විදු නැන නුවණ – Science Literacy for All

පුද්ගලයන්ගේ බුද්ධිය හීන කිරීමට ගංජා හේතුවෙයිද?

ගංජා හෙවත් කංසා භාවිතය, කාලයක් ගත වෙද්දී  බුද්ධියෙහි  හා කි‍්‍රයාකාරිත්වයෙහි හීන වීමක් ඇති කළ හැකිය යන්න ගැන පර්යේෂකයන් තුළ ඇත්තේ මිශ‍්‍ර අදහස්ය.

සතුන් යොදා ගෙන සිදු කළ අධ්‍යයන මෙන්ම මිනිසුන්ගේ මොළ පරිලෝකන හෙවත් ස්කෑන් පරික්ෂා කිහිපයකින් ද ඇතිවී තිබෙන්නේ විමතියට කාරණාය : ගංජා මනස් කි‍්‍රයාකාරිය(psychoactive);  එමෙන්ම මොළයෙහි ව්‍යුහමය විපර්යාස හට ගැනීමට මග පෑදිය හැකිය. පුද්ගලයන් ගත් කළ කංසා  ඇතිකරන (අවබෝධ කර ගැනීමේ මානසික කි‍්‍රයාවලිය හා සම්බන්ධිත) ඥානන බලපෑම එය භාවිත කර සති කිහිපයකට පසුවත් ඉන් ඇතිවූ මත් ගතිය පහව ගොස් බොහෝ වේලාවකට පසුවත් පවතින බව පෙනේ. කෙසේ වෙතත්, දීර්ග කාලීනව සලකතොත් ගංජා බුද්ධි ඵලය (Intelligence Quotient – I) හීන කරයිද යන්න ගැන ඇතුළු නුවණක් සපයන අධ්‍යයන අඩුය; තිබෙන  එවන් අධ්‍යයන පවා දන්වන්නේ පරස්පර ප‍්‍රතිඵලය.

විනෝදාස්වාදය තකා ගංජා භාවිතය ඇමරිකා එක්සත් ජනපදයෙන් ජනපද හතරක (ඇලස්කා, කොලරාඩෝ, ඔරිගන් සහ වොෂිංන්ටන්) සහ කොලොම්බියා දිස්ති‍්‍රක්කයේ දැන් නීත්‍යානුකූලය. තවත් ජනපද ගණනාවක් ගංජා සාපරාධී බවින් තොර බව ප්‍රකාශයට පත් කර ඇති අතර සමහරක් ජනපද ඖෂධයක් ලෙස ගංජා භාවිතයට ඉඩ හැර ඇත. තවද, 2013 වසරේදී සිදු කළ පුද්ගල නියැදි ප‍්‍රශ්න කිරීමෙන් කළ ජනමත සමීක්ෂණයකදී  පෙනී ගියේ ඇමරිකානුවන්ගෙන් සියයට 58ක්ම ගංජා නිත්‍යානුකූල කිරීමට සහාය පළ කරන බවයි. මෙය 1969 එවැනි විමසුම්වලදී සහාය පළ කෙරුණ හුදු 12% ට වඩා බෙහෙවින් ඉහලයි. වෙන වචනවලින් කියතොත් ගංජා ප‍්‍රබල ලෙස ප‍්‍රධාන ධාරාවට එක්වී ඇත.

කෙසේ වෙතත් නීතිරීති ලිහිල් කෙරුණේ වී නමුදු ගංජා ගෙන සිදු කෙරෙන පර්යේෂණ තවමත් ගාටමින් පවතී. මේකට වැඩියෙන්ම බලපාන සාධකය වන්නේ අධ්‍යාපන සඳහා ගංජා ලබා ගැනීමේ අපහසුව යයි නික් ජැක්සන් පවසයි. දකුණු දිග කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සංඛ්‍යානඥයා වන ඔහු ගංජා භාවිතය ගැන මෙතෙක් සිදු කර ඇති අන්වායම අධ්‍යයන(longitudinal studies) සුළු ප‍්‍රමාණයක සම කර්තෘවරයා ද වේ. (මෙවැනි අධ්‍යයනවලදී පුද්ගලයන් පිළිබඳ තොරතුරු කාලයක් තිස්සේ විමර්ෂණය කෙරේ). ඇත්තටම නිර්වින්දනයක් හෝ උත්තේජකයක් ලෙස භාවිත කරන කොකේන් සම්බන්ධව ගතහොත්  සත්ව පර්යේෂණ ගංජා සම්බන්ධ  අධ්‍යයන  මෙන් තුන් ගුණයක් ඇත.

”සතුන් යොදාගෙන කංසා ගැන පර්යේෂණ පවත්වන්න තරම් කොකේන් යොදාගෙන පර්යේෂණ කරන්න වදවෙන්න  ඕන නැහැ” ජැක්සන් පවසයි. ඖෂධ අවභාවිතය පිළිබඳ ජාතික ආයතනය(National Institute on Drug Abuse) මෙන්ම ඖෂධ බැලයීමේ පරිපාලනය (Drug Enforcement Administration) පර්යේෂකයන් සඳහා ගංජා සැපයීම පිණිස වෙන්කර ඇත්තේ එක් පර්යේෂණාගාරයක් පමණකි. ආහාර හා ඖෂධ පරිපාලනය(Food and Drug Administration), පර්යේෂණ සඳහා ගංජා අනුමත කිරීමේ නීතිරීති මෑතක ලිහිල් කළේය. “එහෙත් මේ ක්සේත‍්‍රයෙහි අපේ පර්යේෂණ තිබිය යුතු තැනට වඩා හුඟාක් පසු පසින් තමයි තියෙන්නේ” ජැක්සන් පෙන්වා දෙයි “ගංජා පුද්ගලයන්ගේ බුද්ධිය හීන කිරීමට හේතුවෙයිද?” යන ප‍්‍රශ්නයට සැපයෙන පිළිතුරු වඩාත් සංකීර්ණ වන්නේ එවන් හේතු නිසයි.

සතුන් යොදාගෙන සිදු කළ අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත්තේ ගංජා මොළයට ඒ හැටි හිත කර නැති බවයි. ගංජාවල කි‍්‍රයාකාරී ද්‍රව්‍යය වන – tetrahydrocannabinol (THC) -ටෙට‍්‍රහයිඩ්‍රොකැනබිනොල් වලට නිරාවරණය වූ මීයන් මොළයේ  විපර්යාසයන් මෙන්ම ඥානන බෙලහීනතාවන් අත්විඳි බව පෙනීගිය කරුණකි. තවද, මිනිසුන් යොදාගෙන  සිදුකළ කෙටි කාලීන අධ්‍යයන පැහැදිලිව පෙන්නුම් කළේ ද  ස්මෘතිය, ඉගෙනීම හා අවධානය කෙරෙහි ගංජා භාවිතය (ඒවා  භාවිත කළ අයගේ  මත් ගතිය පහව ගියද) බලපෑම් එල්ල කළ බවයි. ඇමරිකානු වෛද්‍ය සංගමයේ (American Medical Association)  සඟරාවෙහි පළ කර තිබූ 1996 දී සිදු කල අධ්‍යයනයක් නිදසුනකට ගතහොත්,  ගංජා මාසයකට පෙර  එක වරක් පමණක් ගත් අයට වඩා දිනපතා ගංජා භාවිත කරන්නන් අවධානය හා විධායක කාර්යයන්ට අදාළ පරීක්ෂණවලදී අසාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත. මේ දෙපාර්ශ්වයම පරීක්ෂනයට පැය 19කටවත් කලින් ගංජා භාවිතය නතර  කර තිබුණි. 2011 වසරේ අධ්‍යයනයකින් දැක්වුනේ ගංජාවල බලපෑම භාවිතයෙන් පසු අඩුතරමින් දින 20 ක් වත් පවතින බවයි.

එහෙත් දැවෙන ප‍්‍රශ්නය වන්නේ දිගු කාලයේ දී ගංජා භාවිතය මොළයට හානිකර ද යන්නයි. ගැටවර වියේදී ඉඳහිට ගංජා සුරුට්ටුවක් බිව් පමණින් මුළු ජීවිත කාලය තුළම කෙනෙකුගේ ඥානන හැකියාවන් අවුල් කර දමයි ද? නව යෞවනයෙහි ක්ෂණික වර්ධන ‘ගැම්ම’ සම්පූර්ණ කිරීමෙන් පසුව  වැඩිවියට පත්ව ගංජාවට ඇබ්බැහි වුවහොත්, එමෙන්ම ගංජා භාවිත කරන  මාත‍්‍රාව අනුව බලෑම්වල වෙනස්කම් ඇතිවේද?

මෙම ප‍්‍රශ්නවලට ලැබෙන්නේ  අවුල් සහගත පිළිතුරුය. මිනිසුන් යොදා සිදු කළ පර්යේෂණ දක්වන්නේ, චිත්ත වේග,  ඉෂ්ට ඵල සහ බීය සකසනු ලබන මොළයේ කොටසවන ඇමිග්ඩලාව(amygdala) හැකිලීම වැනි මොළයේ කායික වශයෙන් ඇතිවන විපර්යාසයන්ට ගංජාවල සම්බන්ධයක් තිබිය හැකි බවයි. ජානමය අවදානමක් සහිත ඇතැම් අය තුළ එවන් මොළ විපර්යාසයක් කෙනෙකුව භින්නෝන්මාදයට යොමු කිරීමට තරම් ප‍්‍රමාණවත් වීමට පුළුවන. භින්නෝන්මාදය හෙවත් ස්කිසෝෆ්රේනියාව (schizophrenia)  ගංජා පරිහරණය කරන්නන් අතර වඩාත් සුලබය. කෙසේ වෙතත් මෙකී ජාන පුද්ගලයා වැඩියෙන් ගංජා බීමටත්  එමෙන්ම වඩාත් නැඹුරුකරවනවා මිස ගංජා හා සයිකෝසියාව අතර ඍජු සම්බන්ධයක් ඇති නොකරයි.

ගංජාවල බලපෑම් සොයා බැලීමට තැත් කිරීමේදී මෙවන් ගැටලූ ඇති වේ. ගංජා බොන අය ඒවා නොබන අයට වඩා වෙනස් වනවා විය හැකිය. ඉතින්, ගංජා බොන්නන් සහ නොබොන්නන් කාලයේ එක් මොහොතකදී සංසන්දනය කිරීමෙන් ඇතිවන  ප‍්‍රයෝජනය සීමිතය. අධ්‍යයනවලදී කෙනෙකුට හමුවන ප‍්‍රතිඵලවලට බලපාන්නට ඇත්තේ ගංජා හානිය විය හැකිය. නො එසේ නම් වෙනත් හේතුවක් නිසා ඒවා ඇතිවනවා පුළුවන. වගා කරන කංසාවල ප‍්‍රබලතාව වැනි නිතර වෙනස් වන සාධක හේතුවෙන්ද ගැටලූව තවත් සංකීර්ණ වේ. මීට පෙර දශකවල වගා කළ කංසාවලට වඩා නූතන කංසාවල අගය වැඩිය. සාන්ද්‍රනයද මොළයට බලපෑම් කළ හැකි බව ජැක්සන් පෙන්වා දෙයි, “නියම උත්තර ලබාගන්න අපට තව කාලයක් බලාගෙන ඉන්න වේවි”.

Live Science (Health) හි පළවූ  Does Marijuana Make You Stupid? යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: