විදු නැන නුවණ – Science Literacy for All

පූර්ණ සූර්යග‍්‍රහණයක් සහ දෙනෙත්

අගෝස්තු 21 පුර්ණ සුර්ය ග්‍රහණය අපට නොපෙනුනත් එවැනි ග්‍රහනයක දී වැඩි අවධානයක් යොමු නොවන අංශයක් පිළිබඳවයි මෙම thathu ලිපිය

ශත වර්ෂයකට ආසන්න කාලයකින් පසුව ඇමරිකාව හරහා ප‍්‍රථම වරට දර්ශනය වන පූර්ණ සූර්යග‍්‍රහණය දැක බලා ගැනීම පිණිස මිලියන ගණන් දෑස් මේ මස 21 දා අහසට යොමු වනු නියතයි. පෘථිවිය හා සූර්යයා අතර සෘජුව චන්ද්‍රයා ගමන් කරන විට සූර්යග‍්‍රහණය ඇති වන්නේ චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථිවිය මත වැටීමෙනි. පූර්ණ සූර්යග‍්‍රහණයක් ඇති වන්නේ චන්ද්‍රයාගෙන් (පෘථිවියේ සිට බලන විට) සූර්යයා සම්පූර්ණයෙන් වැසී යාමෙනි. මේ මස 21 දා සිදුවන සූර්යග‍්‍රහණය 1975 න් පසු උතුරු ඇමරිකාවට දර්ශනය වන ප‍්‍රථම පූර්ණ සූර්යග‍්‍රහණයයි. නාසා ආයතනය පෙන්වා දෙන අන්දමට 1918 න් පසු උතුරු ඇමරිකාවේ එක් වෙරළක සිට අනෙක් වෙරළ දක්වා රට හරහා යන ප‍්‍රථම පූර්ණ සූර්යග‍්‍රහණයයි.

“පූර්ණ සූර්යග‍්‍රහණයකින් ආවරණය වෙන්නේ පෘථිවියේ මතු පිටින් එක ප‍්‍රතිශතයක් පමණයි. බොහෝ වෙලාවට සිදුවන්නේ එය සාගර උඩින් හෝ ජනශුන්‍ය ප‍්‍රදේශ හෝ ලෝකයේ අනික් පැත්තේ  ප‍්‍රදේශ හරහා යාමයි” යයි ඇමරිකානු තාරකා විද්‍යා සංගමයේ ප‍්‍රවෘත්ති නිළධාරී රික් ෆියන්බර්ග් පවසයි. පසුගිය වර සිදු වූ උතුරු ඇමරිකානු සූර්යග‍්‍රහණයේ දී ආවරණය වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ වයඹ දිග කොටසක් හා බටහිර කැනඩාව පමණකි. එහෙත් මෙවර ග‍්‍රහණයෙ දී, ඔරිගන් සිට දකුණු කැරලිනාව දක්වා සැතපුම් 70 ක් පළල තීරයක සිටින නරඹන්නන්ට පූර්ණ සූර්යග‍්‍රහණයක් දැක බලා ගැනීමේ අවස්ථාව උදාවේ. එහෙත් අර්ධ ග‍්‍රහණයකින් මුළු මහද්වීපයම අන්ධකාර වේ. මේ අපූරු සිදුවීම වෙනුවෙන් රටපුරා නොයෙකුත් වැඩසටහන් සංවිධාන කර තිබේ.

පූර්ණ සූර්යග‍්‍රහණය :

කලින්ද දැක්වූ පරිදි පූර්ණ සූර්යග‍්‍රහණය ඇති වන්නේ සූර්යයා, චන්ද්‍රයාගෙන් පූර්ණව ආවරණය වූ විටය. සම්පූර්ණ සූර්යග‍්‍රහණයක දී සිදුවන දෑ පහත චිත‍්‍රයේ වඩාත විස්තරාත්මකව දැක්වේ. මෙහිදී චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්ය අතරට පැමිණෙයි (නව සඳ එනම්, චන්ද්‍රයා පෘථිවි හා සූර්යයා අතර පිහිටි විට එළිය වැටුණු පෘෂ්ඨයෙන් කිසිත් අපට නොපෙණෙන අවස්ථාව = අමාවක සඳ) එහි ඉලිප්සාකාර කක්ෂයෙහි එක්තරා ලක්ෂ්‍යක දී පෘථිවියට සාපේක්ෂව සමීපය: එසේ පැමිණීමේ දී චන්ද්‍රයා සෙවනැල්ලක් ඇති කරයි. මෙම සෙවනැල්ලේ  අම්බ‍්‍රා (the umbra) කොටසෙහි (පූර්ණ ඡයාව හෙවත් ඝන ඡායාව) තමයි සූර්යයා චන්ද්‍රයාගෙන් සම්පූර්ණයෙන් වැසී ඇත්තේ. පූර්ණ ග‍්‍රහණයක දී අම්බ‍්‍රාවේ එම කොටස පෘථිවිය මත වැටෙන තරමටම චන්ද්‍රයා පෘථිවියට සමීපය. තාක්ෂණික යෙදුමෙන් දක්වතොත් එහි දීප්ත විශාලත්වය (magnitude) 1000 ට වැඩි හෝ සමානය. අම්බ‍්‍රාව පතිත වන පෘථිවි කොටසෙහි ජීවත් වන අය සූර්යාගේ මුහුණත චන්ද්‍රයාගෙන් සම්පූර්ණයෙන් වැසී පවතිනු දැකිය හැකිය. එය තමයි පූර්ණ සූර්යග‍්‍රහණය. පූර්ණ ග‍්‍රහණයක වඩාත් කදිම කොටස වන්නේ චන්ද්‍රයාගෙන් සැඟවී නොයන සූර්යයාගේ කොටසය : මලානික රැස් වළල්ල (corona)  සහ සූර්ය නෙරුම් හෙවත් භෂ්ම ප‍්‍රභාවත්ය(solar prominences)

පූර්ණ සූර්ය ග‍්‍රහණය දැකිය හැකි මග සිටින නරඹන්නෙකුට පියවි ඇසින් සූර්යයා දැකිය හැකිවන එකම වෙලාව වන්නේ, එය චන්ද්‍රයාගෙන් සම්පූර්ණයෙන් වැසී යන අවස්ථාවයි. එම කාලසීමාව හඳුන්වනු ලබන්නේ ‘සාකල්‍යය’ ලෙසිනි (“totality”). එම අවස්ථාවේ දී සූර්යයාගේ රැස් වළල්ල(corona) දර්ශනය වේ. (corona = වර්ණ ගෝලයට ඔබ්බෙන් සූර්යයා වටා වායුමය වැස්ම ළා කොළ පැහැති සුදකින් යුත් මේ රැස් වළල්ල පැහැදිලිවම දැක ගත හැකි වන්නේ සූර්ය ග‍්‍රහණයක දී පමණකි)

එම අවස්ථාව හැරුණු විට සූර්ය ග‍්‍රහණයක් නැරඹිය යුත්තේ (සූර්ය කිරණවලින් ඉතාමත් සුළු කොටසක් හැරුණු කොට ඉතිරි කිරණ සියල්ල වළක්වාලන බව සහතික කෙරුණු) අතිශය අඳුරු ‘සූර්යග‍්‍රහණ කණ්ණාඩි’ තුලින් පමණකි. එසේත් නැතිනම් කාඞ්බෝඞ් පෙට්ටියක් හෝ කඩදාසි කොළ කිහිපයක් යොදා සකස් කරගනු ලැබූ සූචි සිදුරු ( මෙය සාදන ආකාරය ගැන වීඩියෝව මෙතනින් නරඹන්න) ප‍්‍රක්ශේපණ ක‍්‍රමයක් යොදා ගනිමිනි. සූර්ය තැටිය ඉතාමත් කුඩා පතුරක් දක්වා අඩු වුවත් එදෙස බැලීම හොඳ අදහසක් නොවන බව වොෂින්ටන් සරසවියේ අක්ෂිවේද විශේෂඥ වෑන් ගෙල්ඩර් පවසයි. එල්ලවිය හැකි ලොකුම අනතුර සුර්ය දෘෂ්ටි විතාන ආබාධයයි(solar retinopathy). මෙහිදී සිදුවන්නේ තීව‍්‍ර හිරු රැස් මගින් දෘෂ්ටි විතානයෙහි(retina ) සිදුරක් දැවීමයි. ‘‘ඇසේ වේදනා තන්තු නැති නිසා තමන්ගේ ඇසට (ග‍්‍රහණයකදී සූර්ය කිරණ වලින්) හානියක් වන බව ග‍්‍රහනය පියවී ඇසින් බලන්නාට දැනෙන්නේ නැහැ’’ වෑන් ගෙල්ඩර් පෙන්වා දෙයි. ‘‘ඉතින් නිසි ආරක්ෂක පියවර නොගතහොත් සූර්ය දෘෂ්ටි විතාන ආබාධයට දහස් ගණන් ගොදුරු වන්නට පුළුවන්.’’

සාමාන්‍ය අව් කණ්ණාඩි වලින් අලෝකය සියයට පණහකින් පමණ කපා හැරුණත්, නිසියාකාරව සැකසූ ආරක්ෂක උපැස් යුවලකින් හිරු ආලෝකය  සියයට එකෙන්  දාහෙන් පංගුව දක්වා අඩු කරන බව ෆියන්බර්ග් සඳහන් කරයි. විශේෂඥයන් සූර්ය ග‍්‍රහණ නැරඹීමේ දී අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් මේ :

*කුඩා ළමුන් ගැන විශේෂ අවධානය යොමු කළ යුතුය. ‘මන් දැකලා තියන විදියට දෘෂ්ටි විතාන හානියට වැඩියෙන්ම ගොදුරු වන්නේ ළමයින්’ වෑන් ගෙල්ඩර් පවසයි.

*සූර්ය ග‍්‍රහණ නැරඹීමට විශාලන කණ්ණාඩි අවශ්‍ය නැතැයි ෆියන්බර්ග් කියයි. එනිසා ටෙලස්කෝප, බයිනොකියුලර් සහ කැමරා කාච හරහා ග‍්‍රහණය නරඹන්න එපා.

*සූර්ය ග‍්‍රහණ කණ්ණාඩි පැළඳ වාහන පැදවීමෙන් හෝ පයින් යාමෙන් වැළකීම යෝග්‍යයි.

 

WebMD හි During Eclipse, ‘Your Eye Can Scorch’ යන ලිපිය සහ http://moonblink.info/Eclipse/why/solar වෙබ් අඩවියෙහි The Science: Mechanics of Solar Eclipses ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: