී සොයාගත් ඇටසැකිල්ලක් ගැන පරීක්ෂාකර බැලූහ. මේ අස්ථි ඊජිප්තුවේ තුන්වැනි රාජවංශසමයේ එනම් කි‍්‍ර.පු. 2700 පමණ අයත් ඒවා යයි දින ගණන් බලා ඇත. කලින් සිදු කල පර්යේෂණවලදී දැක්වුණේ මේ ඇට සැකිල්ල හිමිකරු සා – නක්ට් විය හැකි බවයි. (ඇට සැකිල්ලෙන් දැනගත හැකි පරිදි එම තැනැත්තා පණ පිටින් සිටියදී) අඩි 6 යි අඟල් 1.6ක් (මීටර 1.987) උස මොහු ඊජිප්තුවේ තුන්වැනි රාජවංශයට අයත් පාරාවෝ පාලකයෙකි. පෞරාණික මිසර මමීවරුන් (කෙමිකඳන්) ගැන සිදුකෙරුණු පූර්ව පරීක්ෂණවලදී කියැවුණේ එකල සිටි පිරිමින්ගේ සාමාන්‍යය උස, අඩි පහයි අඟල් 6ක් (මීටර 1.7ක්) පමණ වූ බවයි. ආදි කාලීන මිසර පාලකයන් වඩා හොඳින් කාබී වැඩෙන්නට ඇති අතර ඒ යුගයේ සාමාන්‍ය වැඩිහිටියෙකුට වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින්ද  පසුවන්නට ඇත. එහෙයින් ඔවුන් සාමාන්‍යයට වඩා උසකින් හෙබිවන්නට ඇතැයි අපේක්ෂා කළ හැකිය. එසේ වතුදු, මේ අඩි 6ට වඩා උස නෂ්ටාවශේෂයේ  හිමිකරු,  උසම පෞරාණික පාරාවෝ ලෙස සැලකෙන රම්සෙස් II රජුට වඩා සැබවින්ම උසින් යුක්ත විය. රම්සෙස් II, සානක්ට්ට වඩා වසර 1000කට පමණ පසුව ජීවත් වූවෙකු අතර උසින් අඩි 5 යි අඟල් 9 ක් පමණ වන බව නව අධ්‍යයනයේ කර්තෘ සුරිච් විශ්වවිද්‍යාලයේ පරිණාමීය වෛද්‍ය ආයතනයේ මිසරවේදියෙකු (an Egyptologist) වන මයිකල් හැබිට් පවසයි.

නව අධ්‍යයනයේදී හැබිට් සහ සගයන් විසින් සා-නක්ට් ට අයත්  යයි සැලකෙන සැකිල්ලේ හිස් කබල සහ අස්ථි නැවත විශ්ලේෂණය කර බලන ලදී. සැකිල්ලේ දිගින් යුතු අස්ථි පෙන්නුම් කළේ ප‍්‍රමුදිත වර්ධනයක් වන අතර එය වෘහත්තාව පිලිබඳ පැහැදිලි ලක්ෂණයකි. මෙම රෝගාබාධය වැළඳී පැරණිතම අවස්ථාව ලෙස මෙය සැලකිය හැකිය. එසේ නම් පුරාණ මිසර රාජවංශිකයන් අතුරින්   කිසිවෙකුත් යෝධයන් නොබූ බව පර්යේෂකයෝ පවසති. “මේ රෝග තත්ත්වයට පිළිබඳ පරිණාමීය වර්ධනය අධ්‍යයන කිරීම අද වෛද්‍ය විද්‍යාවට වැදගත් වනවා” යයි හැබීට් පෙන්වා දෙයි.

මිසරයේ මුල් යුගයේ  රාජවංශවල වැඩි ප‍්‍රවණතාවක් පෙන්නුම් කරන්නේ උසින් අඩු සිරුරූ වලටය. රාජකීයන්ගේ සේවයේ නියුතු බොහෝ දෙනා උසින් අඩු අය වූ අතර උස අඩුවීමේ ප‍්‍රවණතාවක් කෙරෙහි බලපෑ සාධක ගැන  එතරම් වැටහීමක් නැතැයි හැබිට් පෙන්වා දෙයි. එසේ වුවද යෝධතාව(වෘහත්තාව) එදා සමාජයේ  අවනම්බුවක් සේ නොසැලකුණු බව පෙන්වා දෙන හැබිට් ඊට සාධක වශයෙන් දක්වන්නේ සා-නක්ටි නෂ්ටාවශේෂ ප‍්‍රභූ සොහොනක තැන්පත් කර තිබීමයි.

මෙම අධ්‍යයනය මෙහෙය වූ විද්‍යාඥයන්ගේ  සොයා ගැනීම් The Lancet Diabetes & Endocrinology සඟරාවේ මෙවර අගෝස්තු කලාපයෙහි විස්තරාත්මකව පළ කර තිබේ.

 

Live Science හි පළවූ Ancient Egyptian Pharaoh May Be the 1st Known ‘Giant’  යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: